Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික ප්‍රතිපත්තිය

ජාතික පාරිසරික ප්‍රතිපත්තිය (NEP) සහ ජාතික පරිසර ක්‍රියාකාරී සැලැස්ම (NEAP) 2022 – 2030 වසර සඳහා, ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා මාර්ගය යන තේමාව සහිතව, පසුගිය දෙසැම්බර් 19 වන දින පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී එලිදක්වන ලදී.

2003 වසරේ දී පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය විසින් සකස් කර, ප්‍රකාශයට පත් කරන ලද ජාතික පාරිසරික ප්‍රතිපත්ති සහ උපාය මාර්ග (NEPs), ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටලු පිළිබඳ තීරණවලට අතීතයේදී මඟ පෙනූ ප්‍රධාන ලේඛනය විය. මීට අමතරව, ජාතික පාරිසරික ප්‍රතිපත්තියේ කෙටුම්පතක් 2021 වසරේ දී මහජන අදහස් සඳහා ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් කෙටුම්පතට වඩා, අවසාන ප්‍රකාශනය වඩාත් පුළුල් සහ කාලානුරූපී බව පෙනේ.

මෙම ලිපිය හරහා, Climate Fact Check කණ්ඩායම විසින්, මෙම ලේඛනවල අන්තර්ගතය සහ එය රටට සහ මහජනතාවට බලපාන ආකාරය පිළිබඳව සමාජය දැනුවත් කිරීමක් සහ ඒ පිළිබඳව කතිකාවතක් ඇති කිරීමට බලාපොරොත්තු වේ.

NEPහි දැක්ම සහ මෙහෙවර ප්‍රකාශය වන්නේ, වර්තමානය සහ අනාගතය සඳහා පාරිසරික තිරසරභාවය සහතික කරන අතරම පරිසරය ආරක්ෂා කිරීමයි. එමෙන්ම, පිළිවෙලින්, මනාව නිර්වචනය කරන ලද ප්‍රතිපත්ති රාමුවක් හරහා ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා සක්‍රිය කොන්දේසි නිර්මාණය කිරීම උදෙසා පාරිසරික සම්පත් තිරසර භාවිතය, කළමනාකරණය සහ ආරක්ෂාව සහතික කිරීමයි.

ඊට අමතරව, පහත මූලධර්ම විසින් NEAP සංශෝධන මෙහෙයවනු ලැබේ.

  • ඉදිරි දශකය තුළ, මධ්‍යම ආදායම්ලාභී සහ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව, තිරසර ආර්ථික සහ මානව සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙනු ඇත.
  • ස්වභාවික සම්පත් බුද්ධිමත් ලෙස කළමණාකරණය සහ භාවිත කිරීමේ සංකල්පය හේතුවෙන්, රට තුල ආර්ථික සහ සමාජයීය ප්‍රතිපත්ති සහ නව සංවර්ධන ආයෝජන සඳහා මඟ පාදනු ඇත.
  • තිරසාර නිශ්පාදන සහ පරිභෝජන තත්ත්ව නිසා විවිධ මට්ටම්වලින්‍ රාජ්‍ය, පෞද්ගලික සහ තනි පුද්ගල ව්‍යාපාර හා නිශ්පාදන සඳහා දිරි ගැන්වීම් සහ අධෛර්‍යමත් කිරීම් ඔස්සේ ප්‍රවර්ධනයන් සිදුවනු ඇත.
  • ඉතා ඉහළ නොවන හරිතාගාර වායු විමෝචන මට්ටමකුත් සමඟ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තාක්ෂණික සහ මූල්‍ය ආධාර සහිත, කාබන් අවම, හරිත ආර්ථික ආකෘතියකට සංක්‍රමණය වීමට කැපවනු ඇත.

NEPහි ඇතුලත් ප්‍රධාන ප්‍රතිපත්ති මූලධර්ම

NEP පාරිසරික කළමණාකරණය ප්‍රධාන මූලධර්ම 11ක් මත පදනම් වේ. එනම්,

  1. තිරසර සංවර්ධනය සහ හරිත ආර්ථිකය: මෙයට තිරසර සංවර්ධනය සඳහා ඉලක්ක (SDG) 17ට අමතරමව, හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මූලධර්මද අන්තර්ගත් වේ.
  2. දූෂක ගෙවීම්, ප්‍රතිලාභීන්ගේ ගෙවීම් සහ වන්දි: මෙහිදී, පරිසරයට සිදුවූ හානිය සහ පරිසරයෙන් ලබාගත් වාසිය තක්සේරු කර, ඒ අනුව වගකීම් ආරෝපණය කිරීම තීරණය කරයි. දූෂකයාගේ ගෙවීම් මූලධර්මය (PPP), ප්‍රතිලාභියාගේ ගෙවීම් මූලධර්මය (BPP) සහ පාරිසරික පද්ධති සේවා (PES) මෙහිදී සලකා බැලේ.
  3. ජීවන රටාව, චක්‍රීය ආර්ථිකය සහ 3R සංකල්පය: යම් නිෂ්පාදනයක නිෂ්පාදන ක්‍රියාවලියේ එක් එක් අදියරවලදී පාරිසරික බලපෑම් තක්සේරු කිරීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් සපයන මූලධර්මය, ජීවන චක්‍ර මූලධර්මය (LCP) නම් වේ. චක්‍රීය ආර්ථිකය යනු, නිෂ්පාදන කල්පැවැත්ම, පුනර්භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය ආශ්‍රිතව වටිනාකමක් නිර්මාණය කිරීමේ නව ක්‍රියාවලියකි. 3R සංකල්පය ලෙස හැඳින්වෙන්නේ, නිෂ්පාදන පරිභෝජනය සහ නිෂ්පාදනය අවම කිරීම – Reducing, නැවත භාවිතය – Reusing සහ ප්‍රතිචක්‍රීකරණය – Recycling ලෙස හැඳින්විය හැක.
  4. අවම ආරක්ෂිත ප්‍රමිතීන්: පාරිසරික ආරක්ෂාව සඳහා අවම ප්‍රමිතීන් පාරීසරික ආරක්ෂාව සඳහා ප්‍රවේශ වීම සාමූහික ක්‍රියාවලියකි. යම් හෙයකින් අවම පුනර්ජනනීය ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සමාජයීය පිරිවැය අධික හෝ දරාගත නොහැකි තරම් නොවේ නම්, එය වඩාත්ම නිර්දේශ කරන ක්‍රියාවලියයි.
  5. පූර්වාරක්ෂාව පිළිබඳව මූලධර්මය: මෙය දාර්ශනික සහ නෛතික ප්‍රවේශයකි. එය ඉහල මට්ටමේ අවිනිශ්චිතතාවයකින් යුත් අවස්ථාවල තීරණ ගැනීමේදී පරිස්සම් සහගත වීම අවධාරණය කරයි.
  • ත්‍යාග, භාරකාරීත්වය සහ අන්‍යෝන්‍යතාවය: ධනාත්මක පාරිසරික වෙනස්වීම් සඳහා මානව ක්‍රියාකාරීත්වය දිරිගැන්වීම.
  • සමානාත්මතාවය, ඇතුලත් කර ගැනීම සහ කිසිවෙකු රඳවා නොගැනීම.
  • සම්පත් භාවිතයේ නිපුණත්වය
  • ග්‍රහ මායිම්:මානව වර්ගයාට ආරක්ෂිතව කටයුතු සිදු කල හැකි සීමාවන් වේ. එය ග්‍රහලෝක නවය සඳහා මායිම් මාලාවක් ඉදිරිපත් කරයි.
  • පොදු නමුත් එකිනෙක වෙනස් ලෙස අනුගත් වූ වගකීම්: ජාත්‍යන්තර පාරිසරික අභියෝග සඳහා මේවා අදාල වේ.
  • මහජන විශ්වාසතාවාදය – මහජන විශ්වාසතාවාදය (Public Trust Doctrine – PTD) යනු වඩාත් විශ්වාසදායීම නීතිමය සම්මතයයි. පුරවැසියන්ට යහපත් පරීසරයක් සඳහා ඇති අයිතිය සාක්ශාත් කර ගැනීමට මෙයින් විශ්වාසය තැබිය හැක.

NEP සහ NEAP හිදී තේමා වූ ක්ෂේත්‍ර

NEPහිදී තේමාත්මක ක්ෂේත්‍ර හතක් ඇති අතර, NEAPහි ක්ෂේත්‍ර නවයක් ඇත. මේවාගේ තේමාත්මක ක්ෂේත්‍ර එකිනෙකට සමපාතික වේ.

  1. භෞමික හා ජල සම්පත්

NEPහි පළමු තේමාත්මක ක්ෂේත්‍ර 5 සහ 7, තිරසාර භූමි සම්පත් කළමනාකරණය සහ ඒකාබද්ධ ජල සම්පත් කලමනාකරණයයි. මේවා පිළිවෙලින් NEAPට සමපාත වේ. ශ්‍රී ලංකාව කෘෂි ආර්ථිකයක් සහිත රටක් වශයෙන්, භෞමික සහ ජල සම්පත් කළමනාකරණය එහි තිරසාරබව වර්ධනයට ඉතා වැදගත් ය. එහිදී වගා ප්‍රදේශය සීමා රහිතව ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව සීමා වේ. භෞමික සහ ජල සම්පත් ඒකාබදධ කලමනාකරණය, අවකාශීය උපාය මාර්ග සහ ඉඩම් සැලසුම් යටතේ ප්‍රතිපත්ති 11ක් සහිතය. මෙම ප්‍රතිපත්ති ප්‍රධාන කලාප යටතට ගැනේ. පරිසර සංවේදී භෞමික සහ ජල සම්පත් යටතේ පවතින ප්‍රතිපත්ති 9ක්, ජල පෝෂක සහ හායනයට ලක් වූ ඉඩම් ප්‍රතිස්ථාපනය කිරීමට අවධානය යොමු කරයි. ප්‍රතිපත්ති 7ක් භෞමික හා ජල සම්පත් සහභාගීත්ව කළමනාකරණය පිළිබඳව පවතී.

NEAPහි 5වන තේමාත්මක ක්ෂේත්‍රයේ අඩංගු වන්නේ භූමිය පරිහරණය කිරීමේ වෙනස්කම් මඟින් භූමි ආවරණය, ගොවිබිම්, මිනිස් වාසස්ථාන සහ නාගරික කේන්ද්‍රස්ථාන බවට ස්වභාවික වෘක්ෂලතා ආදිය වැය වෙමින් පරිවර්තනය වන ආකාරයයි. බොහෝ අධ්‍යනයන් මඟින් භෞමික ඉඩම් පරිහරණය මඟින් සිදුවන වෙනස්වීම් සහ වන විනාශය. ජෛව විවිධත්වයට සිදුවන හානි සහ භෞමික ප්‍රදේශ හායනය ආදියේ වර්තමාන රටාව සමඟ එකිනෙකට විශාල බැඳීමක් සහ සමඳතාවයක් පෙන්වයි. විව්ධ වර්ගයේ ස්වභාවික භෞමික පරිසරවල, ජනගහණ පීඩනය වැඩි වීම නිසා පරිසර පද්ධති සං‍රචකවල තිරසරභාවය, අනුකූලතාවය සහ පැවැත්ම තර්ජනයට ලක් වන බොහෝ ප්‍රතිවිපාක සහ බලපෑම් ඇති කරයි. නුසුදුසු සහ සමමුහුර්ත නොවන ඉඩම් පාලනය සහ හිතකාමී නොවන ඉඩම් පරිහරණය කිරීම භෞමික ඉඩම් හායනය උග්‍ර කරයි. ස්ථානීය සහ පිටත පරිසර පද්ධති ක්‍රියාකාරකම්වල ධාරිතාව අඩු කරයි, මෙම තේමාත්මක කලාපය සඳහා වන ක්‍රියාකාරී සැලැස්මෙහි උපාය මාර්ග 9ක් සහ තිරසර අරමුණු සපුරාලීම සඳහා ක්‍රියා පටිපාටි 53ක් ඇත. 7 වන තේමා කලාපයෙන් රටට ආරක්ෂිත පානීය ජලය සැපයීම සඳහා අත්‍යවශ්‍ය ජල සම්පත් කළමනාකරණයේ තිරසර බව තහවුරු කර ගැනීම සඳහා සැලසුම් 14ක් සහ පියවර 74ක් ඇතුලත් වේ.

  • ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති

COP15, එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව හමුවේදී සාකච්ඡා කෙරුන පරිදි ශ්‍රී ලංකාව ජෛව විවිධත්ව උනුසුම් කලාපයකි. එනිසා ආර්ථික සහ සමාජයීය සංවර්ධනය සඳහා රටේ ඉතිරිව ඇති ජීවය සුරැකීම වැදගත් වේ. මේ ක්‍රියාවලිය සඳහා, තාක්ෂණික ක්ෂේත්‍ර, වෘෂලතා සහ සත්වයින් ඔවුන්ගේ වත්මන් වාසස්ථානවලදීම සං‍රක්ෂණය, තෙත්බිම් සං‍රක්ෂණය, ජෛව සම්පත් අලාභ, අහිමිවීම්, තර්ජන සහ ගැටුම් නියාමනය, පාලනය හා අධීක්ෂණය සහ ජෛව සම්පත්වල හා පරිසර පද්ධතිවල තිරසර භාවිතය වැදගත් වේ.

2වන තේමාත්මක කලාපයට අනුව ජෛව සම්පත් සං‍රක්ෂණය සහ තිරසාර භාවිතය සඳහා NEAPහි උපක්‍රම 7ක් සහ ක්‍රියාමාර්ග 37ක් සඳහන් වේ. ඒවා එක් ආකාරයකට වඩා වැඩි ආකාරවලින් මිනිසුන්ට උපරිම, ප්‍රශස්ත පරිසර පද්ධති සේවාවක් ලබා ගැනීමට හැකිවන අන්දමට අරමුණු කරගෙන ඇත. මෙය ආහාර, සත්තව ආහාර, කෙඳි, දැව සහ ඖෂධීය හා විසිතුරු සම්පත්, ජල සහ වායු ප්‍රමිතිය පවත්වා ගැනීම, ඛාදන සහ දේශගුණික යාමනය, කාබන් වෙන්කිරීම, පරාගනය සඳහා දායකවන සත්වයින්ට වාසස්ථාන සැපයීම, පලිබෝධකයින් සහ වසංගත් රෝග පාලනය, පස නිර්මාණය, පෝෂක හා ජල චක්‍ර පවත්වා ගැනීම, ස්වභාව සෞන්දර්‍යාත්මක වටිනාකම්, විනෝදය සහ පාරිසරික සංචාර, දැනුම සහ අධ්‍යාපනික සේවා ආදී ක්ෂේත්‍රවලින් සලකා බැලේ.

  • වෙරළ සහ සමුද්‍ර සම්පත්

NEAPහි 4වන තේමාත්මක ප්‍රදේශ ලෙස සමුද්‍ර සහ වෙරලබඩ සම්පත් සං‍රක්ෂණය සහ තිරසර භාවිතය ඇතුලත් වේ. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයකි. එබැවින් රට වටා ඇති වෙරළ තීරයේ සම සමුද්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම ඉතා වැදගත්‍ ය. කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය අධික ලෙස වැඩිවන ජනගහණය සහ අධික වශයෙන් මෙම ප්‍රදේශවලට බැහැර වන ඝන සහ ද්‍රව අපද්‍රව්‍ය, කළමනාකරණයකින් තොර අත්තනෝමතික මිනිස් ක්‍රියාවන් ආදිය හේතුවෙන් අධික ලෙස තර්ජනයට ලක් ව ඇත. කාර්මික අපජලය, සංචාරකයින් මඟින් දූෂනය කිරීම, ධීවර සහ ජලජීවී වගාව, තෙල් කාන්දු, බැර ලෝහ සහ ප්ලාස්ටික් ආදිය ද වෙරල තීරය හා සමුද්‍ර කලාප අධි අවදානමකට ලක් කරයි. මෙම තර්ජන ජය ගැනීමට උපාය මාර්ග 9ක් සහ ක්‍රියා මාර්ග 49ක් විස්තර කෙරේ.

NEPහි වෙරල සහ සමුද්‍ර සම්පත් සං‍රක්ෂණය පිළිබඳව තාක්ෂණික අංශ ඇතුලත් වේ. ප්‍රතිපත්ති ප්‍රකාශන 7කින් වෙරළබඩ සහ සමුද්‍ර පරිසර පද්ධති සං‍රක්ෂණය කිරීමත්, තවත් ප්‍රතිපත්ති ප්‍රකාශන 3කින් වෙරළ ඛාදනය කළමනාකරණය කිරීමත්, තවත් 4කින් වෙරල සහ සමුද්‍ර දූෂණය කළමනාකරණය කිරීමත් පිළිබඳ එහි අන්තර්ගත ය.

  • පරිසර දූෂණය වැළැක්වීම, පාලනය සහ අපද්‍රව්‍ය කළමනාකරණය

දුර්වල කලමනාකරණය හේතුවෙන් නොවිසඳුනු ගැටලු වන මෙම ගැටලු යුගලය, තේමාත්මක ක්ෂේත්‍රයක් ඔස්සේ විග්‍රහ වේ. මෙයට වායුගෝලීය දූෂණය කළමණාකරනය, ජල දූෂණය, ඝන අපද්‍රව්‍ය තිරසර කලමනාකරණය සහ ශබ්දය, දෘෂ්‍ය, තාප, ආලෝකය සහ විකිරණශීලී ද්‍රව්‍ය වැනි අනෙකුත් දූෂකයන් පාලනය ආදිය විස්තර කෙරෙන ප්‍රතිපත්ති ඇතුලත් තාක්ෂණික ක්ෂේත්‍ර ඇතුලත් වේ.

NEAPහි වායු තත්ව කළමනාකරණය සඳහා අරමුණු කරගත් උපාය මාර්ග 10ක් සහ ක්‍රියා මාර්ග 60ක්, පද්ධති 9ක් සහ සම්පූර්ණ අපද්‍රව්‍ය කළමනාකරණයේ අභියෝගවලට මුහුණ දීම සඳහා පියවාර් 63ක් ඇතුලත් වේ. ස්වභාවික සංසිද්ධීන් මඟින් අපද්‍රව්‍ය ජනනය කල හැකි වුවද, වර්තමාන අපද්‍රව්‍ය ගැටලුවල බරපතක බව නාගරීකරණය, කාර්මීකරණය සහ මානව සමාජයේ ආර්ථික දියුණුව පාදක කරගෙන උග්‍ර වී ඇති බවට සැලකේ.

  • දේශගුණික විපර්‍යාස සහ ගෝලීය පාරිසරික අභියෝග

ආර්ථිකයන් ගෝලීය වශයෙන් ඒකාග්‍ර වන තරමටම, ඒවාඅගෙන් ඇතිවන අනෙකුත් සහ පාරිසරික ප්‍රතිවිපාක ද ජාතික සීමාවෙන් ඔබ්බට, ගෝලීය වශයෙන් සංවේදනය වේ. දේශගුණික විපර්‍යාසවල නගී එන තර්ජනාත්මජ්ක ස්වභාවය, ඕසෝන් ස්ථරය ක්ෂය වීම, ගෝලීය ජෛව විවිධත්වය අහිමිවීමේ අවදානම සහ වායුගෝලය සහ සාගර යනාදී ලෝකයටම පොදු ස්වභාවික සම්පත් දූෂණයට ලක් වීම  මීට උදාහරන ලෙස දැක්විය හැක. මේ අතුරින් වඩාත්ම ලෝකය කෙරෙහි බලපෑම් ඇති කරන ගැටලුව ලෙස දේශගුණික විපර්‍යාසවල වෙනස් වීම් දැක්විය හැක.

NEP විසින් මෙම තේමාත්මක කණ්ඩායම උප කොටස් 2කාට් බෙදා ඇත.දේශගුණික විපර්‍යාසවලට අනුවර්තනය වීම, අවම කිරීම සහ තුරන් කිරීම, අනෙකුත් ජාත්‍යන්තර පාරිසරික අභියෝග සහ ජාත්‍යන්තර සහයෝගීතාව පවත්වා ගැනීම පිලිවෙනින් මෙහි 11 සහ 5 ප්‍රතිපත්ති ප්‍රකාශන වල අඩංගු වේ. මීට අමතරව NEAPහි උපාය මාර්ග 6ක් සහ ක්‍රියා පිලිවෙල් 121කින් සමන්විත තිරසාරත්වය සඳහා දේශගුණික ක්‍රියාකාරකම් පිලිබඳ කොටසක් අන්තර්ගත් වේ.

  • ගොඩ නගන ලද පරිසරය සහ හරිත සංවර්ධනය

ගොඩ නගන ලද පරිසරය ලෙස මිනිස් ක්‍රියාකාරකම් සඳහා සැකසුම සපයන ගොඩනැගිලි, උද්‍යාන, ජල සම්පාදන, බලශක්ති ජාල ආදී යටිතල පහසුකම් සහිත, මිනිසා විසින් ගොඩනගූ වටාපිටාව හඳුන්වයි. මෙම පරිසරය හරිත නගර, හරිත සංවර්ධනය සහ නිෂ්පාදනය, හරිතකරණය සිදුවෙමින් ගොඩනැගෙන නගරාශ්‍රිත පරිසරය ආදියෙන් සමන්විත වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මෙම තාක්ෂණය පැරණි තාක්ෂණය සමඟ එක්වී සංවර්ධන උපාය මාර්ගයක් බවට පත් වීම සලකා බැලෙමින් පවතී. මෙම තාක්ෂණය යොදා ගැනීම යටිතල පහසුකම් ප්‍රවර්ධනයේදී සැලකිය යුතු ආයෝජනයක් වනු ඇත.

NEAPහි තේමාත්මක ක්ෂේත්‍රය 8, නගර සහ මානව ජනාවාසවල පාරිසරික කළමනාකරණය, තිරසාර අරමුනු සපුරාලීම සඳහා උපාය මාර්ග 9ක් හා ක්‍රියා පටිපාටි 60කින් සමන්විත වේ. 9වන ය්තේමාත්මක ප්‍රදේශය හරිතකරණ කර්මාන්ත පිලිබඳව උපාය මාර්ග 9ක් හා පියවර 72කින් සමන්විතය.

  • හරස් කැපීමේ ගැටලු සහ අභියෝග

මෙම තේමාත්මක ක්ෂේත්‍රය ආයතනික සම්බන්ධීකරණය, සම්පත් බලමුලු ගැන්වීම, වෙළඳපල පාදක උපකරණ, පර්‍යේෂණ සහ සංවර්ධනය, අධීක්ෂණය සහ ඇගයීම උදෙසා දත්ත සහ තොරතුරු, සාම්ප්‍රදායික දැනුම, සම්ප්‍රදායික පිලිවෙත්, ප්‍රජා සහභාගීත්වය සහ සහභාගීත්ව කළමනාකරණය, පුහුණුව, අධ්‍යාපනය සහ දැනුවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරයි.

මෙය මෑත කාලීන NEAP පෙර අනුවාදවලට වඩා වෙනස් වෙන්නේ, එහි දාර්ශනික පිරිවැය, නව්‍ය මූල්‍ය යාන්ත්‍රණ සහිත් සම්පත් බලමුලු ගැන්වීමේ සැලැස්මක් සහ සන්නිවේදන සහ දැනුම කළමනාකරණ පරිච්ඡේදයක් අඩංගු වන බැවිනි. තවද, මෙහි NEAP ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය සඳහා ආයතනික විධිවිධාන ද මෙහි අන්තර්ගත් වේ. එබැවින් ඉදිරිපත් කර ඇති ක්ෂේත්‍ර 9ට අමතරව, NEAPහි සම්පත් බලමුලු ගැන්වීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණ ව්‍යුහයන් සහ සන්නිවේදනය, තොරතුරු සාහ් දැනුම යන අංශ හරස් කැපුම් ක්ෂේත්‍ර 3ක් ලෙස සපයනු ලැබේ.

මෙම එක් එක් තේමාත්මක ක්ෂේත්‍ර තවදුරටත් විමර්ෂනය කර, රටේ යථාර්තය පිලිබඳව විවේචනාත්මක විශ්ලේෂනයක්, සකස් කල ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලසුම් සමඟ ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු. එබැවින් රැඳී සිටින්න.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter