Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිදුවන මිල විචලනයන් සඳහා දේශගුණික විපර්‍යාස බලපානවාද?

කොවිඩ්-19 ව්‍යාප්තිය සහ ඉන්පසුව මුහුණ දීමට සිදුවූ දරුණු ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බරපතල ගැටළු රැසක් ඇතිවූ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු, ඒ අතරින් ප්‍රජාවට වැඩිපුරම බලපෑ ගැටළුවක් බවට පත්වුණා. 

විටින් විට සිදුවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලේ විචලනයට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් පවතිනවාද යන්න විමසා බලන්නට අපි තීරණය කළා.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලේ විචලනය

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ බත්ය. සහල් ලබා ගැනීම සඳහා වී ගොවිතැන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මානත ක්ෂේත්‍රයේ ප්‍රධානම අංගයක් ලෙස පවතිනවා. නමුත් සහල් මිල සැලකීමේ දී මේ වන විට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා. 2018 වසරේ දී රුපියල් 110කට ආසන්න මිලකට පැවති සම්බා සහල් කිලෝව, මේ වන විට රුපියල් 230ක් වැනි මිලකට වෙළඳපොළ තුළ අලෙවි වෙනවා. 

පරිප්පු ශ්‍රී ලංකාවේ වගාවක් සිදු නොවන නමුත්, එය බොහෝ නිවෙස්වල දෛනික ආහාර වේලේ නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා ඉන්දියාව, පකිස්ථානය සහ බංගලාදේශය වැනි රටවලින් පරිප්පු ආනයනය කිරීම සිදු කෙරෙනවා. මයිසූර් පරිප්පු කිලෝව 2018 වසරේදී අලෙවි වී තිබෙන්නේ රුපියල් 150ක් වැනි මිලකට. මේ වන විට එය රුපියල් 300ක් වැනි මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එවකට මෙරටින් ලබා ගන්නා බිත්තරයක් රුපියල් 20කටත් අඩු මුදලකට අලෙවි වුණා. කොවිඩ් සමයේදී රුපියල් 10ට පවා සෑම ප්‍රදේශයකම පාහේ අලෙවි වූ බිත්තර, මේ වන විට රුපියල් 40කටත් වැඩි මිලකින් විකිණෙනවා. එමෙන්ම ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පවා රජයට සිදු වී තිබෙනවා.

මේ ආකාරයෙන්ම අල, ළූණු, පොල්, එළවළු සහ පළතුරු, මස් වර්ග ආදියේ පවා කැපී පෙනෙන මිල වෙනසක් ශ්‍රී ලංකා වෙළඳ පොළ තුළ නිරීක්ෂණය කළ හැකියි. 2018 වසරේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් දැක්වූ සටහනක් මෙතනින්. 2023 වසරේ සැප්තැම්බර් මාසයේ ආහාර ද්‍රව්‍යවල මිලේ සිදු වූ වෙනස්කම් සඳහා අදාල මහ බැංකු වාර්තා මෙතනින්.

මෙම තත්ත්වයන් පිළිබඳව සිදු කළ සමීක්ෂණ ඔස්සේ ඉදිරිපත් වූ විවිධ දත්ත නිරීක්ෂන පහත සටහන් ඔස්සේ දක්වා තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය මෑතකදී විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. එය වෙනත් දකුණු ආසියානු රටවල් සමඟ සසඳා බැලීමේදීත් ඉහළ අගයක පවතිනවා.

ආහාර උද්ධමනය ඇතිවීමට හේතු

ඕනෑම වෙළඳපොළ ද්‍රව්‍යක වටිනාකම සඳහා බලපාන ප්‍රධාන සාධක 4ක් තිබෙනවා. ඒවා වන්නේ එය නිපදවීමට වැයවන මුදල, ඉල්ලුම හා සැපයුම, පාරිභෝගිකයාගේ හැඟීම් සහ තරඟකාරීත්වයයි. 

ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ විවිධ හේතු නිසා රට තුළ ඇති වූ අධි උද්ධමනකාරී තත්ත්වය මේ සඳහා ප්‍රධානතම හේතුව ලෙස සැලකෙනවා. උද්ධමනයේදී සිදුවන්නේ යම් කාලයක් තුළ භාණ්ඩ මිල අනුපාතය ඉහළ යාමයි. මෙහිදී යම් මුදලකින් ලබා ගත හැකි ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීම සිදු වෙනවා. 

දැනට වසර එක හමාරකට දෙකකට පෙර සිදුවූ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම මේ තත්ත්වයට සෘජුවම හේතු වෙනවා. මෙහිදී ආනයනික ද්‍රව්‍යවල වටිනාකම සම්පූර්ණයෙන්ම ඉහළ යනවා. අන්තර්ජාතික ගණුදෙණුවලදී අප ප්‍රධාන වශයෙන්ම භාවිත කරන්නේ ශ්‍රී ලංකා රුපියල් නොවන ඇමෙරිකානු ඩොලර් වැනි මුදල් ඒකක. රුපියල අවභාවිත වීමත් සමඟ එවැනි භාණ්ඩ ගෙන්වීමේදී රජය විසින් වැය කරන මුදල ඉහළ ගොස් තිබෙනවා. මෙය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලේ ක්ෂණික ඉහළ යාම සඳහා ප්‍රධානතම හේතුවන් වෙනවා. ඒ අනුව මෙම තත්ත්වය යටතේ සිදු වී ඇත්තේ ද්‍රව්‍ය නිශ්පාදනය සඳහා වැයවන මුදල ඉහළ යාමයි.

ආනයනික නොවන, දේශීය ද්‍රව්‍ය සඳහා මෙවන් තත්ත්වයක් නොපැවතියත්, එම නිශ්පාදන සිදු කිරීම සඳහා අවශ්‍ය වෙනත් අමුද්‍රව්‍ය ලංකාවේ නිපදවෙන්නේ නැති අතර, ඒවා විදේශයන්ගෙන් ආනයනය කරන විට ඇතිවන මිල ඉහළ යාම අදාල නිශ්පාදිතයේ මිලට වක්‍රව බලපෑම් කරනවා. උදාහරණ ලෙස, ශ්‍රී ලංකාව තුළ දේශිය බිත්තර සහ කුකුල් මස් වෙළඳපොළ සිදු කෙරුනත්, කුකුළන් සඳහා අවශ්‍ය ආහාර විදේශයන්ගෙන් ගෙන්වීමට වැය වන මුදල ඉහළ යාම බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ යාමට හේතුව ලෙස දක්වනවා.

වෙනත් රටවල ඇතිවන දේශපාලනික අස්ථාවරභාවයන් පවා, අපේ ආහාර මිල ගණන් සඳහා තර්ජන එල්ල කිරීමට සමත්. විශේෂයෙන්ම රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය, ශ්‍රී ලංකාව තුළ තිරිඟු පිටි වැනි ඇතැම් ආහාර ද්‍රව්‍යන්ගේ මිල වර්ධනය කරනවා. ඒ පිළිබඳව සටහනක් මෙතනින්.

මීට අමතරව වෙළඳපොළ තුළ ඇතිවන මාෆියාවන් ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට බලපෑම් එල්ල කරනවා. මෙවැනි මාෆියාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තුළ පලවූ වාර්තාවක් මෙතනින්.

පාරිභෝගිකයාගේ හැඟීම් භාණ්ඩ මිලට බලපාන්නේ වෙනස්ම ආකාරයකින්. ශ්‍රී ලංකාව තුළ දී සැලකූ විට, එකම එළවළුව සඳහා සාමාන්‍ය සති පොළකදී, සාමාන්‍ය කඩයකදී සහ සුපිරි වෙළඳසලකදී විවිධ මිල ගණන් ගෙවීමට සිදුවනවා. මිල ගණන් ගැන නොසලකා මෙහිදී මිල අධිකම ද්‍රව්‍ය මිලදී ගන්නා පිරිස් සිටිනවා. ඔවුන් ඒ සඳහා යොමු කරන්නේ , “භාණ්ඩ ප්‍රදර්ශනය කර ඇති අයුරු සිත් ගන්නා ලෙස තබා තිබුණා, අනෙක් තැනට වඩා පිරිසිදුබවක් මට මෙහි දැනුණා, මෙය අනෙත් ස්ථානයට වඩා සෞඛ්‍යාරක්ෂිත”යි යන්නයි. මිල අඩු ස්ථානයෙන් මිලදී ගන්නා අය සිතන්නේ ස්ථානය වෙනස් වූවත්, මෙහි ගුණාත්මකභාවය සමානයි, මේවා නැවුම් වැනි කරුණුයි. එය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා. තම ව්‍යාපාරයට ආකර්ෂණය ලැබෙන පිරිස්වලට අනුව ව්‍යාපාරිකය තම භාණ්ඩයේ මිල පාලනය කරනවා.

එකම ද්‍රව්‍ය සඳහා ආයතන කිහිපයක් සමඟ තරඟකාරීත්වය ඇතිවීමත් ආහාර ද්‍රව්‍ය මිලට බලපානවා. එකම ස්ථානයේ තමා විකුණන ද්‍රව්‍ය විකුණන තවත් ව්‍යාපාරිකයින් සිටිනවා නම් ඔවුන්ට අභියෝග කරමින් තම භාණ්ඩවල මිල අඩු කර පාරිභෝගිකයා ආකර්ෂණය කරගැනීමට ඇතැම් වෙළෙඳුන් උත්සාහ දරනවා.

මීට අමතරව මීට බලපාන ස්වභාවික සංසිද්ධීනුත් තිබෙනවා. මෙම ආර්ථික අවපාතයට පෙර පවා මෙම සාධක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලවලට බලපෑම් සිදු කළා. ඒ දේශගුණික විපර්‍යාසයි. දේශගුණික විපර්‍යාස හේතුවෙන් ඇතිවන පාරිසරික වෙනස්වීම් මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල විචලනයට විවිධ අයුරින් බලපෑම් එල්ල කරනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල විචලනයට දේශගුණික විපර්‍යාසවල බලපෑම

දේශගුණික විපර්‍යාස නිසා වරින් වර ඇතිවන ආන්තික තත්ත්ව මෙම ආහාර ද්‍රව්‍ය නිශ්පාදනයන්ට සෘ ජුවම මෙන්ම දැඩි බලපෑම් එල්ල කරනවා. උදාහරණයක් වශයෙන් අධික වර්ෂාව සමඟ ගංවතුර, නායයාඅම් වැනි තත්ත්ව ඇතිවන සමයන්ගේ එළවළුවල මිල ගණන්වල කැපී පෙනෙන වර්ධනයන් පෙන්නුම් කරනවා. මීට හේතු වන්නේ මෙම පාරිසරික තත්ත්වයන් සමඟ පරිසරයේ මතුවන තෙත් සහිත ස්වභාවය නිසාවෙන් එළවළු නරක් වීමට වැඩි නැඹුරුතාවයක් දැක්වීමයි.

මෑතකදී ඇතිවූ දැඩි නියං තත්ත්වය නිසාවෙන් ජල මූලාශ්‍ර සිඳී යාම නිසා කුඹුරු වියළීමට ලක්වී අස්වැන්න විනාශ වී ගියා. මෙම තත්ත්වය නිසා ඉදිරියේදී සහල් හිඟයක් සහ අධික මිල ඉහළ යාමකට නැවත අපට මුහුණ දීමට සිදුවනු ඇති. 

අතීතයේ රට සහලින් ස්වයංපෝෂිත වුණා. වී ගොවිතැන සිදු කෙරුණේ යල සහ මහ ලෙස මෝසම් සුළං සමයන් ආශ්‍රයෙන් යොදාගත් විශේෂිත කන්න දෙකකින්. අතීත ගොවියා වර්ෂා රටා පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කළා. නමුත් දේශගුණික විපර්‍යාස හේතුවෙන් ගොවියාට හෝ වෙනත් කිසිවෙකුට පැහැදිලි කාළගුණික රටාවක් පිළිබඳව අනාවැකි පැවසීම අපහසුයි. අතීතයේ යොදාගත් එම කන්න දෙකට වගාවන් සිදුකළත්, පෙර මෙන් නොව ක්ෂණිකව සිදුවන නියං හෝ අධික වර්ෂා තත්ත්ව හේතුවෙන් කුඹුරු විනාශ වීමට ඇති ඉඩ කඩ අතීතයට වඩා දැන් ඉහළයි. 

අනෙකුත් වගාවන් සහ සත්ත්ව පාලනය සඳහා ද මෙවැනි දේශගුණික විපර්‍යාස නිසා හටගන්නා විවිධ පාරිසරික තත්ත්වයන්ලින් බලපෑම් සිදුවෙනවා. 2023 වසරේදී ඇති වී උතුරු නැගෙනහිර පළාත්වලට බලපෑම් එල්ල කළ සුළි කුනාටුව නිසා ඒ පළාත්වල ගවයින්, එළුවන් වැනි සත්ත්ව ගොවිපොළවල සතුන් මිය යාම සිදු වුණා. මෙය දේශීය නැවුම් කිරි අස්වැන්න වැනි දේ සඳහා බලපෑම් එල්ල කරනවා. එමෙන්ම ඒ ආශ්‍රිත කාලවලදී මේවාගේ මිලේ විචලනයන් වෙළඳපොළ තුළ දැකිය හැකියි. 

නියං සමයන්ගේදී ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලය සිඳී යාම හේතුවෙන් රටේ විදුලි සැපයුම අකර්මන්‍ය වීම ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන සංසිද්ධියක්. ඇතැම් නිශ්පාදනයන්ගේ වෙළඳපොළ සැපයුම් තත්ත්ව සඳහා මෙය බලපානවා. මෙය ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ සුළු පරිමාන නිශ්පාදකයින්ට. බේකරි වැනි නිශ්පාදනවල මිල මෙම සැපයුමේ අවම බව නිසා ඉහළ යාමේ ප්‍රවණතාවයකුත් ලංකාව තුළ දැකගත හැකියි.

ඒ අනුව දේශගුණික විපර්‍යාස මඟින් ආහාර ද්‍රව්‍ය මිල ගණන් විචලනය සඳහා ඉහළම බලපෑම එල්ල කරන්නේ අදාල අමුද්‍රව්‍ය සහ සැකසුම් ආදියට සිදුවන වියදම හේතුවෙන් බව මෙයින් පැහැදිළියි.

යම් ආන්තික පරිසර තත්ත්වයන් හමුවේ මිනිසුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩිපුර එක් කර ගැනීමට පෙළඹෙනවා. මීට හේතුව පසුවට හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් ආරක්ෂා වීමටයි. මෙලෙස ඉල්ලුම ඉහළ යන විට, ඊට සරිලන සැපයුම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මිල ගණන් ඉහළ යාම දක්නට පුළුවන්.

අධික නියං සමයේදී ඇතැම් එළවළු විශාල වශයෙන් මිල ඉහළ යනවා. මෙවන් අවස්ථාවලදී මිනිසුන් එම වියදම දැරීමට ඇති දුෂ්කරතාව නිසා ඒවා මිලදී ගැනීම අවම කිරීමට ඉඩ පවතිනවා. මෙවන් අවස්ථාවලදී සිදුවන්නේ ආහාර නිකරුණේ තොග වශයෙන් විනාශ කිරීමට සිදු වීමයි. ශ්‍රී ලංකාවේ ආහාර වෙළඳපොළේ, වැඩි වශයෙන් එළවළු ආශ්‍රිතව මෙම තත්ත්වය සුලබව දැකිය හැකියි. 

හොඳ දේශගුණික තත්ත්වයන් පවතින විටදී බොහෝ භෝගවල අස්වැන්න ඉහළ මට්ටම්වල පවතිනවා, මෙවන් සමයන්වල ඉතා අඩු මිල ගණන්වලට මෙම ආහාර ද්‍රව්‍ය විකිණීම සිදුවෙනවා යහපත් දේශගුණික තත්ත්ව හමුවේදී පහසුවෙන් අස්වැන්න ලැබීමට ඇති හැකියාව නිසා බොහෝ ප්‍රජාව තම ගෙවත්තේ ඉඩ කඩ ප්‍රයෝජනයට ගනිමින් හැකිතාක් ආහාර ද්‍රව්‍ය වගා කිරීමට පෙළඹෙනවා. මෙහිදී ඒවාට වෙළඳපොළේ ඇති ඉල්ලුම අඩු වී මිල පහළ යනවා.

සාමාන්‍යයෙන් ධීවර කර්මාණ්තය සඳහා දේශගුණික සාධක ඉතා දරුණු ලෙස බලපෑම් එල්ල කරනවා.  දේශගුණික තත්ත්වයන් නිසා ඇතිවන පාරිසරික වෙනස්කම් හේතුවෙන් ධීවර කර්මාණ්තයේ යෙදීමට බාධා පමුණුවන අතර, එවැනි සමයන්ගේදී අදාල මුහුදු ආහාරවල මිලේ සිදුවන කැපීපෙනෙන වෙනසක් නිරීක්ෂණය කළ හැකියි. වර්තමානයේ සිදුවන ඇතැම් දේශගුණික තත්ත්ව හේතුවෙන් බොහෝ සාගර ජීවීන් තර්ජනයට ලක් ව සිටිනවා. විශේෂයෙන්ම සාගර ආම්ලීකරණය වීම හමුවේ සතුන් ගහණය අඩු වෙමින් පවතිනවා. මෙයත් ධීවර කර්මාණ්තයට බලපෑම් සිදු කරනවා. කෙසේ නමුත් සාගර සම්පත අතින් ඉතා පොහොසත් රටක්වන ශ්‍රී ලංකාවට මුහුදු ආහාර නොඑසේ නම් sea food යනු තවමත් සුඛෝපභෝගී ගණයේ ලා සැලකෙන ආහාරයක්.

දේශගුණික වශයෙන් ස්ථාවර සමයන්ගේදී ලැබෙන හොඳ ආහාර භෝග අස්වැන්න සඳහා ඉහළ තරඟකාරීත්වයක් වෙළඳපොළ තුළ ඇතිවෙනවා. එවිට ඒවාගේ මිල ගණන් විශාල වශයෙන් පහළ යාම දක්නට හැකියි. ඒ සඳහා  පාරිසරික සාධක මෙන්ම අදාල භෝගය වගා කිරීමේ ප්‍රවණතාවය ද බලපානවා. නිදසුනක් ලෙස දැක්විය හැක්කේ, පසුගිය  කාලයකදී කහ කිලෝවක මිල අධික ලෙස ඉහළ යාමයි. ශ්‍රී ලංකාවේ පරිසර තත්ත්වය සහ වගාවන් මඳකම නිසා කහ ආනයනය කිරීමට පවා අපට සිදුවුණා. නමුත් එහිදී සිදුවූ මිල ඉහළ යාම හමුවේ බොහෝ ගොවීන් කහ වගා කිරීම සඳහා යොමු වුණා. වාසනාවකට මෙන් ඊටම සුදුසු පාරිසරික සාධක හමුවේ එම වගාවන් සාර්ථක වූ අතර, කහ මිල ඉතා අඩු වුණා. වෙළෙඳුන් හැකිතාක් අවම මිලට පාරිභෝගිකයා වෙත කහ ලබාදීමට කටයුතු කළා. එහිදී වෙළඳපොළ තුළ විශාල තරඟකාරීත්වයක් ඇති වුණා. නමුත් මේ හමුවේ කහ ගොවියාට අලාභ ලැබීමට සිදු වුණා.

කෙසේ නමුත් දේශගුණික විපර්‍යාස සහ ඒ හා සබැඳි පාරිසරික සාධක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් විචලනය සඳහා අප නොසිතන අන්දමේ දායකත්වයක් ලබාදෙන බව මෙයින් පැහැදිලි වෙනවා.

රට තුළ මේ වන විට  ආහාර උද්ධමනය අඩුව පැවතියත් , පසුගිය සමයන්හිදී සිදුවූ මිල ඉහළයාම් නිසා ආහාර සදහා විශාල මුදලක් වැය  කිරීමට සිදුව තිබෙනවා.ආහාර හානිය සහ නාස්තිය අවම කිරීම සඳහා දේශගුණික විපර්‍යාස පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමද  වැදගත්.

පසුගිය සමයේදී පැවති ආර්ථික අවපාතය ශ්‍රී ලංකාවේ  ආහාර මිල ගණන් බොහෝ ලෙස ඉහළයාමට බලපෑවා .නමුත් මේ තත්ත්වය තවදුරටත් භයානක කිරීම සඳහා ඉහළම දායකත්වයක්  ගෝලීය දේශගුණික විපර්යාසයන්ද සපයන බව අපට දැකගන්නට ලැබුණා. ඒ නිසා දේශගුණික විපර්‍යාස සහ ඉන් ඇතිවන දරුණු ප්‍රතිඵල පිළිබද අවබෝධයකින් කටයුතු කර සිදුවන හානි අවම කරගැනීමට කටයුතු කිරීම  මින් ඉදිරියට හෝ අපේ ආර්ථික තත්ත්වයට මෙන්ම බත්පතටද ධනාත්මක බලපෑමක් ඇති කරයි.European Central Bank විසින් 2022 වසරේදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව ,දේශගුණික විපර්යාස නිසා සිදුව ඇති උෂ්ණත්වය වැඩිවීම්වලින් කෘෂිකර්මය සහ අනෙකුත් අංශයන්ට සිදුව ඇති බලපෑම් නිසා  රටවල් 121 ක ආහාර සහ අනෙත් ද්‍රව්‍ය වල මිල ගණන් ඉහල ගොස් තිබෙනවා.2035 වනතුරු ගෝලීය උද්ධමනය  1% කින් වාර්ෂිකව වැඩිවීමට ගෝලීය දේශගුණ විපර්යාස බලපානු ඇති බවත් එම වාර්තාවේ සදහන් .එම වාර්තාව කියවිය හැකියි මෙතනින්.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter