Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට දේශගුණික විපර්යාස වල බලපෑම.

පරිසරයට සහ මානව සමාජයට බලපෑම් ඇති කරමින්, දේශගුණික විපර්යාස වඩ වඩාත් දැඩි ගෝලීය අභියෝගයක් ලෙස වර්ධනය වී ඇත. එය පාරිසරික බලපෑම් පමණක් නොව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් ඇතුළු සමාජ ගතිකත්වයන් තුළ ද වෙනස්කම් ඇති කරමින් සිටියි . වෙනස්වන දේශගුණයක් තුළ පෘථිවි වායුගෝලය පෙර නොවූ විරූ විපර්යාසයන්ට භාජනය වන අතර, වැඩි වන ස්වභාවික විපත් සහ ආහාර අනාරක්ෂිත භාවයේ සිට සෞඛ්‍ය අවදානම්, සම්පත් සඳහා සීමිත ප්‍රවේශය සහ තීරණ ගැනීමේ බලය සහ අවතැන් වීම දක්වා කාන්තාවන්ට සුවිශේෂී අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. 

දේශගුණික විපර්යාස විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට බලපාන්නේ කෙසේද?

2012 ශ්‍රී ලංකාවේ සිදුකල ජාතික සංගණනය වාර්තා වලට අනුව මෙරට ජනගහනයෙන් 51.5%ක් කාන්තාවන් වන අතර කාන්තාවන් 106කට පිරිමින් 100ක් අතර අනුපාතයක් ඇති බවයි. කෘෂිකර්මාන්තය සහ වාරිමාර්ග දේශගුණික විපර්යාසවල බලපෑම් අත්විඳින රටේ තීරණාත්මක ක්ෂේත්‍ර දෙකකි. ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ගෙන් ආසන්න වශයෙන් 30% ක් පමණ කෘෂිකර්මයට සම්බන්ධ ක්ෂේත්‍රවල සේවය කරයි. එමෙන්ම, හරිත දේශගුණික අරමුදලේ ස්ත්‍රී පුරුෂ භාවය තක්සේරුව මගින් සිදු කළ නිරීක්ෂණ අනුව ගෘහ ආරක්ෂණ ආර්ථිකය තුළ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන් තුළ කාන්තාවන්ට සැලකිය යුතු කාර්යභාරයක් ඇති අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් ගෘහස්ථ ජලය ලබා ගැනීමේ අපහසුතා ඇතිවන බවත්, එහිදී ඔවුන් ව්‍යසනයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ද ඇති බවයි. සම්ප්‍රදායිකව, කාන්තාවන් ගෘහස්ථ ජලය, මුළුතැන්ගෙය, උද්‍යාන සහ පශු සම්පත් කළමනාකරණය කරයි. එහිදී ඔවුන්ට ජලය සදහා විසඳුම් ලබා දීමට ද සිදු වේ. අනෙක් අතට, ජල සැපයුම අඩු වීම පවුලේ ආහාර සුරක්ෂිතතාවයට බලපෑම් එල්ල කරයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් කාන්තාවන්ට ඇති ප්‍රධාන අභියෝග සහ අවදානම් මොනවාද, සහ මේවා ස්ත්‍රී පුරුෂ අසමානතා කෙරෙහි බලපාන්නේ කෙසේද?

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ඔවුන්ගේ ජීවනෝපාය සඳහා කෘෂිකර්මය, ජලය සහ වනාන්තර වැනි ස්වාභාවික සම්පත් මත යැපීමට වැඩි ඉඩක් ඇත. නියඟය, ගංවතුර සහ ආන්තික කාලගුණික තත්ත්ව වැනි දේශගුණික විපර්යාස ආශ්‍රිත සිදුවීම් මෙම ස්වාභාවික සම්පත් දුර්වල කරන අතර, ආහාර හා ජල හිඟයට මග පාදා , කාන්තාවන් තුල පවුල් සඳහා එම අවශ්‍යතා සැපයීමේ ආතතිය වැඩි කරයි. ස්වාභාවික සම්පත් හිඟ වූ විට, කාන්තාවන්ට බොහෝ විට ජලය, , දැව සහ ආහාර එකතු කිරීම සඳහා බොහෝ දුර ගමන් කිරීමට සිදු වන අතර, වැටුප් නොලබන්නන් ලෙස, පවුලේ රැකවරණය සඳහා ඔවුන්ගේ කාලය වැය කරයි. මෙය ඔවුන්ගේ අධ්‍යාපනය, ආදායම් උත්පාදනය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා ඇති අවස්ථා අඩු කරයි.

දේශගුණික විපර්යාස කාන්තාවන්ට ඉඩම්, ජලය සහ බලශක්තිය වැනි සම්පත් වෙත ප්‍රවේශ වීමට බලපාන්නේ කෙසේද ?

සශ්‍රීක හරිත භූ දර්ශන සහ ජල සම්පත සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව 2010 සිට 2020 දක්වා පෙර නොවූ විරූ දරුණුතම නියඟයකට අභියෝගයකට මුහුණ දුන්නේය. ජල හිඟය වර්ධනය වීමත් සමඟ, රට පුරා සිටින ප්‍රජාවන් සහ පරිසර පද්ධති මෙම දිගුකාලීන නියඟයේ දරුණු ප්‍රතිවිපාක සමඟ පොරබදමින් සිටිති. මෙම ලිපියෙන් මෙම ජල අර්බුදයේ බලපෑම, හේතු සහ බලපෑම් අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලයි. 

ඉහත සදහන් කළ පරිදි, දේශගුණික විපර්යාස නිසා ඇති වන සම්පත් බාධාවන් කාන්තාවන්ගේ සමස්ත යහපැවැත්මට බලපායි. ජලය රැස් කිරීමේ අපහසුතාව  සහ පාරිසරික උවදුරුවලට නිරාවරණය වීම, ආහාර අනාරක්ෂිත භාවය, මන්දපෝෂණය සහ කාන්තාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අහිතකර සෞඛ්‍ය ගැටලු නිර්මාණය කරයි. තවද, කාන්තාවන් තුල වර්ධනය වන මානසික ආතතිය සහ සම්පත් ප්‍රසම්පාදනය සඳහා වැය කරන කාලය ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට, අධ්‍යාපනයට සහ ප්‍රජා ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට අහිතකර ලෙස බලපායි. මෙම අභියෝග අවම කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති සහ කාන්තාවන්ගේ විශේෂිත අවශ්‍යතා සලකා බලන මැදිහත් වීම් අවශ්‍ය වේ. 

ප්‍රජාවන් සහ ආර්ථිකයන් තුළ කාන්තාවන්ගේ භූමිකාවන් සහ වගකීම් කෙරෙහි දේශගුණික විපර්යාස බලපාන්නේ කෙසේද?

කාන්තාවන් සතුව තිරසාර සම්පත් කළමනාකරණය, කෘෂිකාර්මික පිළිවෙත් සහ ආපදා පෙර සූදානම පිළිබඳ වටිනා සම්ප්‍රදායික දැනුම සහ විශේෂඥ දැනුම ඇත. කෘෂිකර්මය ක්‍රියාත්මක කිරීම, ජීවනෝපායන් විවිධාංගීකරණය කිරීම සහ තිරසාර ජලය සහ බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම වැනි ප්‍රජා මූලික අනුවර්තන මුලපිරීම්වල කාන්තාවන් බොහෝ විට ඉදිරියෙන් සිටී. එම නිසා අදාළ ප්‍රයත්නයන් සඳහා කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය සහ නායකත්වය හඳුනා ගැනීම සහ සහාය දීම අත්‍යවශ්‍ය වේ.

2023 ලෝක කාන්තාරකරණයට සහ නියඟයට එරෙහිව සටන් කිරීමේ දිනය සඳහා මෙවර තේමාව වන “ඇගේ භූමිය, ඇගේ අයිතිවාසිකම්” මගින් ද කාන්තා අයිතිවාසිකම් සහ පවුල් පෝෂණය සඳහා ඔවුන්ගේ ඇති සංකීර්ණ සම්බන්ධය අවධාරණය කරයි. නියඟය උත්සන්න වන විට, බලපෑමට ලක් වූ ප්‍රදේශවල කාන්තාවන් වැඩි ආතතියකට, සීමිත ආදායම් අවස්ථා වලට සහ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා ඇති ප්‍රවේශය අඩු කිරීමට මුහුණ දෙයි. තිරසාර සංවර්ධනය සඳහා සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කිරීම සඳහා මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය බලපෑම් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. 

දේශගුණික විපර්යාස සහ කාන්තා අධ්‍යාපනය 

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පවතින ස්ත්‍රී පුරුෂ භේදය, හානිකර සම්මතයන්, දරිද්‍රතාව නිසා යොවුන් වියේ ගැහැණු ළමයින් ගැටලු වලට මුහුණ පාන අතර දේශගුණික විපර්යාසවල සැඟවුණු බලපෑම් හේතුවෙන් මෙම ගැටලු තවත් උග්‍ර වෙමින් පවතියි.  කෙසේ වෙතත්, ගැහැණු ළමයින්ට වසර 12 ක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම දේශගුණික විපර්‍යාස සදහා විසඳුමකි. මේ අනුව ප්‍රජනන සෞඛ්‍යය සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, නායකත්වය සහ පරිසර හිතකාමී තීරණ ගැනීම, සහ හරිත රැකියා සඳහා ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම යන ප්‍රධාන ආකාර තුනකින් ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය මගින් දේශගුණික උපාය මාර්ග ශක්තිමත් කළ හැකි බව පර්යේෂණ පෙන්වා දෙයි. ගැහැණු ළමයින්ගේ පමණක් අධ්‍යාපනය සමඟ සළකා බැලූ විට, 2050 වන විට ගිගාටොන් 85කට ආසන්න කාබන් විමෝචනයක් වළක්වා ගත හැකි බව ගණන් බලා ඇත. 

සමකාසන්න, කුඩා දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට බෙහෙවින් ගොදුරු වේ. රටේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද කොටස්වල වියළි කලාපීය නියඟයට ගොදුරු වන අතර මධ්‍යම කඳුකරය ඇතුළු නිරිත දිග  තෙත් කලාපය ගංවතුර හා නායයෑම්වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. කෙසේ වුවද, ජනගහනයෙන් 50% ක් ජීවත් වන්නේ මුහුදු මට්ටම ඉහළ යාම, කුණාටු සහ වෙරළබඩ ගංවතුරට ගොදුරු විය හැකි පහත් වෙරළබඩ තැනිතලා වල ය. දුර්වල ඉඩම් පරිහරණය, ශීඝ්‍ර නාගරීකරණය සහ වන විනාශය ආපදා අවදානමට හේතු වේ. ශ්‍රී ලංකාව දේශගුණයට සංවේදී කෘෂිකාර්මික අංශය මත දැඩි ලෙස යැපීම, ඉහළ මන්දපෝෂණ අනුපාතය සහ ගෘහාශ්‍රිත නල ජල සැපයුම සඳහා ඇති සීමිත ප්‍රවේශය නිසා, මෙරට ජනතාව දේශගුණික විපර්යාසවලට ගොදුරු වීමේ අවදානම තවත් උග්‍ර කරයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් කල, 2016 සහ 2017 ගංවතුර සහ නායයෑම් වලින් පසුව පාසල් තාවකාලික නවාතැන් ලෙස භාවිතා කිරීම සහ පාසල් ද්‍රව්‍ය නැති වීම වැනි වෙනත් සාධක හේතුවෙන් සාමාන්‍ය පාසල් අධ්‍යාපනය සැලකිය යුතු ලෙස අඩාල විය. විශේෂයෙන් වැසි සමයේදී, අධික වර්ෂාවත් සමඟ මධ්‍යම පළාතේ සිසුන් නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවීම් නිසා ජීවිත තර්ජන වලට මුහුණ දී සිටිති. නැඟෙනහිර පළාතේ එන්න එන්නම හිඟ වන ජලය සොයා සමහර ගැහැණු ළමයින් ජලය ගෙන ඒම සඳහා පවුලේ රාජකාරි වලට උදව් කරන අතර පාසලට පැමිණීමේ දුෂ්කරතා වන්ට මුහුණ දෙති. ගුණාත්මක අධ්‍යාපනයක්  මගින් ස්ත්‍රී පුරුෂ භාවය සහ බලය පිළිබඳ කෙරෙන බලපෑම ඇතුළුව, ගැහැණු ළමයෙකුගේ ජීවිතයේ ගමන් මග වෙනස් කළ හැකි වේ. 

Original English Article URL: How Climate Change Influences Gender Equality in Sri Lanka? – Climate Fact ChecksTranslated by Nuwandhara Mudalige

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter