Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණික විපර්‍යාස පාලනය සහ අනුවර්තන සඳහා COP28 සමුළුවේදී ලබා ගන්නා තීන්දු තීරණ සහ සහයෝගීතා සදහා ශ්‍රී ලංකාව දායකවූ අයුරු 

COP28 සමුළුව 2023නොවැම්බර් 30 වනදා සිට දෙසැම්බර් 12වනදා දක්වා ඩුබායිහි එක්ස්පෝ සිටිහි පැවැත්වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

ශ්‍රී ලංකාව යනු  දේශගුණික විපර්‍යාස සහ ඒ හා අදාල ආපදා සඳහා වැඩි වශයෙන් අවදානමට ලක් වන රටක්. විශේෂයෙන්ම දේශගුණික විපර්‍යාසවල අහිතකර ඵලවිපාකවලට නිරාවරණය වන දියුණුවෙමින් පවතින රටවල් අතරින් එකක්. මේ නිසා COP28 සමුළුව සහ එහිදී සියළුම රටවල්වල නායකයන් එකඟතාවන්ට පත්වී ලබාගන්නා තීන්දු තීරණ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  දේශගුණික විපර්‍යාස සඳහා වෙන අනුවර්තන සහ පාලනය කිරීම් සඳහා බලපාන වැදගත් කරුණු රැසක් මෙහිදී අන්තර්ජාතික ප්‍රජාවට ඉදිරිපත් කර තිබෙනවා. 

COP28 සමුළුවේදී ශ්‍රී ලංකා ජනාධිපති සිදු කළ විශේෂ ප්‍රකාශ, ඒවාගේ බලපෑම සහ යෝජනා පිළිබඳව විමසා බැලීමට අපි තීරණය කළා.

දේශගුණික විපර්‍යාස ආමන්ත්‍රණය සඳහා නිවර්තන කලාපීය රටවල්වල මුලපිරීම(Tropical Belt)  

දෙසැම්බර් 2වන දා COP28 සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පල කළා.ඒ අනුව COP28 සඳහා “නිවර්තන කලාපීය රටවල්වල මුලපිරීම”(Tropical Belt) ලෙස දේශගුණික විපර්‍යාස අරමුදල් යෙදවීමේදී සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව එතුමා අවදානය යොමුකළා.

එතුමා සිය අදහස් දැක්වීම ආරම්භ කළේ 2030 වසර වන විට ගෝලීය උෂ්ණත්වය යම් සැලකිය යුතු ලෙස  ඉහළ යන බවට මේවන විට සිදුකර ඇති අනාවැකි පිළිබඳව සදහන්  කිරීමෙනුයි. මෙහිදී වහාම ක්‍රියාත්මක විය යුතු බව අවදාරණය කළ එතුමා, මේ සඳහා ක්‍රියාත්මක වී, ප්‍රතිඵල ලබා ගනීමට 50%ක අවස්ථාවක් පවතින බවත් පෙන්වා දුන්නා. මේ සඳහා උචිත පියවරයන් ගැනීම සඳහා රජයෙන් පමණක් සිදුකරන මූල්‍ය දායකත්වයට වඩා, රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ එක් වී, සහයෝගීතාවයෙන් දායකත්ව ලබාදීම පිළිබඳව එතුමා යෝජනා කළා. නිවර්තන කලාපවලදී මෙම කටයුතුවලට මුලපිරීම ලෙස වනාන්තර, කඩොලාන, වගුරු බිම් ආදී අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් සංරක්ෂණය සඳහා වාණිජ ආයෝජන  හාවිත කිරීම වඩාත් සාර්ථක වනු ඇතිබව එතුමා සිය යෝජනාවෙන් ඉදිරිපත් කළා. කෙසේ නමුත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය අරමුදල් යොදාගෙන, එම ආයෝජන වාණිජමය ප්‍රතිලාභද ඇතිවන පරිදි හැසිරවීම වැදගත් බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. වාර්ෂිකව විශාල මුදලක් සුරක්ෂිත කිරීම ඉලක්ක කරගෙන, මෙම ක්‍රියාවලි සඳහා පුද්ගලික අංශයේ වැඩි අවදානයක් යොමු කරගත හැකි බව එතුමා එයින් පෙන්වා දුන්නා.

තවද මෙම ක්‍රියාවලීන් සහ යෝජනා හැකි ඉක්මනින්, බහුපාර්ශ්වික ව ක්‍රියාත්මක කරවීමේ වැදගත්කමද මෙහිදී කතාබහට ලක්වුණා. 

එමෙන්ම නීල ආර්ථිකයක් සහ තිරසාර ඉන්දියානු සාගර කලාපයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු සාගර රිම් සංගමයත් සමඟ සහයෝගීතාවය පවත්වාගෙන කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළා. දේශගුණික විපර්‍යාසවලට එරෙහිව සටන් කිරීමට නිවර්තන කලාපීය රටවල්වල මුලපිරීම සහ ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල්වල මෙම ප්‍රයත්නවල එකතුව, ලෝකයේ විශාලතව කාබන් ගිලාබැස්වීම බවට පත්කිරීමට මෙහිදී අපේක්ෂා කෙරෙනවා. එනම් නිපදවෙන කාබන් ප්‍රමානයට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් අවශෝෂණය කරන ප්‍රදේශයක් බවට මෙම කලාප පත් කිරීමට පියවර ගැනීමයි. මෙම පියවර සඳහා මාලදිවයින් ජනපති මොහමඩ් මයිසු, කෙන්‍ යානු ජනපති විලියම් රුටෝ, බ්‍රසීල ජනපති ලුයිස් ඉනසියෝ ලුලා ද සිල්වා සහ ප්‍රංශ ජනපති එම්මනුවෙල් මැක්‍රොන් ඇතුළු ලෝක නායකයින් සිය උනන්දුව දක්වා ඇති අතර මේ පිළිබඳව ශ්‍රී ලංකා ජනපති සමඟ වැඩිදුර සාකච්ඡා කර තිබෙනවා.

මෙම පියවරයන් ඔස්සේ ශ්‍රී ලංකාව අවට නිවර්තන කලාපීය රටවල් සහ ඉන්දියානු සාගර කලාපයේ රටවල් සමඟ එකමුතුව ඔස්සේ, ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්ව මැනවින් කලමනාකරණයට මෙන්ම වඩාත් හොඳින් ඒවා සඳහා අනුවර්තනය වීම සඳහා අවශ්‍ය දැනුම, සහයෝගය ආදිය අපට සමාන කාලගුණික තත්ත්ව දරන රටවල්වලින්ම ලැබීම ශ්‍රී ලංකාවට ඉතා ප්‍රයෝජනවත් පියවරක් වනු ඇති.

අන්තර්ජාතික දේශගුණික විපර්‍යාස විශ්ව විද්‍යාලය

දේශගුණික විපර්‍යාස පිළිබඳව අධ්‍යාපනය, දේශගුණික විපර්‍යාස අවම කිරීම සහ ඒවාට අනුවර්තනය වීමේ ක්‍රියාවලියේ ප්‍රධාන ස්ථානයක් දරනවා. ලෝකයේ කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වා ක්‍රමවත් දේශගුණික අධ්‍යාපනයක් ලබා දීම ඉතාම වැදගත්. කෙසේනමුත්, තවමත් ලෝකය තුළ, නිශ්චිත සහ ක්‍රමවත් දේශගුණික අධ්‍යාපන රටාවක් පවතින්නේ නැහැ. මීට විසඳුමක් ලෙස පසුගිය වසරේ ඊජිප්තුවේ පැවති COP27 සමුළුවට සහභාගීවූ ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්‍යාස විශ්ව විද්‍යාලයක් (International Climate Change University – ICCU) ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට යෝජනා කළා. එම යෝජනාව හුදෙක් යෝජනාවක් ලෙස තබා නොගෙන එහි ඉදිරි පියවරයන් පිළිබඳව මෙවර COP28 සමුළුවේ, දෙසැම්බර් 3වනදා ජනපතිතුමා අනෙකුත් ලෝක නායකයින්ට පැහැදිළි කළා. 

මෙහිදී එතුමා ප්‍රකාශ කළේ පැරිස් සම්මුතිය ඉදිරිපත් කෙරී ඊට රටවල් විසින් එකඟතාවය පලකිරීමෙන් අනතුරුවවත්, දේශගුණික විපර්‍යාස පිළිබඳව ලෝක ප්‍රජාවට වැඩිදුර අධ්‍යාපනය සහ දැනුම ලබාදීම සඳහා කිසිඳු ආයනතනයක් ලෝකය තුළ බිහි වී නොමැති බවයි. මේ හේතුවෙන් ගෝලීය දේශගුණික ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රයත්නයේදී යම් යම් හිස්තැන් ඇතිවිය හැකි බවත්, මෙම හිස්තැන් මඟහරවාගැනීමට නම්, දේශගුණික විපර්‍යාස අධ්‍යාපනය සඳහා විශේෂිත ආයතනයක අවශ්‍යතාවයත් එතුමා විසින් පෙන්වා දුන්නා. ඒ අනුව අන්තර්ජාතික දේශගුණික විපර්‍යාස විශ්ව විද්‍යාලය මෙම හිස්තැන පිරවීමට උපකාර වන බවත් එතුමා තවදුරටත් පැවසුවා. මෙම විශ්ව විද්‍යාලය ඔස්සේ පශ්චාත් උපාධි මට්ටම දක්වා දේශගුණික විපර්‍යාස ආශ්‍රිත දැනුම් මට්ටම් පුළුල් කිරීම අරමුණු කෙරෙනවා.

මේ සඳහා ආරම්භය වශයෙන් ශ්‍රී ලංකාව තුළ අක්කර 600ක භූමි ප්‍රදේශයක විශ්ව විද්‍යාලය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. 2024 අයවැය යෝජනාවලියටද අනුව, මේ සඳහා අවශ්‍ය අක්කර 600ක භූමිය කොත්මලේ රක්ෂිතය ආසන්නයෙන් වෙන් කිරීමට යෝජනාකෙරී තිබෙනවා.

මෙය හුදෙක් ජාතික මට්ටමේ විශ්ව විද්‍යාලයක් ලෙස ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත්, එය ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ විශ්ව විද්‍යාලයක් වනු ඇති බවත් එතුමා අවධාරණය කළා. එමෙන්ම මේ සඳහා ලොව පුරා සෑම රටකම සහයෝගීතාවය සාදරයෙන් පිළිගන්නා බවත් මෙහිදී පැවසුවා. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා හෙලිකලේ මේ වන විටත් බංගලාදේශය, සීෂෙල්ස්, මෝල්ටාව  වැනි රටවල් මේ වන විටත් අන්තර්ජාතික දේශගුණික විශ්ව විද්‍යාලය සඳහා සිය සහය පල කර ඇති බවයි. 

මෙම දේශගුණික විපර්‍යාස විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර සහයෝගීතාවය, දැනුම හුවමාරු කර ගැනීම සහ දේශගුණික විපර්‍යාස මඟින් එල්ල වන හදිසි සහ සංකීර්ණ අභියෝගවලට සාමූහිකව සාර්ථක ප්‍රතිචාර දැක්වීමට ආදිය සඳහා ලෝකයේ ඉතා වැදගත් පියවරක් සනිටුහන් කරන බවත් එතුමා මෙහිදී ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය

COP28 සමුළුවේ ඉතා වැදගත් ප්‍රතිඵලයක් ලෙස දේශගුණික විපර්‍යාසවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගීතාව වර්ධනය දැක්විය හැකියි. ශ්‍රී ලංකාව වැනි දේශගුණික විපර්‍යාසයන්ට සංවේදී දූපත් රාජ්‍යකට මෙම පියවර ඉතාම වැදගත්. තවමත් සමුළුවේ දින කිහිපයක් පමණක් මේ වන විට ගත් වී තිබුණත් ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය රටේ ඉදිරි දේශගුණික කර්තව්‍යන් කරා ලබාගෙන තිබෙන අන්දම පෙනී යනවා.

මෙහි එක් පියවරක් සනිටුහන් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දෙසැම්බර් 3වනදා මයික්‍රොසොෆ්ට් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ බිල් ගේට්ස් මහතාව මුණ ගැසී තිබුණා. මෙහිදී බිල් ගේට්ස් මහතා සමඟ ශ්‍රී ලංකාවේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා සහයෝගීතාවක් ඇතිකර ගැනීමට හැකි වුණා. මෙහිදී බිල් ගේට්ස් මහතා, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම (Bill and Melinda Gates Foundation – BMGF) දැනටමත් ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධ යම් යම් මුලපිරීම් සිදුකර ඇති බවත්, ඉදිරියේදී රට සමඟ ඇති සබදතා තවදුරටත් ශක්තිමත් කරගෙන කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන බවත් ප්‍රකාශ කළා.

මේ අනුව එම පදනම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණය සහ කෘෂිකර්මාන්තය සඳහා දත්ත පද්ධති පිහිටුවීම, පොදු ඩිජිටල් යටිතල පහසුකම්වල වර්ධනය සහ දේශගුණික විපර්‍යාස සහ ඒවාට අනුවර්තනය වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ විශේෂඥතාවය ඉහළ නැංවීම ආදී ඉලක්ක අරමුණු කරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

ඒ සමඟම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා අවධාරණය කර ඇත්තේ,  මෙම තිරසාර ව්‍යාපෘති සඳහා BMGFහි සහායද සහිතව හරිත මූලාරම්භයක් සහිතව කටයුතු සිදු කරන බවයි. එමෙන්ම ගෝලීය පාරිසරික ගැටළු විසඳීම සඳහා ලෝක ප්‍රජාවගේ සාමූහික ප්‍රයන්ත්නයේ වැදගත්කම අවධාරණය කළ ජනපතිතුමා, ඒ සඳහා ඵලදායීව සිය කාර්‍යභාරය ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැමැත්තද පෙන්වා දුන්නා.

මෙම සාකච්ඡා සඳහා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, දේශගුණික විපර්‍යාස පිළිබඳව ජනපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ මැතිතුමා ද සහභාගී වුණා.

ඒ අනුව, COP28හි ගත් වූ දින කිහිපය ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්‍යාස මැඩපැවැත්වීම, පාලනය සහ අනුවර්තනය සඳහා  ධනාත්මක වෙනසක් ඉතා වැදගත් තීරණ සහ සහයෝගීතා ගොඩනැගී ඇති දින කිහිපයක් බව පෙනී යනවා. ඉදිරි දින කිහිපය තුළත් මෙවැනි තවත් සාර්ථක පියවර රැසක් ගනු ලැබෙනු ඇතැයි ශ්‍රී ලාංකික ප්‍රජාව බලාපොරොත්තු වෙනවා. 

ශ්‍රී ලංකාව පමණක් නොව, සමස්ත ලෝකයේම දේශගුණික විපර්‍යාසයන් සහ ඒවාගේ බලපෑම් තවදුරටත් මැඩ පවත්වා, වඩාත් තිරසාර, ආරක්ෂිත දේශගුණයක් සහ පරිසරයක් බිහි කිරීමට මෙවර COP28හිදී හැකියාව ලැබෙනු ඇති.

-With inputs from Mihiri Saparamadhu

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter