Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

බුදුදහම අනුගමනය කරන රටවල විවිධ අංශවල දරුණු ගැටළු පවතිමින් තිබියදී, දේශගුණික විපර්‍යාසයන්ට බුදු දහම ඔස්සේ මුහුණ දීමට හැකියාව ලැබෙන්නේ කෙසේද?

Archived

ශ්‍රී ලංකාව ප්‍රදාන වශයෙන් බෞද්ධ දර්ශනය අදහන රටක් බැවින් ඉහත ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමසීමට අපි තීරණය කළෙමු.

අපගේ විශ්ලේෂණය තුළින්, මනස සහ එහි ක්‍රියාව විස්තර කරන බුදුදහම පිළිබඳව සංකල්පය සහ එය දේශගුණික විපර්‍යාසය අවම කිරීමට උපකාරී වන ආකාරය පිළිබඳව අපි විමසා බැලුවෙමු.

මිනිස් මනසේ ස්වභාවය, අරාජිකත්වය, ප්‍රචණ්ඩත්වය, බංකොලොත්භාවය, ත්‍රස්තවාදය සහ ඒකාධිපතීත්වය ඇති කරවයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන අතර, බොහෝ විට වැරදි ආකල්ප ඇති පුද්ගලයින් එකට ඒකරාශී වන අතර, එය කෙමෙන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් බවට පත් වේ. කෙසේ වෙතත්, බෞද්ධ දර්ශනය ඔස්සේ, අවිහිංසාවාදයේ වටිනාකම දැඩි ලෙස අවදාරණය කරයි. බුදු දහම වඩාත් ප්‍රචලිත වන්නේ, අවිහිංසාව සහ සියළු ජීවීන්ට හානියක් නොවන බව අවදාරණය කිරීමට කටයුතු කිරීම නිසාවෙනි. ඒ මඟින්, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසර්‍යට සිදුවන හානිය හඳුනාගෙන එම හානිය අවම කරගැනීම උදෙසා ක්‍රියාමාර්ග ගැනීමට මිනිසුන් පෙළඹවීමේ හැකියාවක් ලැබේ. ප්‍රචණ්ඩකාරී තත්ත්ව ඇතිවීම මිනිසුන්ගේ පාලනයකින් තොර මානසිකත්ව හේතුවෙන් සිදු වේ. මිනිස් මනස විස්තර කිරීමට අපහසු දෙයක් බව බුදු දහමේ සඳහන් වේ. බුද්ධ දර්ශනයේ නිර්මාතෘ වූ බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ වදාල සේක.

“දුන්නිග්ඝස්ස ලාහුනෝ – යත්ග කම්මානි පතීනෝ

චිත්තස්ස ධම්මතෝ සාදූ – චිත්තං දන්තං සුකහවහං”

         චිත්ත වග්ගය – ධම්ම පදය

තේරුම – “ඇත්තෙන්ම සිත දමනය කිරීම පුදුමසහගතය. එමෙන්ම, කැමති සියළු දේ තදින් අල්ලා ගනිමින්, වේගයෙන් වෙනස්වන සිත දමනය කිරීම ඉතා අපහසුය. දමනය කළ සිත සතුට ගෙන එයි.”

මනස දියුණු කිරීම දුෂ්කර කාර්යයකි. කෙසේ නමුත් එම අපහසුතා දරාගනිමින්, එම පියවර සිදුකළහොත්, මනස පාලනය කර ගැනීමට හැකිවනු ඇත. මෙසේ දමනය කළ සිත, මිනිසා තුළ සත්‍ය, පිරිසුදු සතුට ඇතිවීමට හේතුවන බව බුදුදහමේ කියයි. පාලනය කළ මනස ක්‍රෝධය, වෛරය, ඊර්ශ්‍යාව ආදී දූෂිත ආකල්ප සහ එලෙස පැමිණෙන වෙනත් කිලිටි සිතිවිලිවලින් නිදහස් වේ. ඔබට බෞද්ධ දර්ශනය පිළිබඳව වැඩිදුර දැනුම ලබාගැනීමට අවශ්‍ය නම් මෙතනට පිවිසෙන්න. සිහිය හෙවත් සතිය යනු බුද්ධ ධර්මයේ එන තවත් වැදගත් අංගයකි. මින් පැවසෙන්නේ සම්පූර්ණයෙන්ම වර්තමානයේ ජීවත් වීම සහ වර්තමානයේ මෙම මොහොත් පිළිබඳව සම්පූර්ණ අවදානයෙන් පසුවීමයි. සිහිය හෙවත් සතිය ප්‍රගුණ කිරීමෙන්,  අපගේ ක්‍රියාවන් සහ තේරීම් අවබෝධ කරගෙන, ඒවා පරිසරයට බලපාන ආකාරය කෙරෙහි හොඳ අනුගත වීමක් ඇතිකරගත හැක. අවසාන වශයෙන්, බුදුදහමේ එන, මනස දියුණු කිරීම සඳහා ප්‍රධානවම යොදා ගන්නා පිළිවෙත වන්නේ භාවනාවයි.

භාවනාව ක්‍රමයෙන් පුරුදු පුහුණු වන විට, ඒ ඔස්සේ මනසේ කොටසින් කොටසේ ඇති, එම පුද්ගලයාට උපශාන්තව සිටීමට සහ වර්තමානයේ ජීවත් වීමට අවශ්‍ය, පුද්ගලයාගේ අභ්‍යන්තර සාමය ඇති කරන්නා වූ ශක්තිය ක්‍රමයෙන් අවදි වේ. මෙය බුදු දහමේ මූලික අංගයයි. බුදුදහම රටක මූලික ආගමික මතය ලෙස ක්‍රියාත්මක වූ පමණින් එය අදහන සියළුම මිනිසුන්ට එහි දර්ශනය අවබෝධ කරගත නොහැක. බුදුරජාණන් වහන්සේ පවා වදාරා ඇත්තේ, තම දර්ශනය  බුද්ධිමතුන්ට පමණක්  අවබෝධ කරගත හැක්කක් බවයි. එනම්, මෙම ගැඹුරු සංකල්ප තේරුම් ගැනීම සඳහා දියුණු වූ මනසක් තිබීම වැදගත් ය. ඉහත ප්‍රකාශයත් සමඟ සලකා බැලිය යුතු කරුණ වනුයේ, බුදුදහම පැවත එන රටවල, සියළු දෙනාම පාහේ උපතින්ම බුදුදහමේ අනුගාමිකයින්ද යන්නයි. මක්නිසාද යත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කළ, එය බෞද්ධ, හින්දු සහ අනෙකුත් ආගම්වල ප්‍රජාව සමඟියෙන් ජීවත්වන බහු ආගමික රටකි. බුදුන් වහන්සේ හෝ බුදු දහම තුළ මෙම ආගම අදහන ලෙස බෞද්ධයන් පොළඹවන්නේ නැත. ඕනෑම අයෙකුට අවශ්‍ය නම් හෝ ඒ පිළිබඳව උනන්දු නම් පැමිණ බුද්ධ දර්ශනය අනුගමනය කළ හැක. බුදුදහමේ සිත පිළිබඳව සිදුකළ ගැඹුරු දේශනා රැසක් පවතින අතර, එම දේශනාවලින් සිත මනාව දමනය කරගෙන පවත්වා ගැනීම සඳහා හොඳ අවබෝධයක් ලබාගත හැකිය. ඒ අනුව, දේශගුණික විපර්‍යාසයන්ට එරෙහිව සටන් කිරීමේදී එය අපට උපකාරී වන අන්දම අපි සලකා බලමු.

මේ පිළිබඳව අනුශාසනා ලබා ගැනීම සඳහා අපි විසින් ප්‍රසිද්ධ බෞද්ධ දේශක හිමිනමක් වන පූජ්‍ය තපෝවනයේ රතන හිමියන් හමුවුණෙමු. උන්වහන්සේ මුලින්ම සඳහන් කළේ “වනරෝප සූත්‍රය” පිළිබඳවයි.

“ආරෝම රෝපා වන රෝපා – යේජනං සේතුකාරණං

පාපචූප උදපානං – යේ කරංසූ උපස්සයං”

–        වනරෝප සූත්‍රය –

“ස්වභාවික වනාන්තර පවත්වාගෙන යාම සහ ගස් සිටුවා වනාන්තර නිර්මාණය කිරීම දිවා රෑ දෙකෙහිම ආශිර්වාද ලබන හොඳ පුරුද්දකි.”

තපෝවනයේ රතන හිමියන් විසින් ද, බුදුදහමේ එන ගස් සහ වනාන්තර සුරැකීම, ජලය ඇතුළු ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සහ පිරිසිදුව තබා ගැනීම පිළිබඳව පැහැදිළි කරන ලදී. එසේම පරිසරයේ වෙසෙන සතුන් හට හිංසා නොකිරීමද බුදුදහමේ එන උතුම් ගුණාංගයකි. බුදුරජාණන් වහන්සේ මිනිසෙකු සතු එවන් ගුණාංග සඳහා විශේෂත්වයක් ලබාදී තිබූ අතර, ස්වභාවික සම්පත් ආරක්ෂා කරන්නන්ට ලැබෙන යහපත් ආනිශංස උන්වහන්සේ දක්වා සිටියහ.

තපෝවනයේ රතන හිමි තවදුරටත් සඳහන් කළේ යහපත්, සෞඛ්‍ය සම්පන්න දේශගුණයක් පවත්වා ගැනීමට නම්, පරිසරය විකෘති කිරීමකින් තොරව පවත්වා ගැනීම ඉතා වැදගත් බවයි.

අධිපරිභෝජනය සහ සරලබවේ වෙනස

අධිපරිභෝජනය යනු දේශගුණික විපර්‍යාස තත්ත්ව උග්‍ර කිරීමට ඉවහල්වන සාධකයකි. මෙහිදී සිදුවන්නේ, පුද්ගලයින් තමාට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් මෙන්ම පෘථිවියට සැපයිය හැකි ප්‍රමාණය ඉක්මවමින් අධික ලෙස සම්පත් පරිභෝජනය කිරීමයි. මෙම අත්‍යන්ත පරිභෝජන රටාව නිසා ඇතිවන වේගවත් සම්පත් පරිභෝජනය හේතුවෙන්,  ස්වභාවික සම්පත්වලට පවා  නිසිපරිදි පුනර්ජනනය සිදුවීමට බාධා පමුණුවයි. මේ අනුව, මෙහිදී ඇතිවන විශාලතම ගැටළු වන්නේ එක්වරක් භාවිත කර ඉවත් කරන භාණ්ඩවල අධිපරිභෝජනය, තම සම්පත් මූලාශ්‍රවල සම්පත් පුනර්ජනනය කිරීමට පෘථිවියට ඇති හැකියාවේ වේගවත්බව අඩු වීම මෙන්ම දේශගුණික විපර්‍යාසවලට මාර්ගය සෑදීමයි.

තපෝවනයේ රතන හිමි  පවසා සිටියේ සරල බව බුදුදහමේ වැදගත් සංකල්පයක් බවයි. මෙය අධිපරිභෝජනය වැලැක්වීමට ඇති හොඳම සංකල්පයකි. බුදුදහමේ ප්‍රධාන අනුගාමිකයින් ආකාර 4ක් ඇත. එනම් භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා වේ. බුදුන් වහන්සේ මෙම එක් එක් පිරිස භාණ්ඩ නිසි පරිදි පරිහරනය කළ යුතු ආකාරය පිළිබඳව වෙන වෙනම දේශනා කල ඇත.

ඒ අනුව බෞද්ධ භික්ෂුන් වහන්සේට විශේෂයෙන් උන්වහන්සේ විසින් අවවාද කල ඇත්තේ, සාමාන්‍ය අවශ්‍යතා සඳහා තුන් සිවුර හැර, වෙනත් කිසිදි සිවුරක් භාවිත නොකරන ලෙසටයි. මේ හැරුණු විට භාවිතය සඳහා යොදාගන්නා භාණ්ඩ ලෙස ‘අටපිරිකර’ පමණක් භාවිත කරන ලෙස අවවාද කර ඇත. අටපිරිකර තුළ එදිනෙදා අවශ්‍යතා සඳහා භික්ෂුවකට අවශ්‍ය වන භාණ්ඩ අටක් අඩංගු වේ. එපමණක් නොව බුදු රජාණන් වහන්සේ ආරාම ආදිය විවිධ  බඩු බාහිරාදියෙන් පුරවාලීම ප්‍රතික්ෂේප කළහ. ඊට අමතරව සංඝරත්නයට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා සිවුරු ආදිය ලැබුනහොත් ඒවා දින 10කට වැඩි කාලයක් තමා සතුව තබා ගැනීම අනුචිත බවද උන්වහන්සේ වදාල සේක.

සාමාන්‍ය මිනිසුන් සඳහා ද්‍රව්‍ය පරිභෝජනය පිළිබඳව ක්‍රම කිහිපයක් බුදුන් වහන්සේ විසින් “සිඟාලෝවාද සූත්‍රයේ” දක්වන ලද බව සඳහන් කළ තපෝවනයේ රතන හිමි, ඒ ඇසුරින් මනා කළමනාකාරීත්වයෙන් අල්පේච්ඡතාව සාක්ෂාත් කරන අන්දම ඒ ඇසුරින් කියවෙන බව ප්‍රකාශ කළහ.

“ඒකේන භෝගේ භුංජ්‍යෙය – ද්වීහි කම්මං පයෝජයේ

චතුත්තංචා නිදාප්‍යෙය – ආපදාසු පරිස්සතී”

–        සිඟාලෝවාදා සූත්‍රය –

මෙම ගාථාවෙන් කියැවෙන්නේ පුද්ගලයෙකු තම මාසික ආදායම පරිහරණය කළ යුතු ආකාරයයි. බුදු රජාණන් වහන්සේ මෙහිදී වදාළේ, සිය ආදායම සමාන කොටස් හතරකට බෙදන ලෙසයි. ඉන් එක් කොටසක් දෛනික අවශ්‍යතා සඳහා පරිභෝජනය කළ යුතු වන අතර, තවත් කොටස් 2ක් ඉදිරියේදී වැඩිදුර මුදල් ගෙන එන අයෝජන සඳහා යෙදවිය යුතුය. අනෙක් අවසන් කොටස ලෙඩ රෝග ආදී හදිසි අවශ්‍යතාවයකදී යොදා ගැනීම සඳහා තැන්පත් කර තැබීම සිදු කළ යුතුය. මේ ක්‍රමයට අනුව අය වැය කළමනාකරණයේදී, පළමු වතාවේදී ලැබෙන ආදායමට වඩා, දෙවන වර ආදායම, පළමු වර ආයෝජනවල ලාභයත් සමඟ ඉහළ යා යුතුය. මෙය එක් අතකින් මනා කළමනාකාරීත්වයකින් ආදායම් පරිහරණයට ගිහි ප්‍රජාව යොමු කරවන අතරම, අනෙක් අතට සරල බව ප්‍රවර්ධනය කරමින්, අධිපරිභෝජනය අඩු කර සමබර ජීවිතයක් ගත කිරීමට දායක වේ. බුදුදහම කිසිදු විටෙකත් ආත්මාර්ථකාමීත්වය ප්‍රවර්ධනය නොකරන බව පැවසූ තපෝවනයේ රතන හිමි, අප අවට සිටින අනෙකුත් පුද්ගලයින්ගේද තත්ත්ව විමසා බලා, ඔවුන්ටද උදවු ලබා දෙමින්, තමාගේද ආර්ථිකය ශක්තිමත් කරගනිමින් සමබර ජීවිතයක් ගත කරන ලෙස පවසා සිටියහ.

දේශගුණික විපර්‍යාස අවම කිරීම සඳහා අන්තර් සම්බන්ධිතභාවය සහ සහකම්පනය පිළිබඳව බෞද්ධ දර්ශනය

දේශගුණික විපර්‍යාස සඳහා අනුවර්තන දැරීමට සහ මුහුණ දීමට වැදගත්වන සංකල්ප සහ ක්‍රියාමාර්ග බුද්ධ දර්ශනය තුළ දක්වා තිබේ. බුදු දහමේ එක් මූලික ඉගැන්වීමක් වන්නේ, අන්තර් රඳා පැවැත්ම හෝ පරායත්ත සම්භවය යන සංකල්පයයි. මෙයින් අදහස් වන්නේ සෑම දෙයක්ම එකිනෙක සම්බන්ධ බවත්, අපේ ක්‍රියාවන්වලට ප්‍රතිවිපාක ලෝකය පුරාම ඇතිවෙමින් පවතින බවත් ය. මෙම අන්තර් සම්බන්ධිත්භාවය හඳුනා ගැනීම, අපගේ ක්‍රියාවන් නිසා පරිසරයට ඇතිවන බලපෑම විමසා බැලීමට සහ තිරසාර ලෙස තේරීම් සිදු කිරීමට අපව පොළඹවා ගැනීමට උපකාරී වේ.

බුදුදහමේ තවත් මූලික ඉගැන්වීමක් වන්නේ මෛත්‍රිය, සංවේදීබව සහ සහකම්පනයයි. දේශගුණික විපර්‍යාස අනෙකුත් මිනිස් ප්‍රජාවන්ට සහ සත්ත්වයින් හට ඇතිකරන වේදනා සහ අපහසුතා හඳුනාගැනීමට මෙම ගුණාංග අපට උපකාරී වේ. මනුශ්‍ය ක්‍රියාකාරකම් නිසා ස්වභාවධර්මය සහ ලොවේ ජීවත්වෙන අන් සියල්ලන්ම මුහුණ දෙන ගැටළු අවබෝධ කරගෙන, ඊට පිළිතුරු සෙවීම සඳහා මෙම ගුණාංග මිනිසුන්ව යොමු කරයි. ඒ විඳවීම්, වේදනා, දුක් නැති කිරීම සඳහා කටයුතු කිරීමට බෞද්ධ දර්ශනය මිනිසුන්ව පොළඹවයි.

අන්තර්ගතය කෙටියෙන්…

සමස්තයක් වශයෙන් දේශගුණික විපර්‍යාස අවම කිරීමට අපට උපකාරී විය හැකි බොහෝ වටිනා අවබෝධයන් සහ භාවිතයන්, බෞද්ධ දර්ශනය ඔස්සේ ඉදිරිපත් කළ හැක. අන්‍යෝන්‍ය බැඳීම, මෛත්‍රිය, මනා සිහිය, සරල බව, නොබැඳීම සහ අවිහිංසාව වර්ධනය කරගැනීමෙන් පරිසරය සමඟ වඩාත් තිරසාර සහ සුහද සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට අපට කටයුතු කළ හැක.

ඔබට කිසියම් විමසීමක් ඇති නම් හෝ දේශගුණික විපර්‍යාස හෝ පරිසරයට අදාල සැක සහිත අන්තර්ගතයන් හමු වුවහොත් සහ ඔබ වෙනුවෙන් අප එම තොරතුරු තහවුරු කිරීමට අවශ්‍ය නම්, ඒ අන්තර්ගතයන් අපගේ Whatsapp ක්ෂණික ඇමතුම් අංකය: +917045366366 වෙත යොමු කරන්න.

 Original English Article URL: There are many problems in countries that follow Buddhism, so how can Buddhism deal with climate change?Translated by Mihiri Saparamadhu

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter