Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

නිල් තල්මසුන් මිරිස්සෙන් සමුගෙනද?

සංචාරක කර්මාන්තය  ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉමහත් සහයෝගයක් ලබා දෙන කර්මාන්තයක්  බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් අංගයක් ලෙස තල්මසුන් නැරඹීම හැඳින්විය හැකියි. මෑතකදී සිදු වූ pilot whales කල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගැසීමේ සිදුවීමත් සමඟ ශ්‍රී ලංකාව ආශ්‍රිත වෙරළ තීරයේ තල්මසුන් නැරඹීම පිලිබඳ කතාබහක් ඇති වුණා.

නමුත් එම අවාසනාවන්ත සිදුවීමෙන් පසු නැවත වාර්තා වූයේ සංචාරක කර්මාන්තයට  මෙන්ම, සාගර ජීවී විවිධත්වයට සහ පරිසරවේදීන්, සත්ත්වවේදීන් ඇතුළු ශ්‍රී ලාංකීය ප්‍රජාවට අමිහිරි පුවතක්. එනම් මේ වසර වන විට නිල් තල්මසුන් මිරිස්ස ආශ්‍රිත මුහුදු තීරයෙන් ඉවත් වී ඇති බවයි. ඒ පිළිබඳ පසුගිය දිනක ප්‍රසිද්ධ පුවත්පත් ඇතුළු මාධ්‍යජාලා ඔස්සේ කතාබහට ලක් වුණා.

නමුත් මීට පෙර වසර තුළදීද, මෙම අවදානම පිළිබඳව විවිධ අංශ ඔස්සේ, විවිධ පැතිකඩවලින් මෙම ගැටළුව මතුකර දැක්වීම සිදු කර තිබෙනවා.

සැබැවින්ම මෙම තත්වයට වගකිව යුත්තේ කවුද, මෙම තත්ත්වය වළක්වා ගැනීමට අපට කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව Climate Fact Checks අපගේ කණ්ඩායම විමසා බැලීමක් සිදුකළා.

ශ්‍රී ලංකාවේ නිල් තල්මසුන්

මේ වන විට පෘථිවිය මත ජීවත් වන විශාලතම සත්ත්වයා ලෙස සැලකෙන්නේ නිල් තල්මසා හෙවත් Balaenoptera musculusයි. මේ වන විට නිල් තල්මසුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇතිබවට වර්ගීකරණය කර තිබෙනවා. මොවුන් මෙලෙස තර්ජනයට ලක් වීමට මූලික හේතුව වූයේ මීට පෙර පැවති වාණිජමය වාසි උදෙසා තල්මසුන් දඩයම් කිරීමේ ක්‍රියාකරකම් ආදියයි.

ශ්‍රී ලංකාව නිල් තල්මසුන් නැරඹීමට පැමිනීම සඳහා සුදුසුම රටක් බවට තීරණය කෙරුණේ 2008 වර්ෂයේ දීයි. නිල් තල්මසුන් ලංකාව ආශ්‍රිත මුහුදු තීරයට ආකර්ෂණය වීමට හේතුව ලෙස සැලකෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන ආහාර මූලාශ්‍රය වන ක්‍රීල් මසුන් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු තීරයේ වැඩි වශයෙන් සොයා ගැනීමට හැකි වීමයි. මීට අමතරව මෝසම් රටා, දේශගුණික තත්ත්ව ආදියද මේ සඳහා දායක වේ.

වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් .

මෙහිදී ශ්‍රී ලංකාව අවට මුහුද ආශ්‍රිතව සුලබව දන්කට ලැබෙන්නේ Balaenoptera musculus indica නම් නිල් තල්මස් උප විශේෂයයි. 2018  වසරේ සිදුකළ සමීක්ෂනයකට අනුව, එම වසරේ නිරිත දිග මෝසම් සමය තුළ ශ්‍රී ලංකාව අවට මුහුදේ සුලබවම දැකගත හැකි වූ සාගරික ක්ෂීරපායී ජීවියා මෙම විශේෂය බව සොයාගෙන තිබෙනවා. මෝසම් රටා ආදියට අනුකූලව, මෙම සමීක්ෂණයේදී නිල් තල්මසුන් හඳුනාගත හැකි වූයේ දිවයිනේ දකුනු සහ වයඹ මුහුදු තීරය ආශ්‍රිතවයි.

ප්‍රධාන වශයෙන් නිල් තල්මසුන් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ දක්නට ලැබෙන්නේ වරින් වර වසරේ එක්තරා කාලයක් තුළදී ය. ත්‍රිකුණාමලය ආශ්‍රිත නැගෙනහිර මුහුදේ මාර්තු සිට ජූලි මාස අතර කාලය තුළදීත්, මිරිස්ස ආශ්‍රිත දකුණු මුහුදේ දෙසැම්බර් සිට මාර්තු මාසය දක්වා කාල තුළදීත් නිල් තල්මසුන් දැකගත හැකියි.

මෙම සිදුවීම ගැන වැඩිදුර විමසීමට අප විසින් සම්බන්ධ කරගත් NARA ආයතනයේ කප්පරතොට ප්‍රාදේශීය කාර්‍යයාලයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්‍ය උපුල් ලියනගේ මහතා ප්‍රකාශ කළේ, අවට මුහුදේ නිල් තල්මසුන් නිරීක්ෂණය කිරීම සඳහා යොදාගන්න ඡායාරූපගත කර නිරීක්ෂණය කෙරෙන ක්‍රමයට අනුව ඔවුන් විසින් අධ්‍යනය කළේ, ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයට පැමිනෙන තල්මසුන් අඛණ්ඩව මෙහි රැඳෙන බවක් පෙනී නොයන බවයි. සාමාන්‍යයෙන්, එක් වරක් දක්නට ලැබෙන තල්මසෙක් අඛණ්ඩව දින කිහිපයක් මේ ආශ්‍රිත මුහුදේ රැඳෙන බවත්, ඉන්පසු නැවත එම තල්මසාව නිරීක්ෂණය කිරීමට මාස ගණනාවක් හෝ ඇතැම් විට වසර කිහිපයක් ගතවන බවයි.

එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, වෙනත් මුහුදු සීමාවක් කරා ගමන් කරන තල්මසුන් හඳුනා ගැනීම සඳහා විද්‍යාඥයින් විසින් තල්මසුන්ගේ හඬ රටා යොදා ගන්නා බවයි. ශ්‍රී ලංකාව ආශ්‍රිතව දක්නට ලැබෙන නිල් තල්මසුන් ආවේණික හඬ රටාවක් දරනවා. මෙම රටාව Sri Lankan call type ලෙස හැඳින්වෙනවා. මෙම අදාල හඬ සහිත නිල් තල්මසුන් කලාතුරකින් මැඩගස්කරය ආශ්‍රිතවත්, බොහෝ අවස්ථාවලදී,  ඩියේගෝ ගාර්සියා සහ අරාබි මුහුද, මාලදිවයින ආශ්‍රිතවත් හමුවන බවද එතුමා පැවසුවා. එනම් වසර පුරාම, සමකාසන්න ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ නිල් තල්මස් ප්‍රභේදය සැරිසරන බවත්, නමුත් වසර පුරාම එකම මුහුදු තීරයක ජීවත් නොවන බවත් මින් පැහැදිලි වෙනවා.

මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන් මුහුන දෙන තර්ජන

මුල් කාලයේ පටන් නිල් තල්මසුන්ගේ පැවැත්ම සඳහා පැවති ප්‍රභලම අභියෝගය නීති විරෝධී තල්මස් දඩයමයි. නමුත් උතුරු ඉන්දියන් සාගරයේ තල්මසුන් මෙම තර්ජනවලට මුහුණ දීම අනෙක් මුහුදු තීරවල තල්මසුන්ගේ මුහුණ දීමට වඩා අඩුයි. 1960 ආශ්‍රිතව සෝවියට්වරුන් නිල් තල්මසුන් 1300ක් පමණ නීති විරෝධී ලෙස දඩයම් කළ පසු එම මුහුදු තීරයේ තල්මසුන් කිසිවිටෙකත් නැවත එවන් තර්ජනවලට මුහුණ දී නැහැ. වත්මන වන විට නීති විරෝධී තල්මස් දඩයම දැඩි නීති ආදිය යොදා ගෙන නතර කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින අධික කාර්‍යබහුල නාවික මාර්ගයක් වන සිංගපූරුව සහ ඩුබායි අතර මාර්ගය අතර ගමන් කරන අති විශාල නැව්, මේ වන විට සමත ලෝකයේ මෙන්ම විශේෂයෙන් මිරිස්ස ආශ්‍රිත නිල් තල්මසුන්ට පවතින දැවැන්තම තර්ජනයයි. මෙම මාර්ගයේ ගමන් කරන නැව් සංඛ්‍යාව වසරින් වසර, හතරගුණයක් බැගින් ඉහළ යයි. මෙම නැව්වල ප්‍රහාරයට ලක් වීම මඟින් නිල් තල්මසුන් වැඩි දුරටත් අනතුරට ලක්වීම සුලබව ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ දක්නට ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා මෙතනින්.

නැව්වලින් සිදුවන අනතුරුවලට අමතරව, වෙනත් මසුන් සඳහා යෙදූ දැල් වැනි ආම්පන්නවල පැටලීම, ප්ලාස්ටික් සහ පොලිතින් ඔස්සේ සාගර ජලය දූෂණය වීම, ඇතැම් අවස්ථාවලදී සාගර ආශ්‍රිතව කෘත්‍රිමව ඇතිකරන ශබ්ද මඟින් සිදුවන ශබ්ද දූෂණය ආදියද මෙම ජීවීන්ගේ පැවැත්ම සඳහා අභියෝග එල්ල කරයි.

නිල් තල්මසුන්ගේ පැවැත්මට දේශගුණික විපර්‍යාසවල බලපෑම

නිල් තල්මසුන් දේශගුණික විපර්‍යාසවල බලපෑමට සෘජුවම ලක් නොවූවද, ඒ තුළින් තල්මසුන්ට වක්‍ර බලපෑමක් ඇති විය හැකියි.

දේශගුණික විපර්‍යාස හේතුවෙන් ධ්‍රැවීය අයිස් දියවීම ක්‍රමයෙන් වේගවත් වන අතර ඒ තුළින් නිල් තල්මසුන්ගේ පැවත්මට වක්‍රාකරයෙන් බලපෑම් සිදුවනවා. ඇල්ගී සහ ප්ලවාංගවල පැවැත්ම සඳහා මෙම දියවන අයිස්වලින් ඇතිවන සිසිල් ජලය බාධා පමුණුවනවා. ඇල්ගී සහ ප්ල්වාංග යනු ක්‍රීල් මත්ස්‍යයින්ගේ ප්‍රධානතම ගොදුරයි. ක්‍රීල් මත්ස්‍යයින්ගේ ආහාර මූලාශ්‍රවලට සිදුවන හානි හේතුවෙන්, ක්‍රීල් මත්ස්‍ය ප්‍රමාණය අඩුවන අතර, එය නිල් තල්මසුන්ගේ ආහාර සපයාගැනීමේ හැකියාවට බලපායි.

මීට අමතරව දේශගුණික විපර්‍යාස හේතුවෙන් සාගර ජලයේ උෂ්ණත්වය, ආම්ලිකතාවය ආදී භෞතික ලක්ෂණ වෙනස් වී සෘජුවම නිල් තල්මසුන්ට බලපාන අතර, එම වෙනස්වීම්වලින් ක්‍රීල් මත්ස්‍යයින්ට සිදුවන දුශ්කරතා නිසා ක්‍රීල් ගහනය අඩු වීම, නිල් තල්මසුන්ගේ පැවැත්මට වක්‍රාකාරයෙන් සෘණාත්මක බලපෑමක් ඇති කරයි.

දේශගුණික විපර්‍යාස සමඟ නිල් තල්මසුන්ගේ පැවැත්ම පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්

නිල් තල්මසුන් මිරිස්ස මුහුදු තීරයෙන් ඉවත්වන්නෙ ඇයි?

ඉහත සඳහන් කළ පරිදි නැව් ගමනාගමනය නිසා නිල් තල්මසුන්ගේ ජීවිතවලට ඇති දුෂ්කරතා හමුවේ ඔවුන් මෙම සාගර කලාපයෙන් ඉවත් වී ගියා වීමට ඉඩකඩ පවතිනවා. ආචාර්‍ය උපුල් ලියනගේ මහතාට අනුව, ඔවුන්ගේ ජීවිතයට ඇති තර්ජන සහ වෙනත් බලපෑම් සලකා, අවශ්‍යතා සලසා ගැනීම පහසු වන, ජීවත් වීමේදී අභියෝග වඩා අඩු සමකාසන්න ප්‍රදේශයකටම ඔවුන් සංක්‍රමණය වූ බවට එතුම සැක පල කරයි.

නමුත් නිල් තල්මසුන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට තරම් ක්‍රීල් සහ වෙනත් තල්මසුන්ගේ ආහාර ප්‍රභවවල කැපී පෙනෙන අඩුවක්, මිරිස්ස සහ ඒ ආශ්‍රිත මුහුදේ තවමත් ඇති වී නොමැති බවද එතුමා පැවසුවා.

ඒ අනුව මෙයට වඩාත්ම හේතුවිය හැක්කේ, නැව් ප්‍රහාර, දේශගුණික විපර්‍යාස නිසා ජලයේ සිදුවන වෙනස් වීම්, සාගර දූෂණය යනාදී හේතූන්.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට මෙන්ම ආර්ථිකමය තත්වයට විශාල වටිනාකමක් එක් කළ නිල් තල්මසුන් රටේ වෙරළ තීරයෙන් ඉවත් වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, එයට හේතු හහවුරු කර්ගෙන, මෙම තත්ත්වය වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දැරීම රටක් වශයෙන් ඉතාම වැදගත් කර්තව්‍යක්.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter