Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

“Chem Trail” යන සංකල්පය සැබෑවක් ද?

ගෝලීය දේශගුණික විපර්යාස යනු ලොව පුරා විද්‍යාත්මක ප්‍රජාව තුළ පුලුල්ව පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවමත් දේශගුණික විපර්යාසයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම මාතෘකාවේ වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කරයි. “Chem Trails” ලෙස හදුන්වන්නේද ගෝලීය ලෙස පැතිරුණු අසත්‍ය කරුණු මත පදනම්වූ එවන් සංකල්පයක් .”Chem Trails” පිළිබද සිංහල බසින් සිදුකරන වැරදි ප්‍රචාරය කිරීම්  සාපේක්ෂව අඩු වුවත්, දැන් දැන් එවැනි සමාජ ජාලා සටහන් මතුවෙමින් පවතින ආකාරය දක්නට ලැබෙනවා .

සමාජ මාධ්‍ය සටහන් 

 ‘ලංකාවට ඉහල අහසේ Climate Change Climate Action නාමයෙන් සිදුකරන Weather Modification Chemtrails යනු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයි…’ ආදී වශයෙන් ෆේස්බුක් සටහන් පෙළක් පැතිර තිබුණා. ‘ලංකාවේ ව්‍යවස්ථාවට පිටින් ජාතික ආරක්ෂාව ඉක්මවා ගොස් මිනිස්සුන්ට හොරෙන් ඉහල අහසේ ✈ Weather Modification Chemtrails, කරන්නේ කොාමද?’ ලෙස තවත් සටහන් කිහිපයක්ම   මුහුණු පොතට එක් කර තිබුණු අයුරු දැක ගැනීමට හැකි විය.

<iframe frameBorder=’0′ width=’640′ height=’360′ webkitallowfullscreen mozallowfullscreen allowfullscreen src=”https://www.awesomescreenshot.com/embed?id=20923667&shareKey=5bf3116ddd7bd291338eda3b7054d9f2″></iframe>

Facebook| Archived 

මේ සම්බන්ධයෙන් පළව තිබුණු සමාජ ජාලා සටහන් කිහිපයක් පහතින් .

ඉහත සමාජ ජාලා සටහන් මගින් දැක්වෙන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතව ,දේශගුණික විපර්යාස ඇතිකිරීමේ අරමුණින් විශේෂ ගුවන් යානා මගින් ශ්‍රී ලංකාවේ ඉහල අවකාශයේ වස විස ඉසිමින් සිටින බවක් .

මෙම පුවත් වල විද්‍යාත්මක සත්‍ය අසත්‍යතාව පිලිබද විශ්ලේෂණයක්  ලබා දීමට  අපි තීරණය කළෙමු.  

Fact Check( සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම විමසා බැලුවේ මෙවැනි සිද්ධියක් හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සිදුකරන විශේෂ මෙහෙයුමක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කරුණ පිලිබදවයි.නමුත් එවන් පුවතක් දක්නට ලැබුණේ නැහැ .

ඉන් අනතුරුව අප මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් ගෙන් විමසා සිටියා.ඔහු පවසා සිටියේ මෙම සමාජ ජාලා සටහන්වල දක්වා ඇති කරුණු මුළුමනින්ම සාවද්‍ය බවයි.එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් හෝ වෙනත් පාර්ශවයක් මගින් මේ දිනවල ශ්‍රී ලංකා අහසේ විශේෂ මෙහයුම් කිසිවක් සිදු නොකරන බවත් ඔහු අවධාරණය කළා.

Chemtrails  පිලිබදව වන කතාබහ ලෝකයට අලුත් දෙයක් නොවේ .ඒ පිලිබදව විමසා බලමු 

Contrails සහ Chemtrails යනු මොනවාද?

විද්‍යා අධ්‍යාපනය සඳහා වූ University Corporation for Atmospheric Research(UCAR) මධ්‍යස්ථානය Contrails නිර්වචනය කරන්නේ, “ගුවන් යානා වලින් පිටවන ජල වාෂ්ප, කුඩා අංශු (එරොසෝල්) ඝනීභවනය වන විට ඇතිවන වලාකුළු” ලෙසිනි. මෙසේ ජෙට් හෝ ගුවන් යානා එන්ජින් මගින් සීතල හා අඩු වාෂ්ප පීඩනයක් ඇති වායුගෝලයට උණුසුම්, තෙතමනය සහිත වාතය පිට කිරීමේදී ඝනීභවනයේ ප්රතිඵලයක් ලෙස  ජල වාෂ්ප ඉක්මනින් ජල බිඳිති හා පසුව අයිස් බවට ද පත් වේ. මේවා එන්ජිම පිටුපස ඇති වලාකුළු නැතහොත් “ඝනීභීකරණ මංපෙත්” ලෙස හඳුන්වන්නේ එබැවිනි.

හිතාමතාම, නොයෙකුත් අරමුණු සඳහා සාමාන්‍ය ජනතාවගේ අනුදැනුමකින් හෝ අනුමැතියකින් තොරව, රසායනික හෝ ජීව විද්‍යාත්මක කාරකයන් සහිතව ඉහළ පියාසර කරන ගුවන් යානා මගින් අහසේ අහසට විෂ සහිත ද්‍රව්‍ය ඉසින බවත් පවසන පුද්ගලයන්  Chemtrails යන වචනය භාවිතා කරන්නේ එවැනි ගුවන්යානා ගමන් ගැනීමෙන් අනතුරුව  අහසෙහි දක්නට ලැබෙන  විෂ ද්‍රව්‍ය අඩංගු contrails ලෙසයි.

කාලගුණ විද්‍යා හා චන්ද්‍රිකා අධ්‍යයනය සඳහා වූ සමෝධානික  ආයතනයට (CIMSS) අනුව, “contrails බොහෝ විට සිදුවන්නේ ඉහළ නිවර්තන ගෝලයේ පමණි, එහිදී වාතය අධි සංතෘප්ත විය යුතු අතර උෂ්ණත්වය -40 ° F ට අඩු විය යුතුය’. ජෙට් එන්ජින් දුම් සංරචක අතර කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර්, නයිට්‍රජන් ඔක්සයිඩ්, නොදැවුණු ඉන්ධන, සබන්, ලෝහ අංශු සහ ජල වාෂ්ප අඩන්ගු වන අතර මේවා ඝනීභවන න්‍යෂ්ටීන් ලෙස ක්‍රියා කරයි. ගුවන් යානයක උන්නතාංශය මෙන්ම වායුගෝලයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය අනුව ඝනකම, දිග සහ කාලසීමාව අනුව contrails වල ස්වභාවය වෙනස් විය හැක. 

මේවා මගින් කාලගුනය පුරෝකතනය කල හැකි වීම විශේශත්වයකි. ඝන, දිග්ගැස්සුනු ‘ඝනීභීකරණ මංපෙත්’ ඉහළ උන්නතාංශවල තෙතමනය සහිත වාතය පරාවර්තනය කරන අතර එය කුණාටුවක පූර්ව අනතුරු ඇඟවීමක් විය හැකිය. සිහින්, ‘ඝනීභීකරණ මංපෙත්’ ඉහළ උන්නතාංශවල අඩු ආර්ද්‍රතාවය පෙන්නුම් කරයි, එය සාමානය්‍ය කාලගුණයේ සලකුණකි.

Chemtrails” සත්‍යක් ද?

Chemtrails යනු ‘රසායනික මංපෙත්’ (chemical trails) සඳහා කෙටි නාමයයි. chemtrails වල අහිතකර රසායනික ද්‍රව්‍ය ඇති බවට විශ්වාස කරන්නන් පවසන්නේ chemtrails ඇත්ත වශයෙන්ම රජය හෝ වෙනත් මහා පරිමාණ ආයතනයන් විසින් කාලගුණ‍ය වෙනස් කිරීම, මිනිස් ජනගහන පාලනයේ සිට මනස පාලනය කිරීම දක්වා විවිධ අදුරු අරමුණු සඳහා භාවිතා කරන රසායනික වලාකුළු බවයි. සාමාන්‍ය ජෙට් ප්‍රතිදානයන් ඉක්මනින් විසිරී ගොස් නොපෙනී යන බව සාමාන්‍යයෙන් පිළිගනියි. නමුත් වායුගෝලයේ ජල වාෂ්ප විශාල ප්‍රමාණයක් පවතින විට හෝ අඩු උෂ්ණත්වයන් වලදී contrails පැය කිහිපයක් පැවතිය හැකිය. නමුත් Chemtrails පිලිබදව විශ්වාස කරන්නන් පවසන්නේ, ක්ෂණිකව අතුරුදහන් නොවන ඕනෑම වලාකුළු අතිරේක, අනාවරණය නොකළ ද්‍රව්‍ය වලින් පිරී තිබිය යුතු බවයි. Chemtrail න්‍යාය ආරම්භයේ දී එක්සත් ජනපදය පදනම් වූ සංසිද්ධියක් විය. පසුව ජාත්‍යන්තර සමීක්ෂණයකදී හෙලිවුවේ ගෝලීයව  ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 17%කට  පමණ ” මහා පරිමාණ රහස් වායුගෝලීය වැඩසටහනක්” පවතින බවට විශ්වාසයක් ඇති බවයි.

මෙම chemtrails ගැටලුව නිරාකරණය කිරීම සඳහා විද්‍යාඥයින් 77 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් Evironmental Research Letters සඟරාවේ වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම විද්‍යාඥයින් වායුගෝලයට ගුවන් යානා වල දායකත්වය මෙන්ම රසායනික ද්‍රව්‍ය කෙතරම් ඉක්මනින්, ඒකාකාරව වාතය හරහා බිමට පතිත වේද වැනි වායුගෝලීය ක්‍රියාවලීන් ඇතුළු වායුගෝලීය විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ වෙති. එම විද්‍යාඥයින් 77 දෙනාගෙන් 76 දෙනෙක් කියා සිටියේ ” මහා පරිමාණ රහස් වායුගෝලීය වැඩසටහනක්” පිළිබඳ කිසිදු සාක්ෂියක් තමන්ට හමු නොවූ බවයි. එය 98.7% ක එකගතාවයක් විය. ඒ වෙනුවට, ඔවුන් සොයාගත්තේ, ” [chemtrails සඳහා] සාක්ෂි ලෙස දක්වා ඇති දත්ත, භෞතික විද්‍යාව සහ ගුවන් යානා හා සම්බන්ධ රසායන විද්‍යාව ඇතුළු අනෙකුත් සාධක හරහා පැහැදිලි කළ හැකි බවයි.” වෙනත් වචන වලින් කිවහොත්, සාක්‍ෂි පෙන්වා දුන්නේ ගුවන් යානා ගුවනින් පියාසර කිරීමේදී  සාමාන්‍යයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල බවයි.

කෙසේ වුවද, අනෙක් විද්‍යාඥයා සඳහන් කළේ ඔවුන් නිරීක්ෂණය කරන ලද අවකාශයේ එක් දුරස්ථ ස්ථානයක වායුගෝලයේ බේරියම් මට්ටම පසෙහි ඇති බේරියම් මට්ටමට සාපේක්ෂව අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින බවයි. එම ඉහළ මට්ටම්වලට හේතුව මහා පරිමාණ රසායනික මෙහෙයුමක් විය යුතු බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොවූ නමුත්, එහි වායුගෝලයේ බේරියම් ඉහළ මට්ටමක පැවතීමට පැහැදිලි හේතුවක් ද එම විද්‍යාඥයාට සොයා ගැනීමට  නොහැකි  විය.

මේ වන තෙක්, ලෝකයේ පවතින රාජ්‍ය ,පුද්ගලික සංවිධාන  සංවිධාන සහ විද්‍යාඥයින් කිසිවෙක් විසින් chemtrails පවතින බවට කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත. ඉඳහිට, කෘතීම වැසි ඇතිකිරීම සදහා වලාකුලුවලට රසායනික ද්‍රව්‍ය එක්කිරීම(Cloud Seeding)  සහ සූර්ය විකිරණ පාලන අත්හදා බැලීම් සදහා සමහර රටවල් මගින් වායුගෝලයට රසායන ද්‍රව්‍ය මුදාහරින අවස්ථා පවතී . 

කාලගුණය වෙනස් කිරීමට chemtrails ?

සාගර සහ අවකාශය පිළිබද ඇමෙරිකා එක්සත් ජනපද අධිකාරිය NOAA කාලගුණය වෙනස් කිරීම නිර්වචනය කරන්නේ “මිනිස් ක්‍රියාකාරකම් මගින් හිතාමතා හෝ නොදැනුවත්ව වායුගෝලීය තත්ත්වයන් වෙනස් කිරීම” ලෙසිනි. කාලගුණ වෙනස් කිරීමේ වඩාත් සුලභ ආකාරය වන්නේ Cloud Seeding නම් කෘතීම වැසි ඇතිකිරීමේ ක්‍රමවේදයයි , ලෝකයේ සමහර ප්‍රදේශවල, විශේෂයෙන් චීනයේ සහ අග්නිදිග ආසියාවේ, මෙම ක්‍රමවේදය  ක්‍රියාත්මක වේ. 

“Cloud Seeding  යනු සිල්වර් අයඩයිඩ් ස්ඵටික වැනි අංශු සහිත වලාකුළු තැන්පත් කිරීම මගින් කෘත්රිමව වැසි උත්පාදනය කිරීමේ ක්‍රියාවලියයි”. මෙහිදී  වඩාත් පොදු ක්‍රමය වන්නේ ගුවන් යානයකින් අංශු ඉසීමයි. ඉලක්කගත ප්‍රදේශයේ පිහිටීම සහ පවතින සුළං මත පදනම්ව, කාලගුණ  මෙවලම් භාවිතයෙන් සුදුසු වලාකුළු සොයා ගනී.

මෙම ක්‍රියාවලියේදී භාවිතා කරන සමහර රසායනික ද්‍රව්‍ය (සාමාන්‍යයෙන් සිල්වර්  අයඩයිඩ්, පොටෑසියම් අයඩයිඩ්, මේස ලුණු, දියර ප්‍රොපේන් හෝ වියළි අයිස්) මිනිස් සෞඛ්‍යයට බලපාන අතර පරිසරයට හානි කළ හැකිය. විශේෂඥයින් සමහරක්  පවසන්නේ මෙම පුරුද්ද සාමාන්‍ය දෙයක් වුවහොත් එය රිදී විෂ වීම සහ පාරිසරික ගැටළු ඇති කළ හැකි බවයි. එසේම, Cloud Seeding ක්‍රමවේදය නිසි පරිදි  ක්‍රියා කිරීමට තෙතමනය පූර්ව අවශ්‍යතාවයක් වන බැවින් නියඟයකදී වර්ෂාව නිපදවීමට මෙය  භාවිතා කිරීමට අපහසුයි.

එසේම විද්‍යාඥයෝ ග්‍රහලෝකය සිසිල් කිරීම සඳහා නව අදහස් ගවේෂණය කරති. ඊට සමාන එක් ප්‍රවේශයක් වන්නේ Stratospheric Aerosol Injection ය. මෙය සූර්ය විකිරණ කළමනාකරණය නැතිනම් සූර්යාලෝකය පරාවර්තනය කිරීමට සහ ගෝලීය උණුසුම අඩු කිරීමට අදහස් කරන අඛණ්ඩ අධ්‍යයනයේ අංශයකි. සමහර යෝජිත ක්‍රමවලට සල්ෆේට් aerosols සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වාතයට මුදා හැරීම ඇතුළත් වේ. 

Chemtrails කුමන්ත්‍රණ න්‍යාය [ conspiracy theory

කුමන්ත්‍රණ න්‍යාය යනු කුඩා බලගතු කණ්ඩායමක ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සිදුවන බව පවසමින්  හානිකර හෝ ඛේදනීය සිදුවීම් පැහැදිලි කිරීමට උත්සාහ කිරීමයි. එවැනි පැහැදිලි කිරීම් එම සිදුවීම් වටා පිළිගත් ආඛ්‍යානය ප්‍රතික්ෂේප කරයි. යුද්ධ සහ ආර්ථික අවපාත වලදී සහ සුනාමි, භූමිකම්පා සහ වසංගත වැනි ස්වාභාවික විපත් වලින් පසුව, පුලුල්ව පැතිරුනු කාංසාව, අවිනිශ්චිතභාවය හෝ දුෂ්කර කාල පරිච්ඡේදවලදී කුමන්ත්‍රණ න්‍යායන් ව්‍යාප්තිය වැඩි වේ. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය , ජෝන් එෆ් කෙනඩිගේ ඝාතනය ආදී සිදුවීම්වලින්  අනතුරුවද බොහෝ කුමන්ත්‍රණ න්‍යායන් මතුවිය . 

මෑත වසරවලදී ද මෙවැනි දේ වාර්තා වූ බව ඔබට මතක ඇති. කොවිඩ්-19 පැතිරීම, එන්නත් නිෂ්පාදනය වැනි බොහෝ දේ , “මනස පාලනය” ආරම්භ කිරීමට, ජනගහනය අඩු කිරීමට හෝ “නව ලෝක අනුපිළිවෙලක්”(New World Order) ප්‍රවර්ධනය කිරීමට භාවිතා කරන උපක්‍රම බව පවසමින් සමාජ ජාලා සටහන් අදටත් හුවමාරුවෙනවා . මේවා අසත්‍ය ලෙස 100% ක් විශ්වාසයෙන්  යුතුව බැහැර කල නොහැකි වුවද පිලිගන්නා විද්‍යාත්මක න්‍යායන්ට අනුව සාක්ෂි  නොමැති  නිසා කුමන්ත්‍රණ න්‍යායන් ලෙස සැලකීම සාධාරණය. 

Chemtrails කුමන්ත්‍රණ න්‍යාය  ආරම්භ වූයේ කෙසේද? රජයන් විසින් නියමිත මගී ගුවන් ගමන් මගින් පෘථිවියට රසායනික ද්‍රව්‍ය ඉසීම පුරුද්දක් ලෙස සිදු කරයි යන අදහස 1990 දශකයේදී ප්‍රචලිත විය . මුලදී, මොවුන් කියා සිටියේ විෂ සහිත ලෝහයක් වන බේරියම් අඩංගු  රසායනික ඉසින , ජනගහනය සමතුලිත  කිරීමට හෝ අඩු කිරීමට භාවිතා කරන බවයි.

කෙසේ වුවත්, කාලගුණය පාලනය කරන්නේ ආණ්ඩු කියලා සමහර  මිනිස්සු සිටීමට මෙම කුමන්ත්‍රණ න්‍යායන් නිසා පුරුදුව ඇති අතර , chemtrails මත පදනම්ව නව දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම වැනි අහිතකර ප්‍රතිඵල මේ තුලින් මතුව  ඇත. මෙම Chemtrails කුමන්ත්‍රණ න්‍යාය ජාත්‍යන්තරව පවතින අතර, එක්සත් රාජධානිය, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව පුරා අනුගාමිකයින් ඇත. මේ පිලිබදව වැඩිදුර විස්තර මෙතනින් 

නිගමනය(Conclusion)  

Cloud Seeding  සහ සූර්ය විකිරණ පාලනය පිළිබඳ අත්හදා බැලීම් සඳහා වරින් වර සමහර රටවල් විසින් රසායනික ද්‍රව්‍ය වායු ගෝලයට මුදා හරින බව සත්‍යයකි. නමුත් දේශගුණික විපර්යාස ඇති කිරීමේ  පරමාර්ථ  මත, chemtrails පවතින බවට පිළිගත හැකි සාක්ෂි නොමැත. කෙසේ නමුත් සාමාන්‍ය ජනතාවගේ  අනුදැනුමකින් තොරව මහා පරිමාණයේ රසායනික ඉසීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන බවට පර්යේෂකයන් විසින් කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති අතර, අහසේ ඇති සුවිශේෂී ‘chemtrail’  ලෙස සමහර අය හදුන්වන රටා සියල්ලම ජල වාෂ්ප පිළිබඳ  විද්‍යාත්මක කරුණු ඔස්සේ පැහැදිලි කළ හැකි බව නිගමනය කල හැක .

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter