Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

පාරිභෝගිකයන්ගෙන් වෙළඳ භාණ්ඩවල බහාලුම් මලු ආදිය සඳහා මුදල් අය නොකිරීමේ තීරණය කොතරම් දුරට සාර්ථකද?

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෑතකදී සම්මත කරගත් විධානයක් ජනතාවගේ අවධානයට ලක් වුණා. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත 10 (1) (අ) වගන්තිය යටතේ 2008/10/17 දිනැති අංක 1571/25 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත විධාන අංක 26 යටතේ සම්මත වූ මෙම පනතින් පැවසුණේ කිසියම් වෙළෙන්දෙකු විසින් භාණ්ඩ විකුණන අවස්ථාවේදී නිකුත් කරනු ලබන බහාලුම් මලු, එතුම් ආදිය සඳහා පාරිභෝගිකයන්ගෙන් කිසිදු මුදලක් අය නොකළ යුතු බවයි. මෙහි සමාජ මාධ්‍ය පලකිරීම මෙතනින්.

මෙම විධානය පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ පරිසර සංවිධාන ආදිය විවිධ අදහස් පලකර තිබුණා. 

මේ අනුව මෙම විධානය ශ්‍රී ලංකාවේ පරිසරයට මෙන්ම ජනතාවගේ ආර්ථිකයට බලපාන අන්දම පිළිබඳව Climate Fact Checks අපි විමසා බැලුවා.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය

ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය ගෝලීය වශයෙන් මෙන්ම ජාතික වශයෙනුත් උද්ගත වී ඇති අර්බුධයක්. මේවා භාවිතයේ භයානකම පැතිකඩ වෙන්නේ නොදිරන කසල ක්‍රමවත්ව බැහැර නොකිරීම නිසා ඇති වන අපහසුතායි.

ලංකාව තුළ බැහැර කරන ඝන අපද්‍රව්‍යවලින් 10.5%ක්ම පොලිතින් හා ප්ලාස්ටික් ආශ්‍රිත නොදිරන අපද්‍රව්‍යයි. මේවා අවිධිමත්ව බැහැර කිරීම නිසා කාණු, ගංගා, වැව් ඇතුළු ජලාශ සහ වනාන්තර ආදී ස්වභාවික පරිසර පද්ධතිවලට හානි පමුණවනවා. ඊට අමතරව මෙම පරිසර පද්ධතිවල ජීවිත් වන සත්ත්වයින්ගේ පැවැත්මට පවා මේ අවිධිමත් පොලිතින්, ප්ලාස්ටික් බැහැර කිරීම හේතු වී තිබෙනවා.

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ සෑම නිවසකම පාහේ ප්ලාස්ටික් පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වරදින්නේ නැහැ. එදිනෙදා වැඩකටයුතුවලදී අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම අංගයක් බවට මේවා පත් වී තිබෙනවා. කෙසේ නමුත් භාවිතයෙන් පසු මේවා නිසි පරිදි බැහැර කිරීමක් පිළිබඳව බහුතරයක් දෙනා සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

වරින් වර රට තුළ නව නීති රෙගුලාසි සම්පාදනය කරමින් පොලිතින්වලින් ඇතිවල බලපෑම් පාලනය කිරීමට රජය උත්සාහ කළත්, එම කිසිදු පියවරක් සාර්ථක වුණේ නැහැ.

මෙම දිරාපත් නොවන කැලිකසල සඳහා හොඳම පියවරවල් ලෙස මිනිසුන් සලකන්නේ ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතයයි. නමුත් ලංකාව තුළ, ප්‍රතිචක්‍රීකරණයට ලක්වන්නේ දිරාපත් නොවන කැලිකසලවලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. ඉතිරි අපද්‍රව්‍යවලින් කොටසක් පිළිස්සීම හෝ බිම් පිරවුම වැනි ක්‍රමවත් යැයි සම්මත ක්‍රමවලට ඉවත් කෙරෙන අතර වැඩි ප්‍රමාණය නිසි කළමනාකාරීත්වයකින් තොරව, අවිධිමත්ව පරිසරයට එක් කරනවා.

පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග භාවිතයෙන් අනතුරු ඉවත් කිරීම සඳහා නිවෙස්වල සුලබවම භාවිත වන ක්‍රමවේදය පිළිස්සීමයි. මේවා මෙලෙස පිළිසීමේදී විෂ සහිත ඔක්සයිඩ, වාෂ්පශීලී කාබනික අංශු, රසදිය ආදී අංශු සහ හරිතාගාර වායූන් ආදිය වායුගෝලයට එක් වෙනවා. මෙය වායු දූෂණය ඉහළ නැංවීමට මෙන්ම, ගෝලීය උෂ්ණත්වයට බලපෑම් කරමින් දේශගුණ විපර්‍යාස ඇති කිරීමටද හේතු වෙන්න පුළුවන්.

ශ්‍රී ලාංකික ජනතාව ප්ලාස්ටික් පොලිතින් වලින් පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා ගන්න බුද්ධිමත්ම පියවරක් ලෙස ඒව නැවත නැවත භාවිතයට ගැනීම සලකයි. පාරිසරික වශයෙන් බැලූ විට මෙම ක්‍රියාමාර්ගයෙන් යම් වාසියක් ඇතත් මෙමඟින් ඊට වැඩි හානි මිනිස් සිරුරට සිදුවිය හැකියි.

සාමාන්‍යයෙන් රට තුළ භාවිත වන ප්ලාස්ටික්, පොලිතින් ආදිය බොහෝ අවස්ථාවලදී එක් වතාවක් භාවිතයෙන් පසු බැහැර කළ යුතු ඒවායි. මෙවැනි ප්ලාස්ටික්, පොලිතින් නැවත නැවත භාවිතයෙන් සෞඛ්‍යමය ගැටළු පැනනැගීමේ අවදානමක් ඇති වෙනවා. එක් වතාවකට වඩා මේවා භාවිතයෙන්, ඒවාගේ අඩංගු රසායන මයික්‍රො ප්ලාස්ටික් ලෙස භාවිත කරන්නාගේ සිරුරට ඇතුළු වෙනවා.

මිනිසුන්ගේ රුධිරයට ගමන් කරන මෙම මයික්‍රො ප්ලාස්ටික්, පසුකාලීන දරුණු රෝගාබාධයන්ට හේතුවන බව මේ වන විට සොයාගෙන තිබෙනවා. එනිසා මෙවැනි ප්ලාස්ටික් එක් වරක් භාවිත කළ පසු කිරීමට සුදුසුම වන්නේ ක්‍රමවත් අන්දමකට බැහැර කිරීම පමණයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල පොලිතින්, ප්ලාස්ටික් භාවිතය කිලෝග්‍රෑම් 6ක් පමණ වෙනවා. මෙම අගය ඇමෙරිකාව, ජපානය, චීනය වැනි රටවලට වඩා අඩු අගයක් වුවත්, නොදිරන කසළ කළමනාකරණය පිලිබඳ සම්පූර්ණ ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැත් ශ්‍රී ලංකාව වැනි රටක මෙය විශාල අගයක්.

ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් රජය සමඟ එක්ව, පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් ආදී නොදිරන අපද්‍රව්‍ය එක් වීම පාලනය කිරීමට අදාලව නීති පලකරමින්, වරින් වර නිකුත් කළ ගැසට් නිවේදන මෙතනින්.

කෙසේ නමුත්, මෙම කිසිදු පියවරකට බලාපොරොත්තු වූ ධනාත්මක ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වුණා.

මෙම නව විධානය යටතේ පරිසරය සහ දේශගුණික විපර්‍යාස කෙරෙහි ඇතිවිය හැකි බලපෑම

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙවර නිකුත් කරන ලද විධානයට අනුව, මින් ඉදිරියට වෙළඳ භාණ්ඩ සමඟ ලබා දෙන ඇසුරුම් සඳහා මිලක් පාරිභෝගිකයාගෙන් අය කරගන්නේ නැහැ. භාණ්ඩ සමඟ ලබා දෙන කවර, බෑග්, එතුම් ආදිය සඳහා මූල්‍යමය වටිනාකම වෙළෙන්දා විසින් දැරිය යුතුයි.

මීට පෙර ඇතැම් වෙළඳසැල්වල බඩුත් සමඟ ලබා දෙන පොලිතින් කවරයට යම් වටිනාකමක් අය කළා. මෙම කරුණ නිසා ඇතැම් මිනිසුන් මෙවන් වෙළඳසැල්වලට යන විට කුඩා රෙදි බෑග් හෝ එවැනි වෙනත්, නැවත නැවත භාවිත කළ හැකි අසුරණ රැගෙන ගියා. මෙමඟින් පොලිතින්, ප්ලාස්ටික් භාවිතය සහ බැහැර කිරීමේ ශීඝ්‍රතාවයට බලපෑමක් කිරීමට හැකි වුණා. විශේෂයෙන් එක් වරක් පමණක් භාවිත කර හැකි පොලිතින්වල භාවිතය අඩු කිරීමට මෙහිදී යම් හැකියාවක් ලැබුණා.

නව විධානයත් සමඟ පාරිභෝගිකයා කිසිදු පැකිලීමකින් තොරව අමතර පොලිතින් ක්ලවර ආදිය වෙළඳසලින් ලබා ගනු ඇති අතර, භාවිත කරන පොලිතින් ප්‍රමාණය ඉහළ යනු ඇති. එනම් බැහැර කරන නොදිරන අපද්‍රව්‍ය ප්‍රමාණයත් ඉහළ යයි. මෙහිදී අවිධිමත් පොලිතින් ප්ලාස්ටික් බැහැර කිරීම ඉහළ යයි. පරිසර පද්ධතිවලට අක්‍රමවත්ව එක් වන පොලිතින් ප්‍රමානය තව දුරටත් වැඩි වෙයි. මෙය පරිසර පද්ධති සහ ඒවා වාසස්ථාන කරගත් සතුන්ට තර්ජනයක්.

ඊට අමතරව ජලාශ සහ කාණුවල මේවා අවිධිමත් ලෙස එක්‍ රැස් වීමෙන්, ජල දූෂණය සහ සෞඛ්‍යාරක්ෂිත බලපෑම් ඇතිවීමටද අවදානමක් ඇති වෙනවා. කාණුවල පොලිතින් ආදිය සිරවී නගරවල ජලමාර්ග පද්ධතිය අවහිර වී විව්ධ ගැටළු උද්ගත වීමට ඉඩ ඇති අතර, අධික වර්ෂා සමයකදී නම් මේවා නාගරික ප්‍රදේශවල ගංවතුර වැනි ස්වභාවික ආපදා තත්ත්ව පවා උත්තේජනය කරනවා.

පොලිතින් සහ ප්ලාස්ටික් පරිසරයට කෙලින්ම එක් නොකර බැහැර කිරීමේදී සාමාන්‍යයෙන් මිනිසුන් සුලබවම අනුගමනය කරන්නේ ඒවා දහනයයි. මෙහිදී ගෘහාශ්‍රිතව, කිසිදු විශේෂිත තාක්ෂණයකින් තොරව, විවෘත දැල්ලක දහනය කිරීම සිදුවනවා.

පොලිතින්, ප්ලාස්ටික් සහ අනෙකුත් දිරාපත් නොවන ද්‍රව්‍ය බහුතරයක් පොලිඅවයවිකයි. මේවා සංකීර්ණ අණු සැකැස්මකින් සමන්විත වන අතර විවිධ ආකාරයේ අණු මෙහි අන්තර්ගත වෙනවා. දහනයේ දී සිදුවෙන්නේ මෙම සංකීර්ණ අණු බිඳවැටී සරල වායු සංඝටක බවට පත්වී වායුගෝලයට එක් වීමයි.

මෙහිදී ඇතිවන බොහෝ වායු සංඝටක තිබෙනවා. ඒ අතරින් ඇතැම් සංඝටක විෂ සහිතයි. ඒ අනුව රසදිය, ෆුරන්, සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි විෂ අංශු මෙහිදී වායුගෝලයට එක්වීමේ අවදානමක් පවතිනවා. එනිසා මෙහිදී මිනිස් සෞඛ්‍යයට වක්‍ර බලපෑමක් එල්ලවන අතර වායු දූෂණ අවදානමක් ඇති වෙනවා.

මෙලෙස පොලිතින්, ප්ලාස්ටික් දහනයෙන් පිටවන වායුන් බහුතරයක් හරිතාගාර වායූන්. එනම් මෙම වායුන් මඟින් අප අවට වායුගෝලයේ හරිතාගාර ආචරණය ඇති කර උෂ්ණත්ව ඉහළ යාම සිදු කරනවා. මෙම වායූන් ගෝලීය දේශගුණික විපර්යාස සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙනවා.

මීට අමතරව, මෙම පාරිභෝගික අධිකාරියේ විධානයත් සමඟ, පොලිතින් ඉල්ලුම ඉහළ යාමට විශාල සම්භාවිතාවයක් තිබෙනවා. ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමේදී පොලිතින්, ප්ලාස්ටික් නිශ්පාදනයද ඉහළ යනවා. පොලිතින් නිශ්පාදනයද එතරම් පරිසර හිතකාමී ක්‍රියාවලියක් නෙවෙයි. මෙහිදීත් හරිතාගාර යායු සහ විෂ වායු විමෝචනය සිදුවෙනවා. නිශ්පාදන වැඩි වීමත් සමඟ, පොලිතින් නිශ්පාදනයේදී සිදුවන වායු දූෂණ සහ විමෝචන තත්ත්ව ඉහළ ගොස් දේශගුණික විපර්‍යාසවලට තවදුරටත් බලපෑම් ඇති කරනවා.

සාමාන්‍ය ජනතාව වශයෙන් අපි ගෝලීය උෂ්ණත්වය සඳහා ලබාදෙන දායකත්වය අවම කිරීමට හොඳම සහ පහසුම පියවර පොලිතින් ප්ලාස්ටික් වෙනුවට, පරිසර හිතකාමී ආදේශක ද්‍රව්‍ය භාවිතයයි.

මෙම විධානය බලාත්මක කිරීම කොතරම් දුරට ප්‍රායෝගිකද?

මෙම තීරණයේ ඇති ප්‍රායෝගිකභාවය පිළිබඳ තහවුරු කරගැනීමට Climate Fact Checks අපගේ කණ්ඩායම විසින් දේශගුණික ක්‍රියාකාරිණියක් සහ සමාජ ක්‍රියාකාරිණියක් වන මෙලනි ගුණතිලක මහත්මියව සම්බන්ධ කර ගැනුණා.

ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් පරිසරයට සහ ජන සෞඛ්‍යට ඇතිවිය හැකි ගැටළු පිළිබඳ කරුණු 100%ක්ම සත්‍ය වුවත්, මෙම නව තීරණය හමුවේ පාරිභෝගිකයාගේ පාර්ශ්වයෙන් ගත්විට එය සාධාරණ බව එතුමිය ප්‍රකාශ කළා. එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම නීතිය ක්‍රියාත්මක වීමට පෙර කාලයේදී, නිශ්පාදනයේදී ඇසුරුම් සහිතව නිකුත් කරන භාණ්ඩ හැර අනෙක් භාණ්ඩවලට ඇසුරුම්, බෑග් ආදිය ලබාදීමේදී ඇතැම් වෙළඳසැල්වලින් යම් මුදලක් අය කළ බවයි. මෙහිදී මෙම ඇසුරුම් සඳහා මුදල් අය කිරීමෙන් භාණ්ඩ නිශ්පාදකයාට හෝ පාරිභෝගිකයාට කිසිදු වාසියක් හෝ ලාභයක් සිදු නොවන අතර, මෙයින් ලාභයක් ලැබෙන්නේ මෙහි අතරමැදියා ලෙස ක්‍රියාකරන වෙළෙන්දාටයි. පාර්භෝගිකයාට ඇසුරුම සඳහාත් මුදල් වැය කිරීමට සිදුවීම නිසා අලාභයක් සිදුවෙනවා.

මෙලනි ගුණතිලක මහත්මියට අනුව, ශ්‍රී ලංකාව වැනි රටක මෙම නීතිය සාධාරණ වීමට හේතු සාධක කිහිපයක්ම තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් බහුතරයක් ප්‍රවාහණ ගැටළු ආදී දුශ්කරතා පවතිනවා. බහුතර ශ්‍රී ලාංකිකයින් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අතර, භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙනම, සැලකිය යුතු දුරක් පයින් හෝ පොදු ප්‍රවාහන ආදියේ ගමන් කරන කොටසකුත් සිටිනවා. වෙනත් ගමන් බිමන් යන අතරතුර බඩු මිලදී ගෙන බස් රථ, දුම්රියවල ගමන් කරන කොටස් සිටිනවා. මෙම පිරිසට දැනට ඇති පහසුම විකල්පය පොලිතින් බෑග් සහ ඇසුරුම්. මෙම ඇසුරුම් සඳහා වෙනම මිලක් නියම කරත්, ඉහත සඳහන් ආකාරයේ අපහසුතා පවතින පිරිසට එම මුදල වැය කර හෝ ඇසුරුම ලබා ගැනීමට සිදුවනවා. අවසාන ප්‍රතිඵලය ලෙස සිදුවන්නේ අපහසුතාව විඳදරාගන හෝ පාරිභෝගිකයාම තව දුරටත් පෙලීමට ලක්වීම පමණයි. 

මෙම නීතිය ක්‍රියාත්මක වීමට පෙර ආහාර ඇසුරුම් කරන බඳුන්වලට, බත් පැකට් මිලදී ගැනීමේදී එම ලන්ච් ශීට්වලට පවා අමතර සැලකිය යුතු මුදලක් අය වුණා. එසේ වුවත්, ආහාරය වැනි ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අවශ්‍ය ආරක්ෂාව නිසා මිනිසුන් එය නොතකා ඇසුරුමද මිලදී ගැනීම සිදුවුණා. මෙයින් ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම කිරීමට දිරිගැන්වීමක් වෙනුවට සිදුවූනේ පාරිභෝගිකයාව දුෂ්කරතාවයට පත්කිරීමයි.

තවදුරටත් මෙලනි ගුනතිලක මහත්මිය පැවසුවේ අප මේ පිළිබඳව ප්ලාස්ටික් සහ පොලිතින් ඇතුළු නොදිරන ඇසුරුම් වර්ග සඳහා පමණක් අදාල කරගනිමින් කතා කළත්, මෙය සියලුම වර්ගයේ කඩදාසි, කාඩ්බෝඩ් සඳහා පවා අදාල වන බවයි. ඒ අනුව මෙය හුදෙක් පොලිතින් භාවිතය ඉලක්ක කරගෙන සම්පාදනය වූ විධානයකට වඩා පාරිභෝගිකයාගේ පහසුව උදෙසා සැකසුණු එකක් බව පැහැදිලියි.

වෙනත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අර්බුධය සසඳමින් නීති සම්පාදනයේදී රටවල්වල යටිතල පහසුකම්, ප්‍රවාහණය, ආර්ථිකය ආදිය පිළිබඳවද සැලකිලිමත් වීම වැදගත්. දියුණු රටවල මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී පාරිභෝගිකයා මුහුණ දෙන ගැටළුවලට වඩා වැඩි ගැටළුවලට ශ්‍රී ලාංකික ජනතාව ලක් වෙනවා. පාරිසරික යහපැවැත්මට වඩා පාරිභෝගිකයාට සිදුවූ හානිය සහ පෙලීම මෙහිදී වැඩියි. දියුණු රටවල පුද්ගලයින් අප මෙන් ගමනාගමනය වැනි ගැටළුවලින් පෙලෙන්නේ නැහැ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මෙම විධානය නිකුත් කිරීම විවිධ පාරිසරික ගැටළු පැන නැගුණත්, අතිශයින් මහජන හිතවාදී සහ ප්‍රායෝගිකයි.

ප්ලාස්ටික්, පොලිතින් භාවිතය පාලනයට ගතහැකි පියවර

මෙලනි ගුණතිලක මහත්මිය පැවසුවේ, පොලිතින් ප්ලාස්ටික් භාවිතයට ගත හැකි හොඳම සහ සාර්ථකම පියවර ඒවා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම බවයි.

ශ්‍රී ලංකා රජය මේ සඳහා කිහිප වරක් උත්සාහ කළ නමුත් විවිධ හේතු නිසා එය අසාර්ථක භාවට පත් වුණා.

මෙලනි ගුණතිලක මහත්මිය පැවසුවේ පොලිතින් බෑග් වෙනුවට යොදා ගත හැකි ආදේශක විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ පවතින බවයි. ඇය ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ පර්‍යේෂණවලදී බිම්මල්, සහල් සහ මඥ්ඥොක්කා වැනි ශාකවල පවතින පිෂ්ඨය ආදියෙන් පොලිතීන් සඳහා ඉතා සාර්ථක ආදේශක නිපදවිය හැකි බව සොය ගෙන තිබුණා. නමුත් ගැටළුව වන්නේ මෙම ආදේශකවලින් දිරාපත්වන ඇසුරුම් නිෂ්පාදනය අධික මුදලක් වැයවන ක්‍රියාවක් වීමයි.

පොලිතින් යනු පෙට්‍රෝලියම් නිශ්පාදනයේ අතුරුඵලයකින් නිශ්පාදනය වන ද්‍රව්‍යක්. මේ සඳහා වැයවන මුදල සාපේක්ෂව අඩුයි. ඒ නිසාවෙන් පොලිතින් නිශ්පාදනය මේ තරම් ලෝකය පුරා ප්‍රචලිත වී පවතිනවා.

එමෙන්ම පොලිතින් නිෂ්පාදකයින්, ඉතා බලවත් සමාගම්. මක් නිසාද යත් ඔවුන් පෙට්‍රෝලියම් නිශ්පාදනය සමඟ සෘජුවම සම්බන්ධකම් පවතින සමාගම් නිසා. ඒ සමඟ තරඟ කිරීම ඉහළ පිරිවැයකින් නිපදවන ස්වභාවික නිශ්පාදනයකට අපහසු වනු ඇති.

කෙසේ නමුත් පොලිතින් ප්ලාස්ටික් සම්පූර්ණයෙන් තහනමකට ලක් කළහොත්, ඒ වෙනුවෙන් භාවිතා කිරීම සඳහා රෙදි බෑග්, දිරාපත්වන ද්‍රව්‍ය වලින් නිර්මිත ආවරණ ආදිය භාවිතයට මිනිසුන් සෙමෙන් හෝ හුරු කරගත හැකි වනු ඇතී.

එමෙන්ම භාණ්ඩ නිශ්පාදකයින් විසින් ඔවුන්ගේ භාණ්ඩ ඇසුරුම් දිරාපත් වන තත්වයේ ද්‍රව්‍යකින් නිපදවුවහොත් එය රටේ දිරාපත් නොවන කසල ගැටළුවට සහනය සලසනු නොඅනුමානයි.

