Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණික විපර්යාස සමඟ ලංකාවේ හේන් වගාවට ඇතිවී තිබෙන බලපෑම්!

දේශගුණික විපර්යාස පසුගිය කාලයේ දී තීව්‍ර වීමත් සමඟ ලංකාවේ ගොවි ප්‍රජාවට ද ඒ ඔස්සේ ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුව තිබෙන අතර ආහාර සුරක්ෂිතතාව අද ප්‍රධාන ගැටළුවක් බවට පත්වී තිබෙනවා. එසේම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වර්ෂාපතන රටාවේ වෙනස් වීම් ආදී කරුණු හේතුවෙන් ගොවීන් බොහෝ දෙනෙක් සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවලින් ඈත් වී නවීන ක්‍රමවලට යොමු වී ඇත.

නවීන කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ “සාම්ප්‍රදායික හේන් වගා ක්‍රමය” ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට තුඩු දෙන වනාන්තර විනාශයට දායක වන බවත්, එමගින් සමහර ශාක හා සත්ත්ව විශේෂ තර්ජනයට ලක්ව ඇති බවත්ය. අප මෙහිදී සාකච්ඡාවට බඳුන් කරනුයේ ශ්‍රී ලංකාවේ ඉපැරණි හේන් වගා සංකල්පයන් සහ ක්‍රමෝපායන් පිලිබදවත්, ඒ පිළිබද පවතින දුර්මත/අසත්‍ය තොරතුරු පිලිබදවත්ය. එසේම, වර්තමානයේ “සාම්ප්‍රදායික හේන් වගාවන්” දැකිය නොහැකි බවත් හේන් වගා කරනවා යනුවෙන් සිදුවන්නේ හුදු නවීන වගාවේම කොටසක් බවත් කිව මනාමය. 

ශ්‍රී ලංකාවේ ගොවිතැනේ මුල්ම අවස්ථා 

අතීතයේ මිනිසුන් සොබාදහම සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන සිටියා. දඩයම් කාලය ක්‍රමයෙන් පහව යනවාත් සමග, ආදි මිනිසා තම වාසස්ථාන අසල බෝග වගා කිරීමට පටන් ගත්හ. වගා කිරීම හෙවත් ගොවිතැන පිළිබඳ ශ්‍රී ලංකාවෙ  පැරණිතම සාක්ෂි හමුවන්නේ හෝර්ටන් තැන්නෙනි. පර්යේෂක ප්‍රේමතිලකයන්ගේ වාර්තා වලට අනුව, හෝර්ටන් තැන්නෙන් හමුවූ  ඕට් (Avena sp.) සහ බාර්ලි (Hordeum sp.) යන ශාක විශේෂයන් හි පරාග, වසර දාහත් දහසකට වඩා පැරණිය. ඉන් නිගමනය වන්නේ, වර්තමානයෙහි මෙන් නොව ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශවල දේශගුණික තත්ත්වයන් ඕට්ස් සහ බාර්ලි වගාව සඳහා හිතකර වූ බවත්, ආදි මිනිසා එය වගාවක් ලෙස සිදු කළ බවත්ය.

තවද, කාවන්තිස්ස රජුගේ පාලන සමයේදී (ක්‍රි.පූ. 205- ක්‍රි.පූ. 161) එකම පවුලේ සහෝදරයන් උඳු (Vigna mungo) වගා කිරීම සඳහා හේන් පවත්වාගෙන ගිය බව මහාවංශ සඳහන් කරයි. මේ ගැන වැඩි විස්තර සඳහා පිවිසෙන්න. 

හේන් වගාව යනු කුමක්ද? 

හේන් වගාව යනු ගොඩ ගොවිතැන් ක්‍රමයක් වන අතර එය වසර 5000කට වඩා ඈත අතීතයට දිවෙන ශ්‍රී ලංකාවේ පැරණිතම වගා ක්‍රමයකි. මෙම ගොවිතැන් ක්‍රම බොහෝවිට සිදු කෙරුනේ, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ය. එනමුත් මෙම හේන් වගාවේදි සිදු කරන ශාක කපා දැමීම සහ පිළිස්සීම දරුණු ලෙස වන විනාශයට හේතු වන බව ඇතැමේක් පෙන්වා දෙයි. මේ පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක් මෙම ලිපියෙන් ඉදිරිපත් වනු ඇත.  

සාම්ප්‍රදායික හේන් වර්ග

සාම්ප්‍රදායික හේන් ගොවිතැන් ක්‍රම කිහිපයකි. “නවදැලි හේන”, “අත් දඬුව හේන”, “මුකුලන් හේන” සහ “හේන් කනත්ත” යනුවෙන් ප්‍රධාන වශයෙන් හේන් වර්ග හතරකි. එලෙසම වගාවට යොදාගත් චාරිත්‍ර ක්‍රම සහ විශ්වාසයන් ද බොහොමයකි.  මේ එකිනෙක පිළිබඳව විමර්ශනාත්මකව බැලීම වැදගත්ය.

නවදැලි හේන

“නවදැලි”  යන්නෙහි සරල අර්ථය “නැවුම් දල්ල”  යන්නයි. පෙර මානව ස්පර්ශයක් නොමැති වූ  කැලෑ ප්‍රදේශයක් එළිපෙහෙළි කර ගිනි තබා වගා කිරීම “නවදැලි හේන” ලෙස හඳුන්වයි. ඉඳුල් නොවූ පරිසර පද්ධතියක් බැවින් එය ඉහළ අස්වැන්නක් ලබාදෙයි. නවදැලිහේන සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීම තරමක් අසීරුය. ඇතැම් විට මෙම ප්‍රදේශය තෝරා ගැනීම සඳහා යම් යම් අභිචාර විධි (චාරිත්‍ර, වාරිත්‍ර සහ විශ්වාසයන්) ද අනුගමනය කර ඇති අතර නවදැලිහේන සඳහා යොදා ගෙන ඇත්තේ ඉතා කුඩා ප්‍රදේශයකි. එසේම මෙහිදී විශාල ගස් සහිත ප්‍රදේශ මග හැරීමට ද වගබලාගත් අතර පැළක් ඇටවීමට සුදුසු ගසක් දෙකක් සහිත ප්‍රදේශයක් තෝරා ගැනෙනවා.  

ගොවීහු  ගස් මත තම කුටි ඉදි කළ අතර රාත්‍රී කාලයේ දී එහි සිට පැල් රැකීම සිදු  කළහ. එසේම, මෙම ක්‍රමය යටතේ වගා කිරීම සඳහා ගොවි ප්‍රජාවන් කුඩා ප්‍රදේශ වලට වැඩි කැමැත්තක් දැක්වූයේ, එයින් වනාන්තරයට විශාල විනාශයක් සිදු නොවන නිසාත්, ඒ සමඟම කුඩා භෝග පහසුවෙන් කළමනාකරණය කළ හැකි නිසාත් ය.  

මෙම හේන් වගාව කැලෑ ආශ්‍රිතව සිදුකරන බැවින් නිරතුරුව වන සතුන්ගේ හානි වලට ලක්වීමේ අවදානමක් ද තිබෙනවා. මෙය මගහැරවා ගැනීමට ගොවීන් විවිධ උපක්‍රම භාවිතා කළහ. පැල් කවි කීම, සී පද කීම, හුළු අතු පත්තු කිරීම, ලොකු පොල්ලකින් බිමට තට්ටු කරමින් හේන වටේ කෑගසමින් ගමන් කිරීම මෙවැනි ක්‍රම කිහිපයකි. සතුන් මෙම ක්‍රම වලින් ඇති වන කම්පන වලට හා ශබ්දයට සංවේදී වෙමින් හේන සහිත භූමිය මගහැරීමට කටයුතු කරයි. මෙලෙසින් වන සතුන්ට හානි කිරීමෙන් වැළකී උපක්‍රමශීලීව සතුන් වගා භූමියෙන් පිටමන් කිරීමට හේන් ගොවින් අතීතයේ සිට පෙළඹී තිබුණි.

තවද අතීත ගොවියා කල් යල් බලා ගොවිතැන් කළහ. හේන් වගාව සඳහා ද වසරේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තිබුණි. විශේෂයෙන්ම දේශගුණය පිළිබඳ ඔවුහු වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රධාන වශයෙන් මහ කන්නය වගා කටයුතු සඳහා යොදා ගැනුණා. එනම් අගෝස්තු සිට අප්‍රේල් දක්වා කාලයයි. අගෝස්තු යනු සාමාන්‍යයෙන් ලංකාවේ නියම් කාලයයි. දිගු නියඟයකින් පසුව ඇතිවන වැස්ස, “අක් වැස්ස”  ලෙස හඳුන්වයි.  “අක් වැස්ස” කෙරෙහි ඔවුහු දැඩි අවධානයක් යොමු කළහ.

කෙසේනමුත් අද වන විට මෙම තත්වය වෙනස් වී ඇත. දේශගුණික විපර්යාසවල බලපෑම් නිසා වර්ෂාපතන රටාවේ විශාල වෙනස්කම් සිදු වී ඇත. කලට වැහි නොලැබෙන අතර අපේක්ෂිත නොවූ දිගු නියං කාලයන් ට මුහුණ දීමට සිදුවී ඇත. මේ හේතුවෙන්, සාම්ප්‍රදායික ගොවිතැනින් බැහැරව, ජාන වෙනස් කරන ලද , වැඩි අස්වැන්නක් ලබාදෙන බෝග වගා කිරීමට ගොවින් යොමුවී තිබෙනවා. මෙයින් වන හානිය තවමත් නිසි ලෙස තක්සේරු කර නොමැත. එසේම රසායනික පොහොර හා පළිබෝධනාශක නවීන ගොවිතැනට අත්‍යවශ්‍ය සාධක වී ඇත. මේ හේතුවෙන්, සාම්ප්‍රදායික ගොවිතැන හා සබැදි සාධනීය පැතිකඩ පිළිබද ගවේෂණයක් කිරීමට අපි පෙලබුනෙමු.

හේන් ගොවිතැන හා සම්බන්ධ දුර්මත හා අසත්‍ය පුවත් මෙලෙස සාකච්ඡාවට බදුන් කරන ලදී.   

දුර්මතය: හේන් වගාව හරහා විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශ වේ.

සත්‍ය කරුණු: හේන් වගාවේදී  එකවර විශාල භූමි ප්‍රදේශයක්  යොදා නොගනියි. කුඩා බිම් පෙදෙසක් යොදා ගත්තද එය ද කාලයකට පසු අතහැර දමයි. නැවත වන රෝපණයට ඉඩ සලසයි.  

පෙර සඳහන් කළ නවදැලි හේන මෙම චෝදනාවේ ප්‍රධාන කොටස්කරුවෙකු  බවට පත්වේ. මන් ද යත් එක එල්ලේම වනාන්තරය එළි කර ගොවිතැන සඳහා යොදාගන්නේ නවදැලිහේන නිසාවෙනි. නමුත් මෙම ක්‍රමය යටතේ වගාව කන්න දෙක තුනකට පසු අත්හැර දමයි. එනම් එම ප්‍රදේශයේ වනාන්තරය නැවත වර්ධනය වීමට ඉඩ සලසයි. නවදැලිහේන පිහිටනුයේ වනාන්තරය තුළ බැවින් අවට ගස්කොළන් මගින් ලැබෙන පරාග, බීජ සහ පෝෂ්‍ය පදාර්ථ ලැබීම නිසා භුමිය නැවත වන වැස්මක් බවට ඉක්මනින් පරිවර්තනය වේ.

කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ගස් වලින් සමන්විත කටු හා පඳුරු වනාන්තර ‘මුකලාන’ ලෙස හැඳින්වේ. මෙම ප්‍රදේශවල සිදු කරන ලද හේන් ගොවිතැන හැඳින්වූයේ “මුකලාන හේන” යනුවෙනි.

කන්න කිහිපයකට පසු ඉඩම නිසරු වූ පසු ගොවීන් එය අත්හැර දමනු ඇත.  එවිට, මෙම හේන් “හේන් කනත්ත ” ලෙස හැඳින්වූ අතර හේන් කනත්තේ වගා කරනුයේ වයෝවෘද්ධ හෝ ආබාධිත වැඩිහිටි ගොවීන්ය. මන් ද යත් නව හේන් සොයා ගැනීමට ඔවුන්ට කැලෑවට පිවිසිය නොහැකි නිසාත්, වන සතුන් සමග තරග කරමින් හේන් රැක බලා ගත නොහැකි නිසාත්ය. හේන් කනත්ත ද කන්න කිහිපයකින් පසු අත්හැර දමයි.  

හේන් වගාවේදි, කන්න කිහිපයක් වගා කිරීමෙන් පසු, ගොවීන් සාමාන්‍යයෙන් එම ඉඩම අතහැර දමා (පුරන් කිරීම) ස්වභාවිකව එහි සාරවත් බව යථා තත්ත්වයට පත් වීමට ඉඩ දෙයි. එවැනි කාලවලදී, ගොවීන් “හේන්” පිහිටුවීම සඳහා වෙනත් ප්‍රදේශයකට මාරු වේ. මෙලෙස කාලයත් සමඟ වගා කරන ස්ථානය වෙනස් කිරීම මගින් පස සහ වනාන්තරය නැවත උත්පාදනය කිරීමට ඉඩ සලසයි.

නවීන කෘෂිකාර්මික ක්‍රම සහ වන විනාශයට ඇති බලපෑම

ශ්‍රී ලංකාවේ පසුගිය දශක කිහිපය තුළ සාම්ප්‍රදායික හේන් ගොවිතැන සඳහා යොදාගත් ප්‍රදේශවල මානව ජනගහනය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. නූතන මිනිසාගේ සංකීර්ණ අවශ්‍යතා සපුරාලීම සඳහා මහා පරිමාණයෙන් සිදුවන නවීන කෘෂිකර්මාන්තය ප්‍රමුඛ වී ඇති අතර මෙම වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා ආහාර නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇත. මේ වගාව සඳහා විශාල භූමි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වන විනාශය වර්තමානයේ විශාල වශයෙන් සිදුවෙමින් පවතී. විවිධ වර්ගවල වගාවන් ඇතුළු විවිධ හේතු නිසා 2019 වසරේ ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 16.5ක් දක්වා අඩු වී ඇති අතර එය 2017 වසරේ සියයට 29.7ක් වූ බව වාර්තා විය. 

වනාන්තර කපා දැමූ විට, ශාක ද්‍රව්‍යය වල ගබඩා කර ඇති කාබන්, CO2 ලෙස වාතයට මුදා හරින අතර එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වේ. නැවත වන වගාව සිදු වුවහොත්, විමෝචනය වන CO2 නැවත නැවතත් ගස්වලට අවශෝෂණය කරගත හැකිය. හේන් වගාවේදී නැවත වන වගාව සිදු වන අතර,  ක්‍රමානුකූලව සිදු කරන හේන් වගාව පරිසරයට එතරම් හානියක් නොවේ. නමුත් නවීන කෘෂිකාර්මික ක්‍රියාවලියේ නැවත වන වගාවක් දැකගත නොහැක. එම නිසා එය වන විනාශයට සෘජුවම බලපාන අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට සහ දේශගුණික විපර්යාසවලට දායක වේ. 

තවද, නවීන කෘෂිකාර්මික ක්‍රමවලදී, වගා කිරීම සඳහා බෝග වර්ග එකක් හෝ කිහිපයක් තෝරා ගනු ලැබේ. එම නිසා දීර්ඝ කාලයක් වගා කිරීමේදී භෝග මාරු කිරීමක් සිදු නොවේ . එබැවින් පසෙහි සාරවත් බව සැලකිය යුතු ලෙස අඩු වනු ඇත. දිගු කලක් නිසරු භූමි ප්‍රදේශයක් වන බැවින්, අවසානයේදී මෙම බිම් කොටස් ගොවිතැන් සඳහා භාවිතා කළ නොහැකි මුඩු බිම් බවට පත් වේ.  

සාම්ප්‍රදායික ගොවිතැනින් ලබා දෙන විසඳුම්

පැරණි හේන් ගොවියා පස නිසරු වීමේ ගැටළු විසඳීම සඳහා භාවිතා කළ උපක්‍රමයක් නම්,  හේන් ගොවිතැන තුළ ගොවිබිම් මාරු කිරීම යි. එය කෘෂිකර්මාන්තයේ ඉහළ ඵලදායිතාව සහ තිරසාර බව සහතික කරන අතරම පසෙහි වැඩි පෝෂක කොටස් ඉතිරි කිරීමට හේතු විය. 

බෝග භ්‍රමණය යනු පාංශු ව්‍යුහය දිගු කාලයක් පවත්වා ගැනීම සඳහා සාම්ප්‍රදායික හේන් සංකල්ප සමඟ වැඩි වැඩියෙන් භාවිතා කරන තවත් උපාය මාර්ගයකි. එයින් අදහස් වන්නේ කාලානුරූපීව එකම ප්‍රදේශයේ එකවර විවිධ භෝග මාලාවක් වගා කිරීමයි. බෝග භ්‍රමණය මගින් එක් විශේෂයක් අඛණ්ඩව වගා කිරීමේදී බොහෝ විට ඇතිවන රෝග කාරක සහ පළිබෝධකයන් ගොඩ නැගීම අවම කරයි.  

දුර්මත: හේන් ගොවිතැන බරපතල පාංශු ඛාදනයකට තුඩු දෙයි.

සත්‍ය කරුණු: හේන් පිහිටුවීමේ මුල් අවධියේදී පාංශු ඛාදනය සිදුවිය හැකි නමුත් බහු-බීජ වගාව භාවිතා කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කළ හැක.  

අතීතයේ දී ගොවීන් විවිධ බීජ වර්ග එකවර වගා කළහ. ඔවුන් එකවර විවිධ බීජ වගා කළද, ශාක වර්ධනය වන විට, එය වෙනස් කාල පරිච්ඡේදයක් ගත වේ. එබැවින් වසර පුරා විවිධ වර්ගයේ භෝග ගොවීන් විසින් අස්වනු නෙලනු ඇත. මෙම බහු බීජ වගා ක්‍රමය පසෙහි ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට ද හේතු විය. කාලානුරූපීව එකම ප්‍රදේශයේ එකවර විවිධ භෝග මාලාවක් වගා කිරීම මගින් එක් විශේෂයක් අඛණ්ඩව වගා කිරීමේදී බොහෝ විට ඇතිවන රෝග කාරක සහ පළිබෝධකයන් ගොඩ නැගීම අවම කරයි. රනිල ශාක (කවුපි, මුං, මෑ), ගැඹුරට මුල් බැස ඇති සහ නොගැඹුරු මුල් සහිත ශාක මාරු කිරීම මගින් පස ව්යුහය සහ සාරවත් බව වැඩි දියුණු කරයි. 

දුර්මත: හේන් වගාවේ භාවිතා කරන සම්ප්‍රදායික ක්‍රම වර්තමානයට  නොගැලපේ.  

සත්‍ය කරිනු: වර්තමානයේ දේශගුණික වෙනස්වීම හමුවේ සම්ප්‍රදායික හේන් ගොවිතැන් ක්‍රම සියයට සියයක්ම නොගලපෙනු ඇත; නමුත් මේ ක්‍රම බොහොමයක් අදටත් වලංගුය. මෙම ක්‍රම බොහොමයක් ඵලදායී සහ පරිසර හිතකාමී වේ. 

අපේ මුතුන් මිත්තන් වසර දහස් ගණනක් ගොවිතැන් කර  ඔවුන්ද සුවපත් වෙමින් මහපොළවද සුවපත් කල බව ජනශ්‍රැති පර්යේෂක සහ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ උපදේශක මණ්ඩලයේ සාමාජික මහින්ද කුමාර දළුපොත මහතා පැවසීය. එයට දිගු ඉතිහාසයක් ඇති අතර එය පාරම්පරික දැනුම ලෙස හැඳින්විය හැකිය.  

මෙම සාම්ප්‍රදායික දැනුම අදටත් එකසේ වලංගු නමුත් පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විකෘති වී ඇති බැවින් මෙම ව්‍යුහයන් නැවත සංවර්ධනය කළ යුතුය. පස ශක්තිමත් කළ යුතුය. රසායනික කෘමිනාශක, දිලීර නාශක, වල් නාශක භාවිතය නතර කළ යුතු අතර ඒ සමඟම පළිබෝධවලට ඔරොත්තු දෙන පැල සිටුවිය යුතුය. මෙම ශිල්පීය ක්‍රම භාවිතයෙන් පරිසර පද්ධතිය නිසි ලෙස නඩත්තු කළ හැකි බව මහින්ද දළුපොත පැහැදිලි කළේය.  

පහතින් දැක්වෙන්නේ පැරැන්නන් භාවිතා කල පැරණි  කෙම් ක්‍රම කිහිපයකි.

                             කප්පරවල්ලිය කෙම                                          පිරිත් තෙල් කෙම 

හේන් වගාවන් සඳහා භාවිත කරන පළිබෝධ මර්දනය සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේද වර්තමානයේ දක්නට නොලැබෙන අතර ජනතාව මහා පරිමාණයෙන් ඒක බෝග වගාව කෙරෙහි අවධානය යොමු කර ඇති බවද මහින්ද කුමාර දළුපොත මහතා පැවසීය. ඒ අතරම හේන් වගාව නිසා පරිසරයට ද බරපතළ හානි සිදුවන බව ජනතාව විශ්වාස කරති. නවීන ගොවිතැන හා සසඳන විට එය සැබවින්ම පරිසර හිතකාමී තිරසාර ක්‍රමයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය. දැනට පවතින වඩාත් සංකීර්ණ ජීවන රටා, අවශ්‍යතා හමුවේ සාම්ප්‍රදායික හේන් ගොවිතැන් ක්‍රම වර්තමානයට ගැලපෙන ලෙස වැඩි දියුණු කරගනිමින් භාවිතයට ගැනීම කල මනාමය.

සාම්ප්‍රදායික හේන් ගොවිතැනෙහි වන විනාශය අවම කිරීමටත්, පස වැඩි දියුණු කිරීමටත්, ගෝලීය උණුසුම අඩු කිරීමටත් දායක වන සාධනීය කරුණු බොහොමයක් තිබෙන බව අපගේ ගවේෂණය හමුවේ පැහැදිලි විය. 

Also, read this in English

,
Silila Sandawala
Silila Sandawala
Articles: 8

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter