Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

කුරුලු උණ සම්ප්‍රේෂණය උග්‍ර  දේශගුණික විපර්යාස මගින් යි ද?  

කුරුලු උණ යනු මේ දිනවල දැඩි කතාබහට ලක් වන මාතෘකාවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෑතක දී මෙම කුරුලු උණ නිසා ඇතිවිය හැකි වසංගතයක් පිළිබඳ මහජනතාවට අනතුරු ඇඟවීය. තව ද එවැනි වසංගතයක දී ඉන්ෆ්ලුවෙන්සා මර්දනය සඳහා එන්නත් නිෂ්පාදනය කරමින් සිටින බව ද ඔවුන් සඳහන් කර තිබුණා. මෑතක දී  සිදු වූ මෙම සිදුවීමෙහි ප්‍රතිඵලයක් වශයෙන්, දේශගුණික විපර්යාස මගින් කුරුලු උණ සම්ප්‍රේෂණය උග්‍ර කරන බවට තර්ක ඇති වී තිබේ. Climate Fact Checks අප කණ්ඩායම එවැනි වසංගතවලට දේශගුණික විපර්යාස වල සැබවින්ම බලපෑමක් ඇති ද යන්න විමර්ශනය කලා.  

කුරුලු උණ යනු කුමක් ද?

සාමාන්‍යයෙන් කුරුලු උණ ලෙස හඳුන්වනු ලබන්නේ ” ඉන්ෆ්ලුවෙන්සා A වර්ගයේ  වෛරසයකි”. මෙය ආසාදිත පක්ෂීන්ගෙන් ක්ෂීරපායීන්ට සහ විශේෂයෙන්ම මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. කෙසේ වෙතත්, එය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව සනාථ කිරීමට නිසි සාක්ෂි නොමැත. සමහරක් පර්යේෂණ වලට අනුව වෛරසය එහි සංවර්ධන අවධියේ පවතින විට, කුරුලු උණ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන්නේ කලාතුරකිනි. මෙයින් අදහස් කරන්නේ කුරුලු උණ ඇති රෝගියෙකුට ප්‍රතිකාර කිරීම හෝ රැකබලා ගැනීම වෛරසය වැළඳීමේ හේතුවක් නොවන බවයි. කුරුළු උණ මිනිසා තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 3-10 ක් පමණ ලබා ගනියි. මෙහි රෝග ලක්ෂණ වලට උණ, කැස්ස, උගුරේ අමාරුව, මාංශ පේශි කැක්කුම සහ හිසරදය වැනි ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ අයත් වේ. ඊට අමතරව අක්ෂි ආසාදන, නියුමෝනියාව, උග්‍ර ශ්වසන අපහසුතා සහ මොළය සහ හෘදයේ ආසාදනය වැනි තත්ත්වයන් ද ඇතුළත් වේ.

මෙම වෛරසය ක්ෂීරපායින්ට සම්ප්‍රේෂණය වන්නේ කෙසේ ද?

කුරුලු උණ වෛරසය කුරුල්ලන්ගේ ප්‍රතිග්‍රාහක සෛල වලට බන්ධනය වීමට විශේෂයෙන් අනුවර්තනය වී ඇත. මිනිසුන්ට සහ අනෙකුත් ක්ෂීරපායීන්ට ඊට සමාන ප්‍රතිග්‍රාහක ඇති නමුත් ඒවා සාමාන්‍යයෙන් පෙණහැලිවල ගැඹුරේ පිහිටා ඇත. මෙම ව්‍යුහ විද්‍යාත්මක වෙනස්කම නිසා, එක් ආසාදිත ක්ෂීරපායියෙකුට තවත් ක්ෂීරපායියකු ආසාදනය කිරීමට H5N1 වෛරස විශාල නියැදියක් අවශ්‍ය වේ.

මෙම සම්ප්‍රේෂණ තත්ත්වය අතීතයේදී ද පැවති නමුත් එහි දී බොහෝ ආසාදිතයන් කුරුලු මස් අනුභව කරන හෝ කුරුල්ලන් සමඟ ගැවසෙන පුද්ගලයන් විය. කෙසේ වෙතත්, වෛරස් විකෘති පෙන්නුම් කිරීම නිසා මෙවර එය තරමක් බරපතළ වෙමින් පවතියි. සෞඛ්‍ය විශේෂඥයින් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන අතර මුල් H5N1 විකෘතිය මිනිසුන් තුළ 50% සිට 60% දක්වා මරණ අනුපාතයක් ඇති කරන බව සොයා ගෙන ඇත.

දේශගුණික විපර්යාස සහ කුරුලු උණ 

දේශගුණික විපර්යාස, පක්ෂි සංක්‍රමණ රටා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. එය කුරුල්ලන්ට විවිධ ආකාරවලින් බලපෑම් කළ හැකිය.  මෙහි දී උෂ්ණත්වය සහ කාලගුණික රටා වල වෙනස් වීම් විශේෂ වේ. නිදසුනක් වශයෙන්, සරත් සෘතුවේ දී උණුසුම්ව උෂ්ණත්වය දිගු කාලයක් පවතී නම්, කුරුල්ලන් දකුණට සිදු කරන ඔවුන්ගේ සංක්‍රමණය ප්‍රමාද කරයි. දේශගුණික විපර්යාස කුරුල්ලන්ගේ අභිජනන රටාවන්ට ද බලපෑ හැකි අතර, එය සංක්‍රමණයට බලපෑම් කළ හැකිය. එසේම, දේශගුණික විපර්යාස පක්ෂි වාසස්ථාන සොයා ගැනීමේ හැකියාව සහ යෝග්‍යතාවය ද වෙනස් කරයි. නිදසුනක් වශයෙන්, උෂ්ණත්වය හෝ වර්ෂාපතන රටා වෙනස් වූ විට කුරුල්ලෙකුගේ පෙර පැවති ශීත වාසස්ථානය තවදුරටත් සුදුසු නොවේ, එය කුරුල්ලාට සාර්ථකව සංක්රමණය කිරීමේ හැකියාවට ද බලපෑම් කළ හැකිය. මේ අනුව, දේශගුණික විපර්යාස නිසැකවම කුරුල්ලන්ගේ සංක්‍රමණය වෙනස් කරයි. එය වෛරස සම්ප්‍රේෂණයට ද ධාරකයාගෙන් පිටත වෛරස පැවැත්මට ද සෘජුවම බලපායි. කෙසේ වෙතත්, මෙම කරුණු නිශ්චිතවම තහවුරු කිරීම අපහසුය, නමුත් එය AI වෛරසය පක්ෂි ජනගහනය තුළ සංසරණය, අනුවර්තනය සහ පරිණාමයට බලපෑම් ඇති කරයි.

අපි පර්යේෂණ කිහිපයක් සලකා බැලූ අතර ඉන් එක් පර්යේෂණයකට අනුව, නැගෙනහිර ආසියාවේ විශාල තෙත් බිමක් අසල වසර දෙකක් තිස්සේ වායු සාම්පල එකතු කර, පොලිමරේස් දාම ප්‍රතික්‍රියා තාක්ෂණය භාවිතා කර වායු සාම්පල විශ්ලේෂණය කර ඇත. ඉන්පසු කාලගුණ දත්ත සහ සංක්‍රමණික සමයේ දී පැමිණි කුරුළු විශේෂ සමඟ ප්‍රතිඵල සංසන්දනය කළේ ය. අඩු දෛනික උෂ්ණත්වය වාතයේ ඇති ඉන්ෆ්ලුවෙන්සා A, H7 සහ H9 (AI වෛරසයේ විකෘති) ඉහළ මට්ටමක පවතින බව ඔප්පු විය. මීට අමතරව, Anseriformes, Charadriiforms සහ Pelecaniformes යන සංක්‍රමණික පක්ෂි විශේෂ H7 සහ H9 වෛරස ඇතිවීම කෙරෙහි වැඩි වශයෙන්  හේතු වී ඇත. එපමණක් නොව, වායුගෝලයේ ඇති වන හදිසි වෙනස්කම් ද  වෛරසය පැතිරීම සඳහා වක්‍රව බලපා ඇත.

දේශගුණික විපර්යාස කුරුල්ලන්ගේ ජීවිතයට සහ වෛරසය  පැතිරීමට  බලපාන්නේ කෙසේ ද? 

දේශගුණික විපර්යාසය ශාක හා කෘමි වර්ධනයේ කාලය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි අතර, එය දේශීය සහ සංක්‍රමණික පක්ෂීන්ගේ ආහාර රටාව සදහා බලපෑම් කරයි. ආහාර හිඟයෙන් බේරීමට කුරුල්ලන් වෙනත් ප්‍රදේශවලට යාමට පටන් ගනී. එය විවිධ පරාසයන් තුළ  රෝගය පුළුල් ලෙස පැතිරීමට හේතු වේ. අනෙක් අතට, දිගු ගමනාන්ත සහ ආහාර දුලභ වීම කුරුල්ලන්ගේ ජීවිත වලට ද බලපෑම් එල්ල කරයි. උෂ්ණත්වය වැඩි වන විට, සමහර පක්ෂි විශේෂ ඔවුන්ගේ සංක්‍රමණය උතුරු දෙසට මාරු කරන අතර,  එමගින් සංක්‍රමණ රටා වෙනස් වීම හෝ ඇතැම් විට පෙර නොවූ භූගෝලීය ප්‍රදේශවලට පක්ෂි විශේෂ පැමිණීම නිසා භූගෝලීය ප්‍රදේශවල වෙනස්කම් ඇති වේ. සමස්තයක් ලෙස, දේශගුණික විපර්යාස AI පැතිරීම සහ පක්ෂි ජීවිත මත සංකීර්ණ බලපෑම් ඇති කරයි. 

කුරුළු උණ පැතිරීම අවම කිරීම

ආහාර පද්ධති, ජන ඝනත්වය වෙනස් කිරීම සහ භූමි භාවිතය වෙනස් වීම, ජෛව විවිධත්වය වෙනස් වීම්, ජල හිඟය සහ දේශගුණික විපර්යාස ඉන්ෆ්ලුවෙන්සා සම්ප්‍රේෂණයට හේතු වෙයි.  ඉන්ෆ්ලුවෙන්සා සම්ප්‍රේෂණයට දේශගුණික විපර්යාස බලපාන අයුරු සෙවීමට   පර්යේෂණ ක්‍රම තව  දියුණු කළ යුතුය. උසස් පර්යේෂණ මගින් දේශගුණික විපර්යාස සහ කුරුලු උණ රෝගය ව්‍යාප්තිය අතර සම්බන්ධය හඳුනා ගැනීමට හැකි වේ.

සාරාංශය

කුරුලු උණ මූලික වශයෙන් පක්ෂීන්ට බලපාන වෛරස් ආසාදනයකි. නමුත් මිනිසුන්ට ද සම්ප්‍රේෂණය විය හැකිය. වෛරසය සාමාන්‍යයෙන් පැතිරෙන්නේ ආසාදිත පක්ෂීන් හෝ ඔවුන්ගේ මළපහ හරහායි. නමුත් එය වාතය හරහාද පැතිර යා හැකිය. දේශගුණික විපර්යාස කුරුළු උණ පැතිරීම කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බවට සාක්ෂි පවතියි. දේශගුණික විපර්යාස මූලිකවම උෂ්ණත්වය සහ කාලගුණික රටා වෙනස් වන විට කුරුල්ලන්ගේ ව්‍යාප්තිය, පරාසයන් වෙනස් කිරීමට හෝ විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වීමට හේතු වෙයි. එසේම නව පක්ෂීන් සහ ප්‍රදේශ සමඟ සම්බන්ධ විය හැකි අතර වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි කරයි. මීට අමතරව, ජල සුලභතාව සහ උෂ්ණත්වයේ වෙනස් වීම්, තෙත් බිම් හෝ විල් වැනි පක්ෂීන් එක්රැස් වන ජල මූලාශ්‍රවල වෛරස් වල පැවැත්මට සහ පැතිරීමට බලපෑම් කළ හැකිය. කුරුළු උණ ව්‍යාප්තියට දේශගුණික විපර්යාස වක්‍ර බලපෑම් ඇති කරන බව ඒ අනුව පෙනී යයි. කෙසේ වෙතත්, දේශගුණික විපර්යාස සහ කුරුළු උණ අතර සම්බන්ධය සංකීර්ණ බව සැලකිල්ලට ගෙන, එහි බලපෑම් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ අවශය වේ. ඔබට මේ පිළිබද කිසියම් දෙයක්  විමසීමක් ඇත්නම් හෝ දේශගුණික විපර්යාස හෝ පරිසරය සම්බන්ධ සැක සහිත කරණාවන් පිළිබද සත්‍යතව දන ගැනීමට අවශ්‍ය නම් අපගේ  WhatsApp  අංකය වෙත එවන්න: +917045366366

Silila Sandawala
Silila Sandawala
Articles: 8

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter