Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

ඇන්ටාක්ටිකාව අභ්‍යවකාශයට පෙනෙන අයුරු ද?( PHOTO)

දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවි වාසීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසය හා සමගම ආක්ටික් ඇන්ටාක්ටික් ධ්‍රැවාසන්න ප්‍රදේශ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ගෝලීය උණුසුම් වීම හා සමගාමිව එහි ඇති අයිස් දියව යාම ආරම්භව ඇති බවට පර්යේෂකයන් අනතුරු හගවා ඇති පසුබිමකයි. එම අයිස් දියව යාම නිසා මේ වන විටත් මුහුදු ජල මට්ටම යම් ප්‍රමාණයකට ඉහලගොස් ඇති අතර ඉදිරියේදී එම ප්‍රවණතාවය වැඩිවී කුඩා දූපත් රාජ්‍යයන් ලෝක සිතියමෙන් මැකී යාමේ අවදානමක්ද පවතිනවා. එවන් පසුබිමක් තුළ සමාජ ජාලා වල පැතිර ගිය සේයාරුවකින් දැක්වුණේ අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කරන විට ඇන්ටාක්ටිකාවේ දැවැන්ත අයිස් ලේයරවලින් සම්පුර්ණයෙන්ම පාහේ වැසී තිබෙන ආකාරයක් . මෙම සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

ඇන්ටාක්ටික් ප්‍රදේශය අභ්‍යවකාශයේ සිට බැලූ විට පෙනෙන අයුරු බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් මෙලෙස පළව තිබුණා.

Facebook | Archived

අප විසින් මේ පිලිබදව කරන ලද කරුණු විමසා බැලීම පහතින්.

එම ඡායාරූපය සැබවින්ම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවල දත්ත මත පදනම්ව නාසා ආයතනය විසින් සාදන ලද පරිගණක ජනනය කරන ලද නිදර්ශනයක් (CGI) බව අපට පෙනී ගියේය. එය NASA හි Scientific Visualization Studio වෙබ් අඩවියේ දැකිය හැකිය .වෙබ් අඩවියට පිවිසිය හැකියි මෙතනින්. Archived

ඉහත නිර්මාණය සිදුකර ඇත්තේ නාසා හි මෘදුකාංග ඉංජිනේරුවරියක් වන Cindy Starr  විසින් වන අතර එම පරිඝනකයෙන්  කරන ලද නිර්මාණය නාසා හි Scientific Visualization Studio වෙත 2007 වසරේදී එක්කර තිබෙනවා. ඉහතින් දක්වා ඇති නාසා වෙබ් අඩවි ලිපියේ දෙවන නිර්මාණය ,Crop and Rotate කිරීම මගින් සමාජ ජාලාවල වේගයෙන් පැතිර ඇති බව පැහැදිලියි.

Cropped
Rotated

මෙම රූපය මුලින් නිර්මාණය කර ඇත්තේ ආක්ටික් සහ ඇන්ටාක්ටික් කලාපයේ අයිස් ප්‍රමාණය පෙන්වීමට බව ද අපට නිරීක්ෂණය වුණා . 2005 සැප්තැම්බර් මාසයේ දී ඇන්ටාක්ටිකාවේ අයිස් වැස්ම උපරිම මට්ටමක පවතින විට ලබාගත් දත්ත පාදක කරගනිමින් රූපය නිර්මාණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ,බොහෝ දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කරන්නන් ( Climate Deniers )  ඡායාරූපයේ ඇති පුළුල් අයිස් වැස්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමක් සිදු නොවන බවත් දේශගුණික විපර්යාස සැබෑවක් නොවන බවත් යන ඔවුන්ගේ ප්‍රකාශ සාධාරණීකරණය කිරීම සදහා මෙම නිර්මාණය බහුලව යොදාගන්නවා.

නාසා හි දේශගුණ විද්‍යාඥයෙකු වන පීටර් එච්. ජේකබ්ස් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා ඇත්තේ  නාසා ආයතනය මගින් සාගර කලාප නිරීක්ෂණය සදහා යොදවන ලද චන්ද්‍රිකාවක් භාවිතයෙන් ,නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ මුහුදේ පවතින අයිස් ප්‍රමාණ ආශ්‍රිතව ලබාගත් දත්ත පදනම් කර ගනිමින් මෙම පරිඝනක ආශ්‍රිත රූපය නිර්මාණය කරන ලද බවයි. AP වාර්තාව කියවිය හැකියි මෙතනින්Archived 

 Climate Fact Checks ඔස්සේ අප  සවිස්තරාත්මක කරුණු පරීක්‍ෂණයක් ඇන්ටාක්ටිකාවේ අයිස් දියව යාම සම්බන්ධයෙන් සිදු  කර ඇති අතර, ඇන්ටාක්ටිකාව ඇත්ත වශයෙන්ම දියවෙමින් පවතින බවත් එය තරමක් තැතිගන්වන සුළු බවත් අප විසින් පවසා ඇත . එය සිදු වන්නේ මිනිසා විසින් උත්ප්‍රේරණය කරන ගෝලීය උණුසුම සහ ඒ හා බැදුණු  දේශගුණික විපර්යාස නිසා බව ද අපි ඔප්පු කර ඇත්තෙමු. ඇන්ටාක්ටිකා කලාපයේ අයිස් දියවීම ගෝලීය සාගර මට්ටම ඉහළ යාමට දායක වන බව ද සත්‍යයකි. 

Climate Fact Checks ලිපියේ කොටසක  සිංහල පරිවර්තනය පහතින්.

“ඇන්ටාක්ටික් ප්‍රදේශයේ මුහුදේ අයිස් ප්‍රමාණය අඩුවීමේ දිගුකාලීන ප්‍රවනතාවයක්  1979 සිට රැස් කරන ලද දත්ත අනුව  නොපෙන්වන නමුත් ඇන්ටාක්ටිකාවේ ගොඩබිම ප්‍රදේශවල  අයිස් වේගයෙන්  දියවෙමින් පවතින අතර එය මුහුදු මට්ටම ඉහළ යාමට ප්‍රධාන දායක වේ. නැඟෙනහිර ඇන්ටාක්ටිකාව ස්ථායී බවක් පෙනුනද මෑත කාලීන වාර්තා පෙන්වා දෙන්නේ බටහිර ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර වේගයෙන් දියවෙමින් පවතිනවා පමණක් නොව නැගෙනහිර ඇන්ටාක්ටිකාව ද ශීඝ්‍ර වෙනස්කම්වලට ලක්වෙමින් පවතින බවයි. ඇන්ටාක්ටික් කලාපයේ ග්ලැසියර දියවීම ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමට දායක වේ.”

Climate Fact Checks සම්පූර්ණ ලිපිය කියවිය හැකියි මෙතනින්Archived 

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරුවූ කාරණය වන්නේ ඇන්ටාක්ටිකාවේ අභ්‍යවකාශයේ සිට ගන්නා ලද සේයාරුවක් ලෙස සමාජ ජාලාවල පැතිර යන සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි. එය අභ්‍යවකාශයේ සිට ගන්නා ලද සේයාරුවක් නොව පරිගණක භාවිතයෙන් සිදුකරන ලද නිර්මාණයකි. (CGI- Computer Generated Imagery). මෙමගින් නිරුපණය වන්නේ 2005 වසරේදී ඇන්ටාක්ටික් ප්‍රදේශයේ මුහුදු අයිස් ප්‍රමාණය පිලිබදව රැස් කරගන්නා ලද දත්ත ඔස්සේ සිදු කරන ලද නිරුපණයක් වන අතර එමගින් ගොඩබිම් අයිස් ප්‍රමාණය පිළිබද අදහසක් ගත නොහැක.1979 සිට ගන්නා ලද දත්ත අනුව ඇන්ටාක්ටික් ප්‍රදේශයේ මුහුදු අයිස් ප්‍රමාණය අඩුවීමේ දිගුකාලීන ප්‍රවණතාවයක් නොමැති නමුත් ගොඩබිම අයිස් ප්‍රමාණය වේගයෙන් අඩුවෙමින් තිබෙන අතර එය ගෝලීය වශයෙන් මුහුදු ජල මට්ටම ඉහල යාමටද බලපායි.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter