Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණ විපර්‍යාස පිළිබඳව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය

පසුගිය වසරේ පැවැත්වුණු COP27දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයත් සමඟ දේශගුණික විපර්‍යාස පිළිබඳ අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්වූ, කැපී පෙනෙන මාතෘකාවක් බවට පත්විය. එහිදී ජනාධිපතිතුමා විසින් මාලදිවයිනේ සහායක ආයතනයක් සමඟ එක්ව රට තුළ දේශගුණික විපර්‍යාස විශ්ව විද්‍යාලයක (Climate Change University) ස්ථාපිත කිරීම පිලිබඳව යෝජනා කෙරුණි. මෙම විශ්ව විද්‍යාලය ලොව පුරා ජීවත් වන විද්‍යාඥයින්, පරිසරවේදීන්, පර්‍යේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සිසුන් අතර දැනුම හුවමාරු කරගැනීම සඳහා අරමුණු කර ගැනුණු, ගෝලීය චින්තන ගබඩාවක් (Global think tank) ලෙස හැඳින්විය හැක.

එපමනක් නොව, අතුරු අයවැය කතාව අතරතුර ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, “විදේශීය සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහා ශ්‍රී ලංකාව පෞද්ගලික ආයෝජන අංශ දිරිමත් කල යුතුයි. ලෝකයේ බොහෝ රටවල් තම විදෙස් සංචිත ගොඩනගා ගැනීම සඳහා සිසුන්ට අද්‍යාපන අවස්ථා විවර කර තිබෙනවා. උදාහරණ වශයෙන් දකුණු ආසියානු කලාපයේ බංගලාදේශය, ඉන්දියාව සහ නේපාලය දැනටමත් ඔවුන්ගේ විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා විදෙස් සිසුන්ට ඔවුන්ගේ රටවල් විවර කර හමාරයි.” ලෙසයි.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්‍යාස පිළිබඳ සංවිධානයේ මාරියා ලෝර විනුවෙලා පැවසුවේ, “විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් තුළින් මිනිසුන්ට දේශගුණික විපර්‍යාස, පරිසරය සහ වඩාත් තිරසාරව ජීවත් වන ආකාරය හා ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ලබා දිය යුතුය.” යන්නයි. “එවිට ඔවුන් යම් ක්‍රියාවක් සිදු කිරීමට, වඩාත් තිරසාරව කටයුතු කරමින් ජීවත් වීමට, පරිභෝජන රටා හා නිෂ්පාදන රටාවන් වෙනස් හා පාලනය කිරීමට, අඩු විමෝචන සහිත, දේශගුණයට ඔරොත්තු දෙන සමාජයක් හා පරිසරයක් ඇති කිරීමට මෙන්ම, තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා වැදගත්වන ප්‍රතිපත්ති සම්පාදනයට ඵලදායී ලෙස සහභාගී වීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්පවලින් සන්නද්ධ වනු ඇත.” යැයි ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය. දේශගුණික විපර්‍යාස පිළිබඳ අධ්‍යාපනය (Climate Change Education) හෙවත් CCE යනු, දේශගුණික විපර්‍යාස පිළිබඳ මිනිසුන්ගේ අවම මට්ටමේ දැනුම මඟින් මුළු මහත් පෘථිවියට සහ එහි ජීවයට ඇති කළ හැකි තර්ජනය බව අවබෝධ කර ගැනීමෙන් පසු 2000 වසරවල මුල් භාගයේ දී වැඩිදියුණු කෙරුණු සංකල්පයකි.

CCE දේශීය අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව සහ එය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු අඩුලුහුඬුකම් පිළිබඳව Climate Fact Checks කණ්ඩායම විමර්ශනය කළේය.

ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනික ක්‍රමය තුළ CCE හෙවත් දේශගුණ විපර්‍යාස පිළිබඳ අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සහ ද්වියිතීක අධ්‍යාපනය ලබාදීම සඳහා විවිධ වර්ගයේ පසල් ඇත. මීට අමතරව, ඇතැම් පාසල්වල ප්‍රාථමික සහ ද්වියිතික අධ්‍යාපනය යන දෙකම ලබාදෙයි. මෙම පාසල් යටතට, රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ ජාත්‍යන්තර පාසල් අයත් වේ.

ප්‍රාථමික අධ්‍යාපනයේදී, ජාතික විෂය මාලාව යටතේ භාෂාව, ගණිතය, පරිසරය සහ ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ ආගම යන ප්‍රධාන විෂය ක්ෂේත්‍ර හතරට අදාල දැනුම දරුවන්ට උගන්වනු ලැබේ. කෙසේවෙතත්, මෙහිදී පරිසරය හා ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය යටතේ එම විෂයට අදාල සාමාන්‍ය දැනුම කෙරෙහි වැඩි අවදානයක් යොමු කෙරේ. මෙම දැනුම තරඟ විභාගයක් වන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වීම අරමුණු කෙරේ. කෙසේ නමුත්, අනාගත අභියෝග සඳහා සූදානම්වීමට දරුවන්ට ඉඩ සැලසීම සඳහා ගෝලීය වශයෙන් සහ ජාතික වශයෙන් පරිසරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම ඉතා වැදග්ත් වේ. සාමාන්‍ය පාසල් ප්‍රාථමික අධ්‍යාපනය සමඟ මෙම දැනුමද අන්තර්ගත කල ළමයින් වෙත ලබා දීම වඩාත් සුදුසු වේ.

ශ්‍රී ලංකාවේ ද්වියිතීක අධ්‍යාපනය වසර 8ක් මුළුල්ලේ පවතින අතර අදියර 2කින් සමන්විත වේ. එනම් කණිෂ්ඨ ද්වියිතීක ශ්‍රේණි 6 සිට 9 ශ්‍රේණි දක්වාත්, ජ්‍යේෂ්ඨ ද්වියිතීක ශ්‍රේණි 10 සිට 13 ශ්‍රේණි දක්වාත් ය. ද්වීයිතීක අධ්‍යාපනය යටතේ භූගෝල විද්‍යාව, විද්‍යාව සහ තාක්ෂණවේදය, සමාජ අධ්‍යනය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය වැනි විෂය මාලාවන් ඔස්සේ දේශගුණික විපර්‍යාස හා ඒ සම්බන්ධ කරුණු පිළිබඳ තොරතුරු සිසුන් වෙත ලබා දෙයි. නමුත් මෙහිදී, ප්‍රමුඛත්වය ලබා දෙන්නේ දේශගුණික විපර්‍යාසවල ඇතැම් අංශ කිහිපයක් සඳහා පමණි.  විශේෂයෙන් මෙහිදී දේශගුණික විපර්‍යාසවල බලපෑමට එරෙහිව සටන්කිරීමට ඉඩකඩ ලබාදෙන නව්‍ය චින්තනය සම්බන්ධයෙන් මේ තුළදී අවධානය යොමු වී ඇත.

ජ්‍යේෂ්ඨ ද්වියිතික අංශවලදී වඩාත් අවධානය යොමු වන්නේ සිසුන්ට අදාල තරඟ විභාග ආශ්‍රිත ඉගෙනුම් රටා කෙරෙහි ය. මෙහිදී 11 ශ්‍රේණියේ දී (වයස අවුරුදු 16 දී) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයත්, 13 ශ්‍රේණියේදී (වයස අවුරුදු 18 දී) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයත් ලෙස තරඟ විභාග 2කට සිසුවා මුහුණ දෙයි. එනිසා මෙම කාල සීමාව සිසුවාගේ ජීවිතයේ තීරණාත්මකම කඩ ඉමක් ලෙස සැලකේ. කෙසේ නමුත් මෙම කාල සීමාව තුළ විභාග සහ අධ්‍යාපන කටයුතුවලින් පරිසරය හා ඒ සම්බන්ධ අභියෝග කෙරෙහි ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බැවින්, ඉන්පසු ළමුන් මේ ක්ෂේත්‍ර කෙරෙහි වැඩිදුර අවධානය යොමු කරන්නේ ඒ කෙරෙහි විශේෂ නැඹුරුතාවක් සහ ආශාවක් ඔවුන් තුළ පවතින්නේ නම් පමණි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ දේශගුණික විපර්‍යාස සහ පාරිසරික විද්‍යාව ආශ්‍රිතව අවදානය යොමු කෙරෙන විවිධ උපාධි, පශ්චාත් උපාධි ආදිය පිරිනමයි. එහෙත්, රටේ සමස්ත පුරවැසියන්ගේ දැනුමට එක් කළ යුතු මෙම වැදගත් විෂය කරුණු ගැඹුරින් අධ්‍යනය කිරීමට ඉඩකඩ ලබාගන්නේ තරුණයින් අතරින් අතලොස්සක් පමණි.

ශ්‍රී ලංකාවේ ද්වියිතික අධ්‍යාපනය සඳහා වන ජාතික විෂයමාලා රාමුවේ (The National Framework for Secondary Education in Sri Lanka) 15-16 පිටුවල සාමාන්‍ය අධ්‍යාපනය සඳහා අංශයක් පවතී. මෙහිදී එහි ප්‍රධාන අරමුණ ලෙස සඳහන් වන්නේ 21වන සියවසේ සහ ඉන් ඔබ්බට අභියෝග සඳහා සූදානම් පුරවැසියෙකු නිර්මාණය කිරීම සහ රටේ තිරසර ජාතික සංවර්ධනය හා සාමය සඳහා දායකවීම බවයි.

2020 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 92.38% ලෙස වාර්තා වුවද, රටේ දේශගුණික සාක්ෂරතාවය ඉතා දුර්වල බැවින් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව දැනුවත් කිරීමට සුදූ වේදිකාවක් රට තුළ නිර්මාණය වී නොමැත.

දේශගුණික විපර්‍යාස පිළිබඳව විශ්ව විද්‍යාලයක් යනු එවැනි වේදිකාවකි.

දේශගුණික විපර්‍යාස මේ වන විට ලොව පුරා සෑම රටකම රාජ්‍ය මැදිහත්වීම් සහිතව කතාබහට ලක් වී ඇති මාතෘකාවකි. ඒ අනුව දේශගුණික විපර්‍යාස ආශ්‍රිත විවිධ අංශ පිළිබඳව උසස් අධ්‍යාපනය ලබාදීමේදී විශ්ව විද්‍යාල කිහිපයක් ඉදිරියෙන්ම සිටී. ඒ අනුව, ලෝකයේ දෙශගුණික විපර්‍යාස පිළිබඳ උසස් අධ්‍යාපනය සඳහා වඩාත්ම සුදුසු විශ්ව විද්‍යාල 7, 2020 වර්ෂයේ දී CEO World Magazine මඟින් නම් කරන් ලදි.

  1. ඩියුක් විශ්ව විද්‍යාලය
  2. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය
  3. හාවඩ් විශ්ව විද්‍යාලය
  4. ස්ටෑන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය
  5. කැලිෆෝනියා විශ්ව විද්‍යාලය
  6. ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය
  7. ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්

කෙසේ නමුත්, ලෝකයේ කිසිදු විශ්ව විද්‍යාලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කරන ලද අන්දමට දේශගුණික විපර්‍යාස සම්බන්ධ අධ්‍යාපනය ආශ්‍රිත පාඨමාලා සඳහා පමණක් කැප වී නොමැත.

CCE ශ්‍රී ලංකාවට උචිත ප්‍රායෝගික විසඳුමක්ද?

CCE දැනටමත් ලොව පුරා ඇතැම් රටවල ප්‍රාථමික සහ ද්වියිතීක විධිමත් අධ්‍යාපනය සඳහා හඳුන්වා දී ඇත. උදාහරණයක් ලෙස ඉතියෝපියාවේ ජාතික විෂයමාලා රාමුව (2020) තුළ 1 සිට 12 ශ්‍රේණි දක්වා සියළුම අධ්‍යන විෂයන් සඳහා පරිසරය හා දේශගුණික විපර්‍යාස ඇතුළත් වේ. එය ඉතියෝපියානු විෂය මාලාවට (2019) දේශගුණික විපර්‍යාස ඒකාබද්ධ කිරීමේ මාර්ගෝපදේශය මඟින් සහාය වේ. සැම්බියාවේ, ජාතික දේශගුණික විපර්‍යාස ඉගෙනුම් උපාය මාර්ගික සැලැස්ම (2021), මුල් ළමා විය රැකවරණයේ සහ අධ්‍යාපනයේ සිට ද්වියිතික අධ්‍යාපනය දක්වා ඉගෙනුම් සහ ඉගැන්වීම් කටයුතුවලට දේශගුණික විපර්‍යාස ආශ්‍රිත දැනුම ඒකාබද්ධ කිරීම සඳහා කැප වී සිටියි. මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදය, දේශගුණික විපර්‍යාස අධ්‍යාපන පනත (2021) සම්මත කළ මුල්ම රටවල් අතරින් එකකි.

කෙසේ නමුත්, ලොව පුරා මිලියන සංඛ්‍යාත ගුරුවරුන් නියෝජනය කරන එඩියුකේශන් ඉන්ටනැශනල් (Education International) සංගමයේ වාර්තාවක් පවසන්නේ බොහෝ රටවල් දේශගුණික විපර්‍යාස අධ්‍යාපනය සිසුන්හට ලබාදීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. පර්‍යේඑෂණවලට අනුව, පැරිස් ගිව්සුමේ අරමුණු සඳහා සිය කැපවීමේ කොටසක් ලෙස රටවල් 95 විසින් ඉදිරිපත් කළ නව හෝ යාවත්කාලීන කළ ජාතික වශයෙන් ලබාදෙන දායකත්ව නිර්ණ වාර්තා හෙවත් Nationally Determined Contribution (NDCs) වල දත්තවල, 24%කම තරුණයින්ගේ අධ්‍යාපනය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇත. තවද, එම රටවල් අතරින් කිසිවෙකුත් තම ජාතික දේශගුණික උපාය මාර්ගයේ කොටසක් ලෙස CCE ඉල්ලා නොසොටින බවද සඳහන් ය. ශ්‍රී ලංකාවේද යාවත්කාලීන කරන ලද NDCහි  දේශගුණික විපර්‍යාස පිළිබඳ අධ්‍යාපනය සඳහා අංශයක් ඇතුලත් නොවේ.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන සහ පරිපාලන ක්‍රම සහ CCE ක්‍රියාත්මක කිරීම අතර හිස්තැන් කිහිපයක් නිරීක්ෂණය විය. මෙම හිස්තැන් හඳුනාගැනීම සඳහා PESTEL විශ්ලේෂණයක් සිදු කරන ලදී.

  1. දේශපාලන: රටේ දේශපාලනික අස්ථාවරත්වය සහ දූෂණය හේතුවෙන් CCE ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවදානය නිසි බලධාරීන් විසින් යොමුකිරීම සීමා වීම.
  2. ආර්ථිකමය: වත්මන් ආර්ථික අර්බුධය සහ උද්ධමනය සලකා බලන විට, CCE සඳහා අවශ්‍යවනු ඇති විශාල අරමුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාවට දැරීමට නොහැකි වීම.
  3. සමාජයීය: රටේ පවතින තත්ත්වයත් සමඟ මිනිසුන්ගේ මූලික අවදානය සහ උනන්දුව ඔවුන්ගේ එදිනෙදා උත්ගත්වන වැදගත්, මූලික අවශ්‍යතා ආශ්‍රිත ගැටළු (ආහාර අර්බුධය, අවම වැටුප්, මූලික අවශ්‍යතා සඳහා අරමුදල්…) කෙරෙහි පවතින අතර, ඒ අතරේදී ඔවුන් තුළ දේශගුණික විපර්‍යාස කෙරෙහි ඇතිවන උනන්දුව සැලකිය යුතු නොවන අවම මට්ටමක පැවතීම.
  4. තාක්ෂණික: ශ්‍රී ලංකාවේ තාක්ෂණය දේශගුණික ක්‍රියාකරකම් සම්බන්ධ ව යාවත්කාලීන විය යුතු ය.
  5. පාරිසරික: ආන්තික කාළගුණික තත්ත්ව කෙරෙහි මිනිසුන් තුළ පවතින නිරන්තර බිය සහ වැරදි පාරිසරික කළමනාකරණ විධි මඟින් CCEහි වැදගත්කම පෙන්වා දීම වළක්වයි.
  6. නීතිමය: ශක්තිමත් ප්‍රතිපත්ති සහ රෙගුලාසි, නිසි ලෙස සහ සර්ව සාධාරණ ලෙස රට පුරා ක්‍රියාත්මක විය යුතුය.

CCE මඟින් ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක් ගෙන ආ හැකිද?

වර්තමානයේ රට තුළ පවතින ක්‍රමයේ අඩුපාඩු නොතකා, දේශගුණික විපර්‍යාස පිළිබඳව ප්‍රායෝගික දැනුම ඇතුළත් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සෑමවිටම රටකට අත්‍යවශ්‍ය වන අතර, එය අනාගත පරපුරට දේශගුණික විපර්‍යාසවලට ශක්තිමත්ව හා නිවැරදිව මුහුණ දීම සඳහා උපකාරී වේ. මීට අමතරව, ශ්‍රී ලංකාව දේශගුණික විපර්‍යාස සම්බන්ධයෙන් පාසල් සිසුන් අතර සාර්ථක දැනුවත් කිරීම් වැඩසටහන් සහ විෂය මාලා මෙහෙයවිය යුතුය. මේවා ඔස්සේ දරුවන් අනාගතයේදී ඇති වන දේශගුණ විපර්‍යාස බලපෑම්වලට ඔරොත්තු දෙමින්, ඊට එරෙහිව සටන් කිරීමට හැකියාව ලබා දිය යුතුය. මෙහිදී නව දැනුම, සංකල්ප සමඟ දරුවන්ට නව්‍යකරණය වෙමින් වැඩි දියුණු වීමට ඉඩ හසර ලබා දිය යුතුය. එවිට, ඉදිරියේදී අපෙන් පසු අපට වඩා හොඳ පරම්පරාවක් අතට රටේ අනාගතය අත්වන බවට විශ්වාසය තබා, රටේ හොඳ අනාගතයක් කෙරෙහි  අපට බලාපොරොත්තු තබා ගත හැක.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter