Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
WMO (ලෝක කාලගුණ විද්‍යා සංවිධානය) සහ සමහර දේශගුණික ආයතන විසින් මෙම වසර එල්නිනෝ වසරක් වනු ඇති බවට මත පළ කර තිබුණා. එම අනතුරු ඇඟවීම් වල අරුත සාකච්ඡා කිරීමට පෙර, පෘථිවිය වටා වාතය චලනය වන ආකාරය සාකච්ඡා කරමු.
පෘථිවිය වායුගෝලයෙන් වටවී ඇති අතර එය වායු, ජල වාෂ්ප, දූවිලි අංශු ගණනාවක මිශ්‍රණයකින් සමන්විත වේ. අපේ වායුගෝලය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 100 ක් පමණ උන්නතාංශයක් දක්වා විහිදී යයි. එසේම මෙම වායුගෝලීය වායු ස්කන්ධ තැනින් තැනට ගමන් කරන අතර එය වායු සංසරණය හෝ සුළඟ ලෙස විස්තර කෙරේ. විද්‍යාඥයන් ගණනාවක් විසින් කරන ලද දීර්ඝ කාලීන අධ්‍යයනයන්හි ප්‍රතිඵලයක් ලෙස වායුගෝලය තුළ වායු චලනය විස්තර කරන ආකෘතියක් යෝජන කළේය. ඒ අනුව, වායුගෝලීය චලනයන් කොටස් තුනකට සහභාගී වේ. එනම්
1) සමකය සහ අංශක 30 ක අක්ෂාංශ වලින් මායිම් වූ ප්‍රදේශය,
2) අක්ෂාංශ අංශක 30 සහ 60 කින් මායිම් වූ ප්‍රදේශය සහ
3) අක්ෂාංශ අංශක 60 සහ 90 කින් මායිම් වූ ප්‍රදේශය.
දේශගුණ විද්‍යාඥයන් වන හැඩ්ලි සහ වෝකර් විසින් කරන ලද දීර්ඝ නිරීක්ෂණවලින් පසුව, උතුරු-දකුණු දිශාවේ භූ ගෝලීය කලාපයන්වල පෘථිවි වායුගෝලයේ විශාල පරිමාණයේ වායු චලනයන් පවතින බව හැඩ්ලි නිගමනය කළ අතර, ඒවා Hadley Cells ලෙස නම් කරන ලදී. නැගෙනහිර-බටහිර දිශාවේ සෛල තුළ විශාල පරිමාණයේ වායු චලනයන් පවතින බව වෝකර් නිගමනය කළ අතර ඒවා Walker Cells ලෙස නම් කරන ලදී.
වාතය තැනින් තැනට ගමන් කරන විට, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව වැනි වායුගෝලීය ලක්ෂණ ද ප්‍රවාහනය කරන අතර, යම් ස්ථානයක හෝ ප්‍රදේශයක කාලගුණික සහ දේශගුණික ලක්ෂණ මේ මගින් වර්ධනය වේ. එබැවින් කාලගුණය සහ කාලගුණ අනාවැකි පදනම් වන්නේ පෘථිවිය වටා වායු චලනය පිළිබඳ විශ්ලේෂණයන් මතයි.එසේම, ඕනෑම ප්‍රදේශයක දේශගුණික කාලසීමාවන් එම ප්‍රදේශය පුරා පවතින සුළගේ දිශාවන් සහ වේගය මත පදනම් වේ.
එවැනි දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ දේශගුණය සෘතු හතරකින් සමන්විත බව තීරණය කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මාස වසරක් තුළ අත්විඳින දේශගුණය පහත පරිදි දේශගුණික කාලවලට වර්ග කළ හැක.
ඉහත වර්ගීකරණය පදනම් වී ඇත්තේ කාලගුණ පරාමිතීන්, ප්‍රධාන වශයෙන් පීඩනය සහ සුළං තත්ත්වයන් මතය. දිවයිනේ භූ විෂමතාව ඉතා පුළුල් බැවින්, භූමි ලක්ෂණ ද එක් එක් දේශගුණික කාලවල දේශගුණයේ විචලනය වීමට හේතු වේ.
ගෝලීය කාලගුණ ලක්ෂණ සලකා බලන විට, සාමාන්‍යයෙන්, පැසිෆික් සාගරය බටහිර කොටසේ උණුසුම් උෂ්ණත්වය සහ අඩු පීඩනය සහ නැගෙනහිර කොටසේ සීතල උෂ්ණත්වය සහ අධික පීඩනය මගින් සංලක්ෂිත වේ. ඒ අනුව, පැසිෆික් සාගර ප්‍රදේශයට ඉහළින් ඇති Walker Cell කලාපය මුහුදු මතුපිටින් නැගෙනහිර සිට බටහිරට හමන සුළඟින් සහ ඉහළ උන්නතාංශවල බටහිර සිට නැගෙනහිරට හමන සුළඟින් සමන්විත වේ. එසේම, පැසිෆික් සාගරයේ බටහිර කොටස හරහා ඉහළට සුළං සහ නැගෙනහිර දෙසින් පහළට සුළං හැමීම නිරීක්ෂණය කළ හැකිය.
එල්නිනෝ බලපෑම
ස්වාභාවික හේතූන් ගණනාවක් නිසා නැගෙනහිර පැසිෆික් සාගරයේ මතුපිට ජලය උණුසුම් වන අතර උණුසුම් එල් නිනෝ යනු නිවර්තන පැසිෆික් කලාපය හරහා පුනරාවර්තන දේශගුණික රටාවක උණුසුම් අවධියයි. මෙම රටාව සෑම වසර දෙකකින් හෝ හතකට වරක් අක්‍රමවත් ලෙස වෙනස්කම් සිදු කරන අතර, එමගින් නිවර්තන කලාපය හරහා සාගර මතුපිට උෂ්ණත්වය, සුළං රටා සහ වර්ෂාපතන රටා වල පුරෝකථනය කළ හැකි වෙනස්කම් රැගෙන එයි.
ස්වභාවික හේතූන් මත සමකය වටා උතුරු-දකුණු දිශාවට මුහුදු ජලයේ උණුසුම වෙනස් වේ; මෙම දෝලනය El Niño Southern Oscillation (ENSO) ලෙස හැඳින්වේ. එල් නිනෝ සහ ENSO ලෝකයේ විවිධ ප්‍රදේශවල දේශගුණික රටාවන්ට සැලකිය යුතු ලෙස බලපායි. ස්වභාවිකව සිදු වන මෙම සංසිද්ධියට මධ්‍යම සහ නැගෙනහිර සමක පැසිෆික් කලාපයේ සාගර උෂ්ණත්වය උච්චාවචනය වීම සහ වායුගෝලයේ වෙනස් වීම් ද ඇතුළත් වේ. මෙම සංසිද්ධිය අවබෝධ කර ගැනීම හරහා මාස 1 සිට 9 දක්වා කාල පරාසයක් තුළ අධික වර්ෂාව, ගංවතුර සහ නියඟය වැනි ආපදා සඳහා සූදානම් වීමට සමාජයට ඉඩ ලබාදේ.
පැසිෆික් සාගරයට ඉහළින් ඇති වෝකර් කලාපයේ සුළං ප්‍රවාහවල දිශාව සහ සුළං වේගය එල්නිනෝ තත්වයන් තුළ වෙනස් වීමට නැඹුරු වන අතර, එය ලොව පුරා අනෙකුත් සුළං ප්‍රවාහ කලාපයන්වලද වෙනස්කම් ඇති කරයි. වක්‍ර බලපෑම් ලෙස, ලොව පුරා හැඩ්ලි කලාපවල ද සැලකිය යුතු වෙනස්කම් සිදු වීම්ත් අවසානයේ ආසියාව ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණික තත්ත්වයන්හි සැලකිය යුතු වෙනස්කම් සහ උච්චාවචනයන් ඇති වීමත් දැකිය හැකිය. සමකය , පැසිෆික් සාගරය හරහා සුළං සහ ජල ධාරා වල මාරු වීම්, එල් නිනෝ තත්ත්වයක් අතරතුර දී විවිධ ප්‍රදේශ වලට බලපෑම් එල්ල කරයි. උදාහරණ ලෙස ඉන්දුනීසියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආසන්න මුහුදු ප්‍රදේශයේ මෝසම් ඇති වීම වලක්වයි, දකුණු ඇමරිකානු කාන්තාරයේ ගංවතුර තත්ත්ව ඇති කරයි.
එල් නිනෝ සිදුවීමක් අතරතුර, මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරවල මතුපිට ජලය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස උණුසුම් වේ. එය වායුගෝලය සහ පැසිෆික් සාගරයේ සුළං තත්ත්වය සමග බැදී විචලනයන් පෙන්නුම් කරයි. එවිට ඇමරිකාවේ සිට ආසියාව දෙසට හමා යන සුළං දුර්වල වන අතර මෙය බටහිර පැසිෆික් සාගරයේ සිට ඇමරිකාව දෙසට උණුසුම් ජලය විශාල ප්‍රමාණයක් ගලා යාමට ඉඩ සලසයි. මෙහි දී සාගර තාපය යලි බෙදා හැරීමක් සිදු වන අතර එය නිවර්තන පැසිෆික් සාගරයට ඉහලින් ඇති වාතයේ සංසරණය ට ප්‍රතිචාර දැක්වීමකි.
පෘථිවියෙන් තුනෙන් එකක් ආවරණය වන පැසිෆික් ද්‍රෝණියේ විශාලත්වය නිසා මෙම සුළං සහ ආර්ද්‍රතා වෙනස්කම් ලොව පුරා සම්ප්‍රේෂණය වේ .පැසිෆික් සුළං සහ සාගර තාපය හා ජලයේ මෙම මහා පරිමාණ චලනයන් එල් නිනෝ වල ආරම්භයයි.
El Nino, කලින් සදහන් කළ හැඩ්ලි කලාපයේ පවතින වායු අංශුවල ශක්තියේ සහ දිශාවේ වෙනස්කම් ඇති කරන බැවින්, ශ්‍රී ලංකාවේ නිරිත දිග මෝසම් සමයේ කාලගුණික තත්ත්වයන් වලටද සාමාන්‍යයෙන් බලපායි. එවිට එල්නිනෝ බලපෑම් සාමාන්‍යයෙන් රට පුරා දුර්වල මෝසම් රටාවන් ඇති කරයි.
කාලගුණය පිලිබදව දත්ත ඇතුළත් ග්‍රන්තයක් වන “master weather-maker,” හි කතෘ මැඩලීන් නාෂ් පවසන ආකාරයට එල් නිනෝ යනු පෘථිවියේ වඩාත්ම වැදගත් කාලගුණය නිපදවන සංසිද්ධියක් වන අතර එය වෙනස් වන සාගර තත්ත්වයන් සහ කාලගුණික රටා මගින් ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ ධීවර කර්මාන්තයට බාධා කරයි, පේරු, චිලී, මෙක්සිකෝව සහ නිරිතදිග එක්සත් ජනපදයේ වියළි ප්‍රදේශ වලට බොහෝ විට වර්ෂාව හා හිම ඇති කරන අතර බ්‍රසීලියානු ඇමේසන් සහ ඊසාන දිග එක්සත් ජනපදයේ තෙත් ප්‍රදේශ බොහෝ විට මාස ගණනක් නියඟයට ඇද දමයි.
තවද, එල් නිනෝ සිදුවීම් දළ වශයෙන් සෑම වසර දෙකකට හෝ හතකට වරක් සිදු වේ. එය චක්‍රයක් ලෙස එහි අනෙක් අන්තය වන ලා නිනා සමඟ අක්‍රමවත් ලෙස ප්‍රත්‍යාවර්ත වේ. නැගෙනහිර පැසිෆික් කලාපයේ සිසිලන රටාවන් සමඟ එල් නිනෝ සාමාන්‍යයෙන් නොවැම්බර් සහ ජනවාරි අතර උච්චතම අවස්ථාවට පත්වේ. කෙසේ වුවද, මෙය හට ගැනීමට මාස කිහිපයකට පෙර එය හඳුනාගත හැකි අතර, එහි බලපෑම් ලොව පුරා ව්‍යාප්ත වීමට මාස කිහිපයක් ගත වේ.
එල් නිනෝ තත්ත්වයන් දේශගුණික විපර්යාස නිසා ඇති නොවන නමුත්, පැසිෆික් ජලයෙන් ඉහළ වායුගෝලයට යන විශාල තාප ප්‍රමාණය නිසා, එය බොහෝ විට වාර්තාගත උණුසුම්ම වසර කිහිපයක් නිපදවයි. 1972-73, 1982-83, 1997-98, සහ 2015-16 වැනි ප්‍රධාන එල් නිනෝ සිදුවීම් පසුගිය වසර 50ක කාලය තුල දී ඇති වූ මහා ගංවතුර, නියඟ, ලැව්ගිනි සහ කොරල් විනාශ වීම වැනි සිදුවීම් වලට ඍජුවම බලපා ඇත.
එල්නිනෝ බලපෑම සහ ශ්‍රී ලංකාවේ වත්මන් දේශගුණික තත්ත්වය
ඝර්ම කලාපීය රටක් ලෙස මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශගුණයේ හදිසි වෙනස් වීම් දැකිය හැක. සාගර පරිමාවෙන් සියයට 80ක් පමණ අඩංගු පැසිෆික් සාගරයේ නිරීක්ෂිත උෂ්ණත්ව අගයන් විශ්ලේෂණය කිරීමෙන්, පැසිෆික් සාගර ජලයේ සාමාන්‍ය උෂ්ණත්වය 38.3 °F (3.5 °C) බව නිගමනය කර ඇත. සාගර ජල ධාරා මගින් පැසිෆික් කලාපය දෙසට උණුසුම් ජලය ප්‍රවාහනය කිරීම හේතුවෙන් එහි ජලයේ උෂ්ණත්වය ඉහළ යන අතර එය එල්නිනෝ වර්ධනය වීමට හේතු වේ. එල් නිනෝවක් අතරතුර, පැසිෆික් සාගරයේ ජලයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් අංශක 3 – 5 කින් ඉහළ යා හැක.
අප්‍රේල් 5 සිට 15 දක්වා කාලය තුළ සූර්යයා ශ්‍රී ලංකාවේ ගොඩබිමට ඉහළින් නැඟී එන අතර, පළමු අන්තර් මෝසම් සමයේදී විශේෂිත දේශගුණික තත්ත්වයන් පවතින බැවින්, මෙම සමයේ දී අවට වායුගෝලය උණුසුම් වේ. එහි දී පෘථිවියට ආසන්න සුළඟ සැහැල්ලු වේ. පෘථිවි පෘෂ්ඨයට ආසන්න පහළ වායුගෝලය අධික තෙතමනයෙන් යුක්ත වන අතර උණුසුම් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දිවා රාත්‍රිය පුරාවට අපි ඉතා උණුසුම් වායුගෝලීය තත්ත්වයක් අත්විඳිමු. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම උෂ්ණත්වය කාලගුණ දෙපාර්තමේන්තුව මගින් දෛනිකව ගණනය කරන අතර එම තොරතුරුවලට අනුව අප්‍රේල් මාසයේ දැනට අපට දැනෙන උෂ්ණත්වය වන තාප දර්ශකය සාමාන්‍යයෙන් බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩිය.
අවසාන වශයෙන්, එල් නිනෝ තත්වයන් තුළ, වෝකර් කලාපවල සුළං ප්‍රවාහ සාමාන්‍යය ප්‍රමාණයට වඩා තරමක් උණුසුම් වන අතර, ශ්‍රී ලංකාව පුරා පහළ වායුගෝලයේ උණුසුම වැඩි විය හැකි අතර, අප්‍රේල් මාසයේ දී, ශ්‍රී ලංකාව තුල සියලු ප්‍රදේශයන්හි තාප දර්ශක ඉහළ යාමට එය හේතු විය හැක.
කේ.ආර්.අභයසිංහ
බාහිර කථිකාචාර්ය, පශ්චාත් උපාධි විද්‍යා ආයතනය (PGIS), පේරාදෙණිය විශ්වවිද්‍යාලය (විශ්‍රාමික කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ)
Original English Article El Niño, ENSO, Climate Change, and Sri Lanka`s Current Heat – Climate Fact Checks
Translated by Nuwandhara Mudhalige