Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

ඔබත් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන මානසික පීඩාවලින් පෙලෙනවාද?

මෙය ඔබට නුහුරු දෙයක් වන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවාද දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරාම මිනිස් වර්ගයා  දැන් මානසික පිඩා වලින් පෙලෙනවා. මිනිසා විසින්ම තීව්‍ර කරගත් දේශගුණික විපර්යාස මානවයාගේ මානසික මට්ටම වෙනස් කිරීමට තරම් දරුණු වෙලා තියෙනවා.  අපි මෙම ලිපිය ඔස්සේ  දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන මානසික පීඩාවන් පිළිබද පුළුල්ව සාකච්චා කෙරෙනවා. මේ සදහා මනෝවිද්‍යා උපදේශක මිනෝලි පෙරේරා මහත්මියගේ සහයද අප ලබා ගත්තා.

ඒ අනුව මෙම ලිපිය ඔස්සේ  ආවරණය වන ක්ෂේත්‍ර වනුයේ,

  • දේශගුණික සාංකාව/කනස්සල්ල යන්නෙහි අර්ථය
  • දේශගුණික සාංකාව හේතුවෙන් ඇතිවන අනෙකුත් මානසික ආබාධ
  • දේශගුනික විපර්යාසය නිසා ඇතිවන මානසික අබාධ පිළිබද නවතම පර්යේෂණ
  • දේශගුණික සාංකාව ඇතුළු මානසික ආබාධ  වළක්වා ගන්නා ආකාරය

දේශගුණික සාංකාව

දේශගුණික සාංකාව, හෝ පාරිසරික සාංකාව, දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ කනස්සල්ලට සම්බන්ධ දුක්ඛිත තත්ත්වයක්. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑමට වැඩි අවදානමක් ඇති රටක මෙය සාකච්ඡා කළ යුතු වැදගත් මාතෘකාවක්.

එය මානසික රෝගයක් නොවේ, නමුත් සාංකාව මුල් බැස ඇත්තේ අපගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය තුළ වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ මොළය ඉදිරි අනතුරු පිළිබඳව අපව දැනුවත් කරයි. භෞතික බලපෑම් වලට අමතරව, දේශගුණික විපර්යාස සැලකිය යුතු ලෙස මානසික සෞඛ්‍යයට  බලපායි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, මානසික සෞඛ්‍යය නිර්වචනය කරන්නේ “සෑම පුද්ගලයකුටම ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් අවබෝධ කර ගනිමින්, ජීවිතයේ ආතතීන්ට සාර්ථකව මුහුණ දිය හැකි, ඵලදායී ලෙස වැඩ කළ හැකි සහ ප්‍රජාවට උපකාර කළ හැකි යහ පැවැත්මේ තත්වයක්” ලෙසයි. නමුත් මෙලෙස කටයුතු කිරීමට දේශගුණික විපර්යාස බලපෑම් කරන බව නම් නොරහසක්.  එසේ කියනුයේ අප මාසයකට වතාවක් හෝ දේශගුණික විපර්යාස නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු, දේපල හානි, ජිවිත හානි, අර්බුදකාරී තත්ත්ව වලට පුද්ගලයන් ලෙස මුහුන දෙනවා වගේම ඒ පිළිබද නිරන්තර පුවත් අසන්නට ලැබෙන නිසාවෙන්.

ආන්තික කාලගුණය දේශගුණික කනස්සල්ලට බලපාන්නේ කෙසේද?

දේශගුණික විපර්යාස ස්වාභාවික සංසිද්ධියක් වන නමුත් මිනිසා විසින් ඇති කරන ලද කාර්මීකරණය සහ වේගවත්, තිරසාර නොවන සංවර්ධනය එය හානිකර තත්වයකට පෙරලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආන්තික කාලගුණික වෙනස්වීම්, මුහුදු මට්ටම ඉහළ යාම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ වෙනත් දරුණු බලපෑම් ඇති වේනව.

වේගවත් දේශගුණික විපර්යාස ප්‍රධාන වශයෙන් දිගුකාලීන නියඟ, වෙනස්වන වර්ෂාපතන රටාව, හදිසි ගංවතුර සහ විවිධ ස්වභාවික විපත් වැනි ආන්තික කාලගුණික සිදුවීම් ඇති කරයි. මනෝවිද්‍යා උපදේශක මිනෝලි පෙරේරා මහත්මිය පැවසන පරිදි  “මෙම සිදුවීම් නිසා ඇති වන අවිනිශ්චිතභාවය මිනිසුන් අතර කනස්සල්ලට/ සංකාවට  හේතු වෙන්න පුළුවන්,”.

මෙම කනස්සලු තත්ත්ව  තීව්‍ර වීමෙන් ඇති වන තත්වය “දැඩි සංකා තත්ත්ව” ලෙස හදුන්වන්නට පුලුවන්.  දැඩි සංකාවේ රෝග ලක්ෂණ වන්නේ නොසන්සුන්තාවය, අක්‍රමවත් නින්ද, හිසරදය, මාංශ පේශි කැක්කුම, බඩේ කැක්කුම හෝ වෙනත් වේදනාවන් ය. මීට අමතරව, දැඩි සංකාව  ඇති රෝගීන්ට ඔවුන්ගේ හැඟීම් පාලනය කිරීමට අපහසු වේ, මෙම තත්වය යම් තරමක් දරුණු තත්වයක් ලෙස හදුන්වන්න පුළුවන්.

පුද්ගලයාට සහ සමාජයට අහිතකර ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා දැඩි කාංසාව සායනිකව ප්‍රතිකාර කළ යුතුය. නිසි ලෙස ප්‍රතිකාර නොකළහොත් එය ආබාධිතභාවය වැඩි කිරීමටත්, එම පුද්ගලයාගෙන් ඵලදායිතාවයට තුඩු දෙන කාර්යයේ කාර්යක්ෂමතාව අඩුවීමටත්, මානසික අවපීඩනයට ගොදුරු වීමේ වැඩි අවදානමකටත් හේතු විය හැකියි.

දේශගුණික විපර්යාසවල බලපෑම් පුද්ගලයෙකුගේ මනෝවිද්‍යාවට බලපාන්නේ කෙසේද?

දේශගුණය ආශ්‍රිත හෝ කාලගුණය ආශ්‍රිත ව්‍යසනවලට නිරාවරණය වන බොහෝ අය ආතතිය අත්විඳින අතර ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට පිරිහෙමින් පවතියි. මිනිසුන්ගේ සාමාන්‍ය හැසිරීම් රටා නිරන්තරයෙන් ආන්තික කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙන විට දැඩි ලෙස වෙනස් විය හැකිය. මනෝවිද්‍යා උපදේශක මිනෝලි පෙරේරා මහත්මිය අප සමග  ප්‍රකාශ කළේ ශාරීරික සෞඛ්‍යයට වඩා මානසික සෞඛ්‍ය ජිවිතයට  වඩා සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි.. “යම්කිසි පීඩාවකදී ඇතිවන භෞතික හානි මැනිය හැකි නමුත් මානසික හානි මැනිය නොහැකියි. එසේම, කායික රෝගවලට ක්ෂණික ව ප්‍රතිකාර කළ හැකි නමුත් මානසික රෝග වලට එසේ ප්‍රතිකාර කල නොහැකියි. එබැවින් මානසික බිඳවැටීම් වඩාත් භයානක බව ය තවදුරටත් ප්‍රකාශ කලා.

පුද්ගලයන්ගේ ආපදා සහ ඉවසීමේ හැකියාව අනුව, මානසික ආබාධවල තත්ත්වය වෙනස් විය හැකිය. එය සංකාවකින් ආරම්භ වී පශ්චාත් කම්පන ආතති ආබාධ (PTSD) දක්වා වර්ධනය විය හැකිය.

“ජීවිත හානිවලට තුඩු දෙන ව්‍යසනයන්  සිදු වූ විට, එය කම්පනයක් දක්වා වර්ධනය විය හැකියි.  මෙනිසා ඇතිවන මානසික බිඳවැටීම බරපතලයි. මෙම සංකාවේ අවධිය “වෙන්වීමේ සංකාව” ලෙස හඳුන්වනු ලබයි. සති දෙකක් ඇතුළත ප්‍රතිකාර නොකළහොත් එය මානසික අවපීඩනයට හේතු විය හැකි බවත් මිනෝලි පෙරේරා මහත්මිය අප සමග පැවසුවාය.

මානසික අවපීඩනය ලක්ෂණ වනුයේ  නොනැසී පවතින දුක සහ කලින් කැමැත්තෙන් කල  හෝ විනෝදජනක ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුවක් දැන්නොමැතිකමයි. තෙහෙට්ටුව, දුර්වල විම  සහ නින්ද නොමැතිකම පොදු රෝග ලක්ෂණ වේ. වැඩි විස්තර මෙතැනින් කියවිය හැක, සංරක්ෂණය කර ඇත.

මානසික අවපීඩනයට(P.T.S.D.) වයස් භේදයක් නැත. එය ජීවිතයේ සෑම තරාතිරමකම සහ වයස් කාණ්ඩවල පුද්ගලයන්ට බලපායි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පිරිමින්ට වඩා කාන්තාවන් මානසික අවපීඩනයට ගොදුරු වේ. එය දරුවන්ගේ කාර්ය සාධනය, කම්කරුවන්ගේ ඵලදායිතාව සහ ගොඩනඟන ලද සබඳතා, රටක සංවර්ධනය අඩුවීමට හේතු වේ.

 සමහර පුද්ගලයින් ව්‍යසනයකින් පසු කම්පනය සහ බිය අත්විඳිති. මානසික අවපීඩනයට ගොදුරු වුවන්ගේ  ව්යසනයෙන් පසුව වුවද එම හැඟීම් දිගු කාලයක් පැවතිය හැකියි.

මනෝවිද්‍යා උපදේශිකා මිනෝලි පෙරේරා මහත්මිය පැවසුවේ “මෙවැනි පුද්ගලයන්ට කාලයත් සමඟ තමන් මුහුණ දුන් නරක අත්දැකීම් සිහිපත් වෙන බවයි. උදාහරණයක් ලෙස, හදිසි ගංවතුරකදී පුද්ගලයෙකුට නරක අත්දැකීමක් ඇති සිතමු. PTSD රෝග තත්වය හමුවේ,  එම නරක අත්දැකීම නැවත නැවත සිහිපත් වීමක් සිදුවේ. ගංවතුර හා සම්බන්ද පුංචි සිදුවිමක් එනම්, කුඩයක්, ගෙරවිමක්, පොඩි වැස්සක් දකින විට, කලින් ගංවතුර  නිසා සිදු වූ නරක අත්දැකීම සිහිවී කම්පන සහගත අත්දැකීම නැවත පැමිණෙනු ඇත. එවිට මිනිසුන් කම්පනයට හෝ බියට පත් ව එය ස්වයං විනාශකාරී හැසිරීම් දක්වා වර්ධනය වීමට හේතු වේ. මෙම පුද්ගලයින්ට නිදාගැනීමේ ගැටළු සහ යමක් කෙරෙහි අවධානය පවත්වා ගැනීමේ, යමකට යොමු කිරීමේ  ගැටළු වලින් පෙලෙයි.

අනෙක් අතට, එවැනි පුද්ගලයින් තුළ ආක්‍රමණශීලී හැසිරීම් වර්ධනය වන විට, එය තවදුරටත් ප්‍රචණ්ඩකාරී විය හැකියි. කෙසේ වෙතත්, බොහෝ අය කාලයත් සමඟ සුවය ලබන අතර, මෙයට නිරාවරණය වන සැලකිය යුතු ප්‍රතිශතයක් නිදන්ගත මානසික අක්‍රමිකතා වර්ධනය වේ. එය හැසිරීම් රටා වෙනස් කිරීමට හේතු වන අසාමාන්‍ය මානසික ක්‍රියාකාරිත්වයකි.

පාරිසරික ශෝකය

පාරිසරික ශෝකය යනු නිවසක්, පරිසර පද්ධතියක් හෝ ප්‍රජාවක් වැනි පුද්ගලිකව වැදගත් ස්ථානයක් භෞතිකව අහිමි වීම හා සම්බන්ධ පාරිසරික වෙනස්වීම් සඳහා චිත්තවේගීය ප්‍රතිචාරයකි. ආදිවාසී ප්‍රජාවන් මෙයට බොහෝ විට ගෝලීය වශයෙන් මුහුණ දෙයි. මේ තත්ත්වය පරම්පරා ගණනාවක් තිස්සේ පවතිනවා.

ආන්තික කාලගුණික රටා නිසා මානසික රෝග ඇතිවීමේ අවදානම

අප කවුරුත් දන්නා පරිදි, තාප ආතතිය දැන් ලොව පුරා බහුලව දක්නට ලැබේ. සමහර පුද්ගලයන්ට, වැඩිහිටියන් මෙන් නිර්දේශිත ඖෂධ ලබා ගැනීම, ඔවුන්ගේ ශරීරයේ උෂ්ණත්වය නියාමනය කිරීමට අපහසු වේ. අධික උෂ්ණත්වය වැඩිවීම මානසික රෝගීන් අතර, විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයින් අතර කායික රෝග මෙන්ම  මරණ අවදානම ද වැඩි කරයි.

දේශගුණික විපර්යාස බලපෑම් පිළිබඳ අනාවැකි මගින් අවුලුවන සුළු පුවත්ද මානසික තත්වයට බලපෑම් කරයි.. දේශගුණික විපර්යාස නිසා ඇති වන අවිනිශ්චිත අනාගතය පිළිබඳ බියක් වර්ධනය වන පුද්ගලයින් මෙයින් පීඩා විඳිති.

එසේම කාලගුණික විපර්යාස හේතුවෙන් ගොවීන්ගේ සියදිවි නසාගැනීම් බොහෝමයක් වාර්තා වී ඇත්තේ දුර්වල අස්වැන්නක් හෝ විනාශ වූ අස්වැන්නක් හේතුවෙනි. කෘෂිකර්මාන්තයට දේශගුණික විපර්යාසවල බලපෑම් ගැන වැඩිදුර කියවන්න.

දේශගුණික විපර්යාස හේතුවෙන් සංක්‍රමණය වීම ආතතියට හේතු වන අයුරු

දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් මිනිසුන් සංක්‍රමණය වන විට සමුච්චිත ආතතිය වර්ධනය වේ. පුද්ගලයන් නව සංස්කෘතියකට අනුගත විය යුතු විට ඇතිවන ගැටුම් හේතුවෙන් පීඩනය වර්ධනය වේ. භාෂා බාධක ද පශ්චාත් කම්පන ආතති ආබාධ (PTSD) සහ සංකාව හා සම්බන්ධ ආතති ඇති වීම කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය. NCBI පර්යේෂණ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ ස්වදේශිකයන් සමඟ ඇති වෙනස්කම් සහ නීත්‍යානුකූල තත්ත්වය ලබා ගැනීම හා සම්බන්ධ ගැටලු මානසික යහපැවැත්ම, සතුට සහ ජීවිත තෘප්තිය පහළ මට්ටමකට ගෙන යන අතර අවසානයේ මානසික අවපීඩනයකින් අවසන් වන බවයි.

දේශගුණික සංකාව පිළිබඳ මෑත කාලීන පර්යේෂණ සොයාගැනීම්

2020 දී, Friends of the Earth රාජ්‍ය නොවන සංවිධානය සිදුකරන ලද පරීක්ෂණයකින් අනාවරණය වුවේ ගෝලීය වශයෙන්  යෞවනයන්ගෙන් තුනෙන් දෙකකට වඩා දේශගුණික කාංසාව අත්විඳින බවයි. සමීක්‍ෂණය සිදුකලේ අවුරුදු 18-24 අතර  පිරිස අතරයි.

දේශගුණික කනස්සල්ලට වැඩි අවදානමක් ඇත්තේ කවුද?

විශේෂිත පුද්ගලයින්/ කණ්ඩායම් පීඩාවට සහ අනෙකුත් අහිතකර මානසික සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අතර, දේශගුණය ආශ්‍රිත ව්‍යසනවලට නිතර නිරාවරණය පිරිස් මේ අතර ප්‍රධාන වේ. මෙම කණ්ඩායම්වලට ළමුන්, වැඩිහිටියන්, කාන්තාවන් (විශේෂයෙන් ගැබිනි සහ පශ්චාත් ප්‍රසව කාන්තාවන්), කලින් පැවති මානසික රෝග ඇති පුද්ගලයින්, ආර්ථික වශයෙන් අවාසි සහගත, නිවාස නොමැති අය ආදීන්  ඇතුළත් වේ. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් මානසික ආබාධවලට වයස් සීමාවක් නොමැති අතර ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම වේලාවක බලපෑම් කළ හැකිය.

ඔවුන්ගේ ජීවනෝපාය සඳහා ස්වභාවික පරිසරය මත යැපෙන ප්‍රජාවන් (ගොවීන් සහ ධීවරයින් වැනි) දේශගුණික කනස්සල්ලට වැඩි අවදානමක් ඇත. මීට අමතරව, විශේෂිත දේශගුණික විපර්යාස සිදුවීම්වලට වඩාත් ගොදුරු විය හැකි ප්රදේශ වල ජීවත් වන ජනතාව ද අවදානමට ලක්ව ඇත.

කෘෂිකාර්මික අංශයට දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම පිළිබඳ අපගේ ලිපිය කියවන්න. දේශගුණික විපර්යාසයේ දැඩි බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගොවීන් මුහුණ දෙන දේ එහි ඇතුළත් වේ.

දේශගුණික කනස්සල්ලෙන් මිදීමට අනුගමනය කළ යුතු පියවර මොනවාද?

  • නිවැරදි තොරතුරු මත පමණක් විශ්වාසය රැදවීම

වැරදි තොරතුරු මානසික රෝග ජය ගැනීමට සැලකිය යුතු බාධාවක් වේ. මිථ්‍යාවන් පුද්ගලයන් අතර කම්පන, බිය සහ ආතතිය ඇති කළ හැකි බව මිනෝලි පෙරේරා මහත්මිය සඳහන් කළාය. ඔබට දේශගුණ විපර්යාස සම්බන්ද සත්‍ය තොරතුරු දන ගැනීමට අපගේ වෙබ් අඩවිය ඔස්සේ පලවන ලිපි සහ දැනුවත් කිරීම්   පරිශීලනය කල හැකිය.

  • විද්‍යාත්මක දත්ත මත රඳා සිටින්න

බොහෝ අය සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මත රඳා පවතින බැවින් දේශගුණික විපර්යාස පිළිබඳ මිථ්‍යාවන්ට වැඩි පිරිසක් රැවැටේ. නමුත් අවාසනාවකට මෙන්, මෙම වේදිකා බොහෝ විට විද්‍යාත්මක සොයාගැනීම් වලට වඩා ව්‍යාජ අනාවැකි විකාශනය කරයි. එබැවින් විද්‍යාත්මක පර්යේෂණ මගින් එවැනි තොරතුරු පැහැදිලි කිරීම ඉතා වැදගත් වේ.

  • භූගෝලීය දත්ත සහ මෙවලම් භාවිතය

භූගෝලීය දත්ත සහ මෙවලම් විශේෂිත ස්ථාන සහ පුද්ගලයින්ගේ කණ්ඩායම් හඳුනා ගැනීමට සහ ආරක්ෂා කිරීමට අවදානම් සාධක සහ සමාජ අවදානම් වඩාත් සංකීර්ණ සිතියම්ගත කිරීමට ඉඩ සලසයි.

  • දේශගුණය සම්බන්ධ පුවත් මත යැපීම අඩු කරන්න

මිනිසුන් නිතර ආපදා මත පදනම් වූ පුවත් මත යැපෙන විට එය මානසික රෝග දක්වා වර්ධනය විය හැක. එබැවින් විපතක් සිදු වූ විට සිතට බාධාවක් නම් නිතර ප්‍රවෘත්ති නැරඹීමෙන් වැළකිය යුතු බව මනෝවිද්‍යා උපදේශක මිනෝලි පෙරේරා ප්‍රකාශ කළාය.

  • භාවනාව, යෝග අභ්‍යාස කරන්න

භාවනාව අතරතුර, ඔබ ධනාත්මක ප්‍රකාශයන් කෙරෙහි අවධානය යොමු කරන අතර ඔබේ මනස පිරී ඇති සහ ආතතිය ඇති කළ හැකි අවුල් සහගත සිතුවිලි ප්‍රවාහය ඉවත් කරයි. මෙම ක්‍රියාවලිය කෙනෙකුගේ කායික හා චිත්තවේගීය යහපැවැත්ම වැඩි දියුණු කිරීමට සමත් වේ. එලෙසම, යෝගා අධි ක්‍රියාකාරී ස්නායු පද්ධතිය සමනය කරයි, මනස සහ ශරීරය ලිහිල් කරයි.

සාරාංශය

ආන්තික කාලගුණික සිදුවීම්, මුහුදු මට්ටම ඉහළ යාම, ගෝලීය උණුසුම යනාදිය, දේශගුණික විපර්යාස කනස්සල්ලට හේතු වේ. ආපදා වර්ගය සහ පුද්ගල ඉවසීමේ හැකියාව මත පදනම්ව, විවිධ පුද්ගලයන් තුළ මානසික සෞඛ්‍ය තත්ත්වය වෙනස් විය හැක. දේශගුණික සාංකාව /කනස්සල්ල යනු දේශගුණික විපර්යාසවල බලපෑම් හා  සම්බන්ධ වූ පීඩාවකි. එය කනස්සල්ලකින් ආරම්භ වී පශ්චාත් කම්පන ආතති ආබාධයක් දක්වා වර්ධනය විය හැකිය. එමනිසා, අප සැමවිටම නිවැරදි තොරතුරු සහ විද්‍යාත්මක දත්ත මත විශ්වාසය තැබිය යුතු අතර දේශගුණික කාංසාව තුරන් කිරීම සඳහා අපගේ ශරීරය සහ මනස සන්සුන් කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter