Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
තේ යනු වසර 150 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පොල් සහ රබර් වලට අමතරව පවතින ප්‍රධාන භෝග වලින් එකකි. ශ්‍රී ලංකාවේ නිපදවන තේ සිලෝන් ටී ලෙස ප්‍රචලිතව ලොව පුරා මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වේ. එබැවින්, එය විදේශ විනිමය උපයන මාර්ගයක් සහ රටට ආදායම් මාර්ගයක් ද වී ඇත. 2022 වසරේ දී පමණක් ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 250 ක් විදේශ රටවලට විකුණා ඩොලර් බිලියන 1.2 ක අපනයන ආදායමක් උපයා ඇත.
කෙසේ වෙතත්, දේශගුණ විපර්යාසත් සමග තේ පැල වර්ධනය සඳහා තීරණාත්මක පරිසර තත්ත්වයන් ද වෙනස් වේ. ඒ අනුව ශ්‍රී ලංකාවට තේ කර්මාන්තය කොපමණ කාලයක් පවත්වා ගත හැකිද? තේ වෙනුවට ශ්‍රී ලංකාවට විකල්ප ආදායම් උත්පාදන ක්‍රමයක් තිබේද? වෙනස්වන දේශගුණය ශ්‍රී ලංකාවේ තේ වතුවලට බලපාන්නේ කෙසේද? යන්න සලකා බලමු.
මේ පිළිබඳව Climate Fact Checks කණ්ඩායම කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන ඇල්පිටිය වැවිලි සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රදීප් විතානගේ මහතා සමග සාකච්චා කළෙමු.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය
ශ්‍රී ලංකාවේ වාණිජ තේ වගාවේ පුරෝගාමියා වූයේ 1850 ගණන්වල කෝපි වගාවක් සඳහා දිවයිනට පැමිණි ජේම්ස් ටේලර් ය. කොළ රෝගය හේතුවෙන් කෝපි වගාව අසාර්ථක වීම නිසා විකල්ප බෝගයක් ලෙස ලූල්කන්දොර වතුයායේ තේ වගා කළ අතර එය ශ්‍රී ලංකාව තුළ දැන් නිර්මාණය වී ඇති කර්මාන්තයට මග පෑදීය.
1873 දී, රාත්තල් 23 (කිලෝග්‍රෑම් 10) පැකේජයක් ලංකාවෙන් එක්සත් රාජධානියට අපනයනය කරන ලදී. මෙම කුඩා ප්‍රමාණය 1886 දී රාත්තල් මිලියන 9 (කිලෝග්‍රෑම් මිලියන 4) දක්වා වැඩි විය. 1890 වන විට ශ්‍රී ලංකාවේ තේ අපනයනය රාත්තල් මිලියන 40ක් (කිලෝග්‍රෑම් මිලියන 18ක්) දක්වා වර්ධනය විය. 1990 වන විට ශ්‍රී ලංකාව ලොව විශාලතම තේ අපනයනකරුවා ලෙස කීර්තියට පත් වූ අතර වැවිලි කළමනාකරණය නැවත පුද්ගලීකරණය කිරීමෙන් පසු නිෂ්පාදනය තවදුරටත් වැඩි විය. දැනට ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් පමණ නිෂ්පාදනය කරන අතර ලෝක තේ වෙළඳපොළෙන් 22%ක පමණ කොටසකට හිමිකම් කියයි. මෙය ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 20% ක් වන අතර එය රාජ්‍ය ආදායමට සහ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සැලකිය යුතු දායකත්වයක් සපයයි. මීට අමතරව, තේ කර්මාන්තය සෘජු රැකියා 600,000 (සහ තවත් බොහෝ වක්‍ර) උත්පාදනය කරන අතර එය ශ්‍රී ලංකාවේ විශාලතම තනි සේවා යෝජකයා වේ.
දේශගුණික විපර්යාස මගින් ශ්‍රී ලංකාවේ තේ වතු වලට පවතින අවදානම
මේ වන විට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දේශගුණික විපර්යාසවලට ගොදුරු විය හැකි බව හඳුනා ගෙන ඇත. එයට හේතුව තේ අස්වැන්න කෙරෙහි කාලගුණය දැඩි ලෙස බලපාන බැවිනි. රටේ බොහෝ තේ වතු වර්ෂාවෙන් පෝෂණය වේ. එබැවින් හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා කාලෝචිත මෝසම් වර්ෂාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. අනෙක් අතට අධික වර්ෂාව නිසා පස ඛාදනය සහ යොදන ලද පොහොර සෝදා යාම ද සිදු විය හැක. මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී ප්‍රදීප් මහතා කීවේ මෙවැන්නකි “බව ඔබ දන්නා පරිදි තේ කර්මාන්තය දේශගුණය සහ කාලගුණය මත බෙහෙවින් රඳා පවතියි. නියඟ බලපෑම අවම කිරීම සඳහා වැසි ජලය රැස් කිරීමේ පොකුණු සහ වාරි ජලය සහ නැවත පිරවීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා අතර පාංශු ඛාදනය අවම කිරීම සහ ක්ෂුද්‍ර දේශගුණය පවත්වා ගැනීම සඳහා දේශීය ගස් සහ උණ ප්‍රභේද රෝපණය කිරීම සිදු කරයි. රක්ෂිත සහ ජල පෝෂක ප්‍රදේශ ආශ්රිත හඳුනා ගත් ඉඩම් හෙක්ටයාර් 166 ක් ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීම ද දැනට ආරම්භ කර ඇත.’
ශ්‍රී ලංකාවේ තේ වතු ඒවා වගා කරන විවිධ දේශගුණික කලාප මත පදනම්ව ප්‍රධාන කලාප තුනකට බෙදා ඇත. එක් එක් කලාපයන් ලෝකයේ විවිධ ප්‍රදේශවල ඉල්ලුම ඇති කරන විවිධ රසයන්ගෙන් යුත් තේ නිෂ්පාදනය කරයි. පහතරට තේ මුහුදු මට්ටමේ සිට අඩි 2000ක් උසින්, ප්‍රධාන වශයෙන් රුහුණු සහ සබරගමුව ප්‍රදේශ අතර තෙත් කලාපයේ වර්ධනය වේ. මැද රට තේ මහනුවර මධ්‍යම කඳුකරයේ මුහුදු මට්ටමේ සිට අඩි 2000 – 4000 ක් උසින් වැඩෙයි. අවසාන වශයෙන්, විශාල ඉල්ලුමක් පවතින , උඩරට තේ නුවරඑළිය, උඩු පුස්සැල්ලාව සහ දඹුල්ල දක්වා ඉහළ උන්නතාංශවල වර්ධනය වේ. මෙම කලාපවල විවිධ දේශගුණික තත්ත්වයන් ඒවාට අද්විතීය රසයන් ඇති කරයි. අනෙක් අතට එයින් අදහස් වන්නේ මෙම කලාප වල ඇති වන විවිධ දේශගුණික විචලනයන් තේ වගාව සදහා විවිධ ගැටළු ඇති කරන බවයි. එබැවින් මෙම ගැටළු වෙන වෙනම විසඳීම අත්‍යවශ්‍ය වේ.
වෙනස්වන දේශගුණය තුළ වල් පැලෑටි සහ පළිබෝධ පැතිරීමේ අවදානම
වාර්ෂික පාරිසරික උෂ්ණත්වයේ මන්දගාමී නමුත් ස්ථාවර වැඩි වීම හේතුවෙන් පසුගිය දශකය තුළ ආක්‍රමණශීලී විදෙස් ශාඛ විශේෂ (IAS) ශාක හා සතුන් ව්‍යාප්ත වීමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබිනි.
ප්‍රදීප් මහතාට අනුව තේ වතු ආශ්‍රිතව IAS සැලකිය යුතු ඉහළ යාමක් දක්නට නො ලැබේ. ඔවුන් එවැනි ආක්‍රමණ වලක්වා ගැනීම සඳහා ඒකාබද්ධ කළමනාකරණ සැලසුම් භාවිතා කරමින් වල් පැලෑටි සහ පළිබෝධකයන් නිරන්තරයෙන් අධීක්ෂණය කර කළමනාකරණය කරයි. මෙය සිදු කරනු ලබන්නේ කර්මාන්තයට දැඩි ආර්ථික පාඩුවක් වළක්වා ගැනීම සඳහා ය.
කෙසේ වෙතත්, ඔවුන් රසායනික වල්නාශක සහ පළිබෝධනාශක භාවිතය 70% කින් අඩු කර ඇති අතර පස සහ ඒ ආශ්රිත පරිසර පද්ධති යන දෙකම සංරක්ෂණය කිරීම සඳහා වඩාත් පරිපූර්ණ ක්‍රම පිළිබඳව සොයා බලමින් සිටින බව ඔහු පැවසීය. පස සාරවත්ව තබා ගනිමින් මෘදු වල් පැලෑටි වර්ධනය වීම වළක්වන වල් පැලෑටි නාශකයක් ඔවුන් මෑතක දී හඳුන්වා දී ඇත. මෙම පිළිවෙත මගින් ඔවුන් හානිකර රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වීම වළක්වයි.
පාංශු ඛාදනය වීම වැළැක්වීම
තේ යනු වසර 150ක් පමණ මෙරට වූ තනි බෝග වගාවකි. එබැවින් පස හායනය නොවැළැක්විය හැකිය. විශේෂයෙන් උඩරට තේ වතුවල, බෑවුම්වල වැවෙන තේ පඳුරු පේළි නිසා අඛණ්ඩව මතුපිට පස් ඉහිල් වීමක් ඇති වන අතර, එය පස හායනය වීමට හේතු වේ. මෙය පොහොර සඳහා වඩාත් සැලකිය යුතු ඉල්ලුමක් ඇති කර, අවසානයේ ස්වභාවිකව පවතින පාංශු ජෛව පාලන කාරක විනාශ කරයි.
ප්‍රදීප් මහතා පවසන්නේ මෙම ගැටලුවට විසඳුමක් ලෙසත්, බෝග අස්වැන්න වැඩි දියුණු කිරීම සඳහාත් සහ පසේ සාරවත් බව වැඩිදියුණු කිරීමේ වැදගත්කම ඔවුන් හඳුනාගෙන ඇති බවයි. 2030 වන විට පාංශු කාබන් 3% කින් පමණ වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් වාර්ෂිකව කාබනික කොම්පෝස්ට් කිලෝග්‍රෑම් මිලියන 4.8 කට අධික ප්‍රමාණයක් යොදනු ලැබේ. මීට අමතරව, පාංශු ඛාදනය වැළැක්වීම සඳහා ආවරණ බෝග වගා කිරීම සහ අනෙකුත් පාංශු සංරක්ෂණ ක්‍රම භාවිතා කරනු ලැබේ.
තේ වතු වල පාංශු හායනය වැලැක්වීම සඳහා ඇති හොඳම භාවිතයන් අතර බෝග විවිධාංගීකරණය, අතුරු භෝග වගාව සහ බෑවුම් සහිත කෘෂිකාර්මික ඉඩම් තාක්ෂණය (SALT) වේ.
තේ වතුවල ශ්‍රම බලකාය කළමනාකරණය කිරීම.
දේශගුණික විපර්යාස වලට අමතරව තේ කර්මාන්තයට ඇති ක්ෂණික තර්ජනයක් වන්නේ එහි ශ්‍රම බලකාය කළමනාකරණය කිරීමයි. තේ යනු ක්ෂේත්‍ර මෙහෙයුම් සහ නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා කම්කරුවන් මත යැපෙන ශ්‍රම-අධික අංශයකි. කෙසේ වෙතත්, වර්තමානයේ වතුකරයෙන් පිටවන ශ්‍රමිකයින් වඩාත් දියුණු නගරවල වෙනත් රැකියා අවස්ථා සොයා යාමේ ප්‍රවණතාවක් පවතී. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් තබා ඇති වැවිලි භෝග පිළිබඳ සංඛ්‍යාලේඛන තොරතුරු (SIPC) අනුව, 1988 දී මහා පරිමාණ තේ වතුවල ලියාපදිංචි කම්කරුවන් සංඛ්‍යාව 497,995 ක් විය. එය 1990 දී 405,304 දක්වා පහත වැටී ඇත. 2011 වන විට එය 207,235 දක්වා තවදුරටත් පහත වැටුණු අතර එය පසුගිය දශක දෙක තුළ 58% ක පහත වැටීමක් පෙන්නුම් කරයි.
ප්‍රදීප් මහතා සඳහන් කළේ, ‘ ඔවුන් ශ්‍රම බලකාය වටිනාම සම්පත ලෙස සලකන අතර කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. ඔවුන් ප්‍රජාවට 95% කට වඩා හොඳ සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම්, නව නිවාස සහ රැකියා අවස්ථා සපයා ඇත. වතුවලට ලබාදී ඇති පහසුකම් වැඩිදියුණු කර ඇති නමුත් ඉහළ මූල්‍ය ප්රතිලාභ හේතුවෙන් ශ්‍රමිකයින් විදේශගත වීමේ අභියෝගයක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය. මීට අමතරව අමතර ආදායම් උත්පාදන මාර්ග ඔස්සේ උගත් තරුණ තරුණියන් තේ කර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සඳහා කප්පාදු කිරීම, ඉසීම සහ නෙලීම වැනි බොහෝ ක්ෂේත්‍ර කටයුතු යාන්ත්‍රිකරණය කර ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදී.
සාරාංශයක් ලෙස,
අපනයන ආදායම් උත්පාදනය සලකන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තේ කර්මාන්තය මත බෙහෙවින් රඳා පවතී. එබැවින් දේශගුණික විපර්යාස නිසා රටට එම තත්ත්වය අහිමි වීම වළක්වා ගත යුතු ය. තේ වතු සමාගම් එය සලකා බලමින් ඇතිවිය හැකි ගැටලු සමනය කිරීමට කඩිනම් පියවර ගනිමින් සිටී. ඒ අනුව, තේ කර්මාන්තය සහ භාවිත තිරසාරව පවත්වාගෙන යමින් සම්පත් ආරක්ෂණය කිරීම සඳහා ඔවුන් වඩාත් වැදගත් ප්රවේශයන් ගෙන ඇත.
Original English Article URL: Has Climate Change put the world-famous Ceylon Tea on the line? – Climate Fact Checks Translated by Nuwandhara Mudalige