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය පාලනය සඳහා නීති සම්පාදනය

ඉහළ සමාගම්වල බලපෑම් නිසා රජයට ප්ලාස්ටික් පොලිතින් භාවිතය සදහා අදාල නීති සාර්ථකව පවත්වාගත නොහැකියි. පොලිතින් ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කර අධිකව ලාභ ලබන පොලිතින් ප්ලාස්ටික් නිශ්පාදන ආයතන මෙන්ම, දිරාපත් නොවන ද්‍රව්‍යවල ඇසුරුම් කරන භාණ්ඩ නිශ්පාදකයින් මෙම නීති කෙරෙහි නම්‍යශීලීත්වයක් දක්වන්නේ නැහැ.

නීතිවලට පහසුවෙන් අවනත කරගත හැකි මහජනතාව මත මෙහි සම්පූර්ණ බර පැටවීමෙන් සිදුවන පාරිසරික ඵලදායීතාවයට වඩා සාර්ථක වන්නේ නිශ්පාදන ක්‍රියාවලියේදී සිදුවන ප්ලාස්ටික් පොලිතින් ඇසුරුම් භාවිතය වලැක්වීමයි. නමුත් බලවත් සමාගම් මෙම නීති මතින් ගැලවී සාමාන්‍ය ලෙස ඔවුන්ගේ නිශ්පාදන සිදු කරගන්නවා.

රටේ දිරාපත් නොවන කසළ සම්බන්ධ පාරිසරික දූෂණයට සියළුම මිනිසුන් එක සේ වගකිවයුතුවන්නේ නැහැ. එක් එක් මිනිසුන් මේ සඳහා දායක වූ ප්‍රමාණ පවතිනවා. නමුත් මීට ඉහළම දායකත්වක් ලබා දෙන ප්‍රධාන පෙළේ සමාගම්වලට මෙම අර්බුධය පාලයනය සඳහා කැපකිරීමක් සිදුකිරීමට වුවමනාවක් ඇතිබවක් පෙනෙන්නේ නැහැ.

ඔවුන් මෙම නීති සඳහා ගරු කර, සැම දෙනාම එකා වන්ව මෙම උවදුරින් ගැලවීමට කටයුතු කරනවා නම් රටේ මෙම ගැටළුව සාර්ථකව විසඳෙනු ඇති.

ඒ අතරතුර සාමාන්‍ය ජනතාව එක්වී තමාට හැකි පමණ පොලිතින් ප්ලාස්ටික් භාවිතය නැවතීම සිදු කිරීම වැදගත්. කසල බැහැර කිරීම සම්බන්ධ නීති පැනවීම මෙන්ම, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය ජනතාවගේ කෙරෙහි සිදුවිය යුතුයි.

පොලිතින් ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමෙන් දේශගුණික විපර්‍යාසවලට සහායක් ලැබේවිද?

පෙර සඳහන් කළ පරිදි ප්ලාස්ටික් පොලිතින් නිශ්පාදනය මෙන්ම බැහැර කිරීමේදී ඒවා දහනය කිරීම සහ අවිධිමත් ලෙස පරිසර පද්ධතිවලට් එක් කිරීම සෘජුවම පරිසර දූෂණයට දායක වෙනවා. විශේෂයෙන්ම බාහිර වායුගෝලයට මෙම ක්‍රියාවලි නිසා එක්වන විවිධ වායූන් නිසා ගෝලීය උෂ්ණත්වයට දායකත්වයක් ලැබෙනවා. දේශගුණික විපර්‍යාස සිදුවීම මේවා නිසා උත්තේජනයට ලක් වී අහිතකර තත්ව ඇති වනවා.

මේ නිසා පොලිතින් ප්ලාස්ටික් භාවිතය සීමා කිරීම දේශගුණික විපර්‍යාස සම්බන්ධව ඉතා වැදගත්. ඒ අනුව මේ සඳහා සුදුසු නීති සම්පාදනය කර, ජනතාවට හානියක් නොවන ආකාරයෙන් මේවා භාවිතය සීමා කිරීම රටක් වශයෙන් ඉතා වැදගත්.

සැකසුම- මිහිරි සපරමාදු

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter