Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණික විපර්යාස හමුවේ නික්ම යෑමට සැරසෙන සමනලුන්!  

මල් පිපෙන ශාක සන්තතියේ ආගමනයත් සමග පරාග කාරකයන්ගේද අවශ්‍යතාවය  මිහිතලයට දැනුනි. එනම් සපුෂ්ප ශාක වලට තම වර්ගයා බෝ කර ගැනීමට පරාගනය නම් ක්‍රියාවලිය අතිශය වැදගත් වූ බැවිනි. පරාග කාරකයන් ලෙසින් සත්ව කාණ්ඩ 38ක් දායකත්වය දුන්නද වඩාත් සිත් ඇදගන්නා සුළු කොට්ඨාසය බවට පත්වුණේ සමනලුන්.  

සමනලුන්ගේ ආගමනය සපුෂ්ප ශාක වල ආගමනයත් සමඟ එනම් අදින් වසර 40 කට පමණ පෙර සිදු වූ බවට පිළිගැනේ. ඉතා සංවේදී සත්ත්ව කාණ්ඩයක් වන මොවුන් දර්ශීය කාණ්ඩයක් ලෙස ද හඳුන්වයි. එනම් පරිසර පද්ධතියක ගුණාත්මය තීරණය කිරීමට මොවුන් භාවිතා කරයි. දේශගුණික විපර්යාස හේතුවෙන් අන්තරායට පත්වන පරිසර පද්ධතියක් පිළිබඳ හෝ ප්‍රදේශයක් හෝ රටක් පිළිබඳ අපට මුලින්ම අනතුරු හඟවන්නේ සමනල් ගහණයයි.

සමනලුන් පිළිබඳ දශක ගණනාවක් පර්යේෂණ සිදුකළ සමණල්  විශේෂඥ හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා සමග අප දේශගුණ විපර්යාසයේ සමනලුන්ට ඇති බලපෑම ගැන සාකච්චා කළෙමු. එහිදී ප්‍රධාන වශයෙන් වර්ෂාපතන රටාවේ වෙනස්වීම සහ උෂ්ණත්ව වෙනස්වීම් දේශගුණික විපර්යාස හමුවේ සමනලුන්ට ඇති ප්‍රධානතම ගැටළු ද්විත්වය ලෙස ඔහු අපට පැහැදිලි කළේය.  

ලංකාව ඝර්ම කලාපයේ පිහිටි රටක් බැවින් සමනලුන් සෑම භූ විෂමතා කලාපයකම වාගේ දැක ගැනීමට පුළුවන්. වියළි කලාපය, තෙත් කලාපය, අතරමැදි කලාපය යන ප්‍රධාන කලාප වලට අමතරව මධ්‍යම කඳුකරයෙත්, දිවයිනේ උතුරු ප්‍රදේශයෙත් අඩු වැඩි වශයෙන් සමනලුන් දැක ගැනීමට පුළුවන්. මෙම සමනල්  ගහනයට දේශගුණයෙහි බලපෑම මෙතැන් සිට සලකා බලමු.  

දේශගුණික විපර්යාස හමුවේ දීර්ඝ වන නියං සමය සමනලුන්ට බලපාන අයුරු

දීර්ඝ වන නියං සමයෙහි බලපෑම සාමාන්‍යයෙන්  ඇති වනුයේ වියලි කලාපයටයි, සමණල්  විශේෂඥ හිමේෂ් දිල්රුවන් මහතා මෙලෙස විස්තර කිරීම ආරම්භ කළා. වියළි මෙන්ම කෙටි නියං කාල සීමාවන් මෙම කලාපයේ සුලභ කරුණක්. වාර්ෂික වර්ෂාපතනය වසරකට මිලි මීටර් 1750 ට වඩා අඩු මට්ටමක පැවතීයි. වියළි කලාපයේ දක්නට ලැබෙන්නේ හිරු එළියට ප්‍රිය කරන  සමනල් විශේෂයි. ඒ අතරට  ලංකාවට ආවේණික සමනල්  විශේෂ කිහිපයක් ද ඇතුලත් බව සමණල්  විශේෂඥ, හිමේෂ් ජයසිංහ මහතා පැවසුවා. ඒ අතරම වියලි කලාපිය දේශගුණයට සමනලුන්ගේ අනුහුරු වීම සහ එම රටාවට දේශගුණික විපර්යාස බාධා කරන අයුරු ද අප සාකච්චාවට බදුන් කළා.

ඔක්තෝම්බර් මාසයේ අන්තර්මෝසම්ත් සමග වියළි කලාපය වැස්සට මුලපුරනවා. මේ ආශිර්වාදාත්මක කෙටි වැස්ස අවැසි වනුයේ පැළෑටි වලටයි. විශේෂයෙන් සමනලුන් බහුලව භාවිතා කරන තෝර කුලයේ  පැළෑටි දළු ලන්නට මෙම කෙටි වැස්ස ප්‍රමාණවත්.  පෙති තෝර,   පැනිතෝර වැනි කෙටි වැස්සෙන් දළුලන තෝර ගස් මත කහවන් පිමි සැරියා(Lemon Emigrant),  ලපවන් පිම් සැරියා (Mottled  Emigrant) වැනි සමනළුන් බිත්තර දමනවා. දේශගුණික විපර්යාස හමුවේ කඩින් කඩ වැසි ලැබීම මගින් බීජ පැළ වුණත් නිසි පරිදි ජලය නොලැබීම නිසා පැළෑටි වල අඛණ්ඩ වර්ධනය අඩාල වෙනවා. මේ නිසා බිත්තර දමන තැන් ඇහිරී යනවා.

වියලි කලාපයට නොවැම්බර් දෙසැම්බර් මෝසම් වර්ෂාවත් සමඟ ක්‍රමයෙන්  මහ වැසි ලැබීමට පටන් ගන්නවා. විශාල ගස් හෙවත් වෘක්ෂයෝ දළු ලන්නට පටන්ගන්නේ මේ සමයේයි.  විශාල ශාක මත, වීර, ලුණුවරණ වැනි ගස් මත බිජුලන සමනලුන් එතැන් සිට,  සිය වර්ගය බෝ කිරීමට පටන් ගන්නවා. එනම් ශ්‍රී ලංකා සුදනා (Appias galene) වැනි  Albatross වර්ගයේ සමනලුන් පෙබරවාරි මාසයේදී වෙනත් ප්‍රදේශ හෝ කලාප කරා සංක්‍රමණය සිදුකරන බැවින් කලට වේලාවට වැසි ලැබීම ඉතා අත්‍යවශ්‍ය සාධකයක්. මෙලෙස සියල්ල එකදු රටාවකට සිදුවනවා.  නමුත් අවාසනාවට කරුණ නම් මෙම පාරිසරික රිද්මය පවත්වා ගැනීමට දේශගුණික විපර්යාස බාධා කිරීමයි. කලට වේලාවට වැසි නොලැබීම සේම වැස්ස කඩින් කඩ වැසි වලට පමණක් සීමා කරමින් ද නියඟ කාලය ඉතා දීර්ඝ නියග බවට පෙරළමින් ද  දේශගුණික විපර්යාස සමනලුන්ගේ ජිවන චක්‍රය පවත්වාගෙන යාමට බාධා ඇති කරනවා.

නිසි කලට වැසි නොලැබීමෙන් නොවැම්බර් දෙසැම්බර් මාසයන්හි බිජුලන සමනලුන්ට බිත්තර දැමීම  ප්‍රමාද කිරීමට සිදුවෙනවා මෙලෙස ප්‍රමාද කිරීමෙන්, ආහාරවලට ඇති තරගයෙන් මිදීම සහ ගැලපෙන කාලගුණික තත්ත්ව ඇති පෙදෙස් කරා සංක්‍රමණය කරන සමනලුන්ට නිසි කාලයට සංක්‍රමණය/පර්යටනය කිරීමට නොහැකි වෙනවා. සමනලයින් සංක්‍රමණය කරනුයේ ආහාර වලට පවතින තරගයෙන් මිදීමට හෝ අහිතකර කාලගුණික තත්ත්ව වලින් අත්  මිදීමටයි. එබැවින් සංක්‍රමණය සිදුකර ගනීමට නොහැකි වීමෙන් සමනලුන්ට සිය දිවි ගමනට සමු දීමට සිදු වෙනවා.

මේ සම්බන්දව අප සැමට අත්දැකීම් ඇති ප්‍රයෝගික කාරණයක් අප මෙලෙස ඔබට සමිප කරන්නම්. මීට දශකයකට හෝ දෙකකට පෙර සිරිපාදේ වඳින්න යන සමනල්ලු  ඇස නොගැටුණු කෙනෙක් මේ දිවයිනේ නැති තරම්. කහ, සුදු පැහැති සමනලුන් සමූහ වශයෙන් පියාසරණ අයුරු ඒ කාලයේ  ඉතා සුලභ දසුනක්. නමුත් ඒ සුන්දර දසුන දැන්  ඔබට දකින්නට හැකි ද?  

සමනල් ගහනයට මහා වැසි වල බලපෑම

මහ වැසි වල බලපෑම ප්‍රධාන වශයෙන් තිබෙනුයේ තෙත් කලාපයටයි. තෙත් කලාපය සමනල විශේෂ බහුල මෙන්ම ආවේනික විශේෂද බහුල කලාපය ලෙස පිළිගැනේ. නිරිත දිග මෝසමෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා තෙත් කලාපයට වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2500 ඉක්මවා යනවා. මෙම කාලයට සමනලුන් යම් තරමකට අඩු වුවත් දුර්ලභ වැසි වනාන්තර  වාසී  සමනල් විශේෂ අඩුවකින් තොරව දක්නට ලැබෙන බවයි හිමේෂ් මහතා අප සමග පැවසුවේ. දේශගුණ විපර්යාස හමුවේ සාමාන්‍ය වර්ෂාව ඉක්මවා යන මහා වැසි ඇති වනවා. ගංවතුර තත්ත්ව ඇති වෙනවා. මේ නිසා සමනලුන්ගේ බිත්තර විනාශ වීම සිදු වෙනවා. මේ නිසා සමනල් ගහනය අඩු වෙනවා.

මහා වැසි වල තවත් බලපෑමක් නම්, සමනලුන්ට තම ක්‍රියාකාරකම් සිදු කිරිමට පිටතට පැමිණීමට නොහැකි වීමයි.  මොවුන් චලතාපී සතුන්. එනම්, ඔවුනට අපිට මෙන් පරිසරයේ උෂ්ණත්වය අනුව දේහයේ උෂ්ණත්වය වෙනස් කරගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසාවෙන් ඔවුන් හිරු එළියේ ආධාරයෙන් දේහ උෂ්ණත්වය නිසි ලෙස තබා ගැනීමට වෙහෙසෙනවා. මහවැසි හේතුවෙන් මෙම ක්‍රියාවලිය අඩපන වෙනවා. මේ ලෙසයි තෙත් කලාපයේ මහා වැසි සමනලුන්ට බලපාන්නේ.

උෂ්ණත්වය ඉහල යාම සමනල් ගහනයට බලපාන අයුරු  

සමනල් විශේෂඥ, හිමේෂ් ජයසිංහ මහතාව සදහන් කලේ, උෂ්ණත්වයෙහි බලපෑම අධ්‍යයනයට දීර්ඝ කාලයක් පර්යේෂණ සිදු කළ යුතු බැවින් මෙය පර්යේෂණාත්මක ලෙස තවම ඔප්පු කර නැති වුවත් කදුකර සමනල විශේෂ, එළ ගොමු නීලයා (White Hedge Blue), රතු සෙනෙවියා (Red Admiral), විචිත්‍ර සෙනෙවියා (Painted Lady), White Tipped Line Blue, Spindasis greeni වැනි සමනලුන්ට මෙම තත්වය බලපන් බව කිව හැකි බවයි. ඒ මන්ද යත්, එළ ගොමු නීලයා (White Hedge Blue) වැනි සමනලුන් 2000 වසරේදීද එම ප්‍රදේශ වල ඉතා සුලබව දක්නට ලැබුනද අද දැකිය හැක්කේ ඉතාම කලාතුරකින් වීමයි. ඔහු තවදුරටත් පැවසුවේ කදුකර විශේෂ කිහිපයක්ම මිට  වසර 10කට පමණ පෙර දුටු ස්ථාන වල දැන් දක්නට නොමැති බවයි. අඩු උෂ්ණත්ව අනුක්‍රමණයන් වෙත ගමන් කිරීමේ හැකියාවක් එම ශීතල පරිසරවල සිටින සමනලුන්ට නොහැකි බැවින් ඔවුන්  වඩාත් බලපෑමට ලක්වන බව නිගමනය කල හැකිය.

දේශගුණික විපර්යාස සමනලයින්ගේ ධාරක ශාක වලට බලපාන අයුරු

වර්ෂාපතන රටාව වෙනස් වීම මෙන්ම උෂ්ණත්වය ඉහළ යාමට ද බොහෝ ශාක වලට අනතුරක් නමුත් සමහර ශාක මෙයට හොදින් අනුවර්තනය වෙනවා පමණක් නොවෙයි ඔවුන් වේගයෙන් ව්‍යාප්ත වීමට ද පටන් ගන්නවා. මෙවැනි ශාක ආක්‍රමණශීලි ශාක ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ විට, ලංකාවට හඳුන්වාදුන් හෝ වෙනත් රටකින් රැගෙන ආ ශාක මෙලෙස ආක්‍රමණශීලී ලෙස හැසිරෙනවා. සමනලුන්  බිත්තර දමන කුඩා පැළෑටි සහ ශාක අභිබවා මෙම ආක්‍රමණශීලි ශාක  වර්ධනය වෙනවා. ධාරක ශාක අහිමිවීමෙන් ඔවුන්ට   තම වර්ගයා බෝ කිරීමට නොහැකි විමේ දැඩි තර්ජනයකට පත් වෙනවා. මෙලෙස ආක්‍රමණශීලීව හැසිරෙන ශාක කීපයක් පිළිබඳව දැන් අපි  සලකා බලමු.

ගිනි තන, Panicum maximum, වියළි හා අතරමැදි මෙනම ලංකාවේ බොහෝ ප්‍රදේශවල බහුලව පැතිරී ඇති අතර ධාරක ශාක මර්ධනය කරමින් සමනලුන්ගේ ගහනයට බරපතල ලෙස බලපා ඇත.

පොඩිසිංඤොමරං දකුණු ඇමරිකාවෙන් හඳුන්වා දුන් ශාකයක් වන අතර පහත රට කලාපයේ පැතිරෙමෙන් ධාරක ශාක මත බලපෑම් කරයි.

කලපු අන්දර, Prosopis juliflora දකුණු අමෙරිකාවේ ශාකයක් වන අතර  ශුෂ්ක කලාපයේ, දැන් උතුරේ වෙන්කාලි කුරුළු අභයභූමිය ආක්‍රමණය කරමින් ද,  දකුණේ බුන්දල ජාතික වනෝද්‍යානයේ ආක්‍රමණය කරමින් ද, විශාල තර්ජනයක් වී ඇත. මෙම ශාක ඝනව වැඩීමෙන් පැළෑටි වලට සෙවන වීමෙන් ධාරක ශාක විනාශ වී යයි. එසේම මල් පැණි ප්‍රභවයන් අහිමි වීම නිසා Spindasis elima, S. ictis, Colotis danae, C. aurora, C. Fausta සහ Azanus ubaldus ඇතුළු ශුෂ්ක කලාපීය සමනලුන් බොහෝ ප්‍රමාණයක් මේ නිසා අවතැන් වී ඇත.

දකුණු ඇමරිකාවෙන් හඳුන්වා දුන් ගදපාන Lantana camara සෑම කලාපයකම පාහේ වැඩෙන වේගවත් ආක්‍රමණික ශාකයකි. එය බොහෝ සමනලුන් විශේෂ සඳහා හොද පැණි ප්‍රභවයක් වෙමින් පරාගනය හොදින් සිදුකර ගනිමින් ව්‍යාප්ත වෙයි. මෙය ධාරක ශාක, ආහාර පැළෑටි සහ මල් පැණි ප්‍රභවයන්, විශේෂයෙන් තණබිම් ආක්‍රමණය කරමින් තර්ජනයක් වී ඇත. අප මේ පිළිබඳ සමනල විශේෂඥ හිමෙෂ්  ජයසිංහයන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ  ගඳපාන ශාකය හැසිරීම බොහෝ ආක්‍රමණශීලී ශාක යොදා ගන්නා උපායක් බවත් මෙලෙස පරාගණය හොඳින් සිදු කර ගැනීමෙන් ඔවුන් පරිසරයේ  හොඳින් ව්‍යාප්ත වන බවත්ය. තවද ලංකාවේ මල් පිපෙන ශාක බොහොමයක් පවතින බැවින් ගදපාන වැනි ශාක මර්ධනය කර දැමීම සමනලුන්ට වාසියක් මිසක අවාසියක් නොවන බව ඔහු තවදුරටත් අපත් සමග කියා සිටියා.

බොහෝ ආක්‍රමණශීලී ශාක දේශීය වෘක්ෂලතාදිය ආක්‍රමණය කිරීමෙන් සමනලුන්ට තර්ජනයක් වන බව මෙමගින් පැහැදිලි වනවා.  සමනලුන්ට මුල් අවධියේදී එනම් කීට අවදියේදී  ධාරක ශාක හෙවත් ආහාර පැල අවශ්‍ය වනවා.  ශ්‍රී ලංකාවේ හදුනාගත් සියලුම සමනල කීටයන් එක් විශේෂයක් හැර (Spalgis epeus) ශාක මත යැපෙනවා. වැඩිදුර විස්තර මෙතනින් කියවන්න.  සමනල විශේෂ 207 ක් සඳහා ශාක විශේෂ 480 ක් නිවහන වනවා. එබැවින්, මෙම ධාරක ශාක පිහිටි වනාන්තර ආරක්ෂා කිරිඉමෙන් හා සමනලුන්ගේ යැපුම් ශාක සහ  මල් පැණි බොන ශාක වැවීමෙන් මොවුන් සංරක්ෂණය කල හැකියි. අප එදිනෙදා ප්‍රයෝජනයට ගැනෙන කරපිංචා, සප්සද, දෙහි,බෙලි, කතුරුමුරුංගා, රත්මල්, වැනි ඖෂධීය ශාක බොහොමයක් ඊට ඇතුලත් වෙනවා.

සාරාංශය

දේශගුණ විපර්යාස අබිමුවේ ඇතිවන දීර්ඝ වන නියං කාල මෙන්ම මහවැසි ද සමනලුන්ගේ ජිවන චක්‍රය පවත්වා ගැනීමට විවිධ අයුරින් බාධා ඇති කරයි. එතකින්දු නොනැවතී සමනලුන්ගේ නවාතැන්පල වල් වන ශාක ප්‍රජාවටත් තර්ජනයක් වෙයි. තවද, සමනල පර්යේෂක, හිමේෂ් මහතා සදහන් කලේ, දේශගුණ විපර්යාස තෙත් කලාපයට සාපේක්ෂව වියලි කලාපයේ සමනල් ගහනය අඩුවීම කෙරෙහි තරමක් වැඩි වශයෙන් බලපාන බවයි. 

එසේම, කෘමි නාශක භාවිතය මෙන්ම අහිතකර වායු විමෝචනයත්  සමනල් ගහණය ශීඝ්‍රයෙන් අඩු වීමට හේතුවක්. මෙම කාරණා දේශගුණික විපර්යාස ඇති කිරීම කෙරෙහිද බලපාන සාධක බැවින් මේ දේවල් අවම කිරීම දේශගුණික විපර්යාස අවම කිරීමට මෙන්ම සමනල් ගහනය පවත්වා ගැනීමටද රුකුලක් වනු නොඅනුමානයි. අපට මෙම ගවේෂණය උදෙසා දායකත්වය සැපයු සමනල විශේෂඥ, හිමේෂ් දිල්රුවන් ජයසිංහ  මහතා සදහන් කලේ මෙහි අවශ්‍යතාවය සලකා  රාජ්‍ය මට්ටමින් මැදිහත් වීමක් ලෙස සමනල සංරක්ෂණය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් 2014 වසරේදී ඉදිරිපත් කල බවයි. තවද දේශගුණ විපර්යාස හමුවේ සමනලුන්ට ඇති තර්ජනය සුලුපටුව නොතැකිය යුත්තේ එය මිනිසා ඇතුළු සමස්ථ ජීවි ප්‍රජාවගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දැඩි තර්ජනයක් ඇති කල හැකි බැවිනි.  

Silila Sandawala
Silila Sandawala
Articles: 8