Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

තීව්‍ර වන මෝසම් තත්ත්වය සමඟ වායු ගුණාත්මකභාව පිරිහීම පිලිබඳ මුළු ලංකාවම විමසිල්ලෙන්!

ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි සංවර්ධිත රටවල් බොහෝදුරට ගෝලීය කාබන් විමෝචනය  සඳහා ප්‍රධාන වශයෙන් ම දායක වූ රටවල් ලෙස සඳහන් වෙනවා. එසේම කුඩා සහ දුර්වල ආර්ථික තත්වයන් හිමි රටවල් සාමාන්‍යයෙන්, අඩු හරිතාගාර වායූන් සහ දූශිත අංශු ප්‍රමානයක් වායුගෝලය වෙත මුදාහරිමින්, ගෝලීය විමෝචනය සඳහා දක්වන්නේ අවම දායකත්වයක්.

නමුත්, දේශගුණික විපර්‍යාසවල සමානුපාතික නොවන බලපෑම් හේතුවෙන් කාර්මික හා සංවර්ධිත රටවල් හා සංසන්දනය කරන විට, සංවර්ධනය වෙමින් පවතින සහ ආන්තරාදායක තත්වවලට ලක්වීම සඳහා වැඩි අවදානමක් තිබෙන රටවල් සාපේක්ෂව වඩා බරපතල දේශගුණික අලාභ හානිවලට මුහුණ දෙයි. COP27 (පසුගිය නොවැම්බර් 6 වනදා සිට 18 වනදා දක්වා පැවැත්වුනු 27th Conference of the Parties) තුළ ද මේ පිළිබඳව වැඩිදුර අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ කුඩා දූපත් රාජ්‍යන්, මෙවන් අහිතකර දේශගුණික තත්වයන්ගෙන් පීඩා විඳිමින් පවතී. මීට ආසන්නතම සිද්ධිය ලෙස, මෑතකදී අසල්වැසි රටවල බලපෑම නිසා ශ්‍රී ලංකාව තුළ ඇති වූ වායු දූෂණ තත්වය හැඳින්විය හැක. මේ තත්වය වර්තමානයේ රට තුළ මහත් ආන්දෝලනයන්ට සහ කතාබහට ලක්වූ කාරණයකි. ලංකාව පුරා බොහෝ නගරවල පැහැදිලි අහස සහ වාතය අපැහැදිලි, අඳුරු ස්වභාවයට පත්වී, දිවයිනේ වායුගෝලයේ ගුණාත්මක බව පිරිහීමත් සමඟ, සමාජ මාධ්‍ යජාලා ආදියේ මෙම තත්වය පිළිබඳව සහ ආරක්ෂණ ක්‍රියාමාර්ග පිලිබඳව නිරන්තර කතාබහට ලක්විය.

සමාජ මාධ්‍ය ජාලාවල පලකෙරුණු අදහස්

පුනර්ජනනීය බලශක්තිය සහ දේශගුණික විපර්‍යාස පිළිබඳව විශේෂඥයෙකු වන ආචාර්‍ය විදුර රලපනාව මහතා, ශ්‍රී ලංකාවේ වායුගෝලය තුළ වාතයේ ගුණාත්මකභාවය බව පැහැදිලි කරමින් පහත පණිවිඩය සමාජ මාධ්‍යට නිකුත් කළේ ය.

“රට පුරා ඇතිවී ඇති මෙම අඳුරු තත්වය සඳහා හේතුව ඔබට දැනගැනීමට අවශ්‍ය නම්, ඊට හේතුව වන්නේ ඉන්දියාවේ සිට බෙංගාල බොක්කේ ඇති  වායුගෝලීය අවපීඩන තත්වයක බලපෑම නිසා වායුගෝලය ඔස්සේ  පහළට තල්ලු වී රට වෙතට එන දූෂිත වායු අංශුන් වේ. මේවා ඉතා අනතුරුදායකයි. එබැවින් ආරක්ෂිත ක්‍රියාමාර්ග සහිතව කටයුතු කරන්න.”

Fctcrescendo Sri Lanka කණ්ඩායම සහ Climate Fact Checks කණ්ඩායම මෙම සංසිද්ධිය පිටුපස ඇති හේතූන් විමර්ෂණය කළේ මෙලෙසින්.

ආචාර්‍ය විදුර රලපනාව මහතා

පලමුවෙන් අප, ආචාර්‍ය විදුර රලපනාව මහතාව සම්බන්ධ කරගත් අතර, එතුමා ශ්‍රී ලංකාවේ වත්මන් අවදානම් වායු තත්ව දර්ශක අගයන් (Air Quality Index – AQI) පිළිබඳව ඔහුගේ ස්ථාවරය පැහැදිලි කලේය.

ඔහු පවසන්නේ, ප්‍රධාන වශයෙන් ඊසාන දිග මෝසම් හේතුවෙන් ඉන්දියානු අර්ධද්වීපයේ දැවැන්ත භූමි ප්‍රදේශය ඔස්සේ පැමිණෙන අහිතකර අංශු, රටේ වර්තමානයේ පවතින අඳුරු ස්වභාවය ඇති කරන බවත්,  දැනට බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය නිසා මෙම තත්වය තීව්‍ර වන බවත් ය.

කෙසේ වෙතත්, ආචාර්‍ය රලපනාව මහතා පවසන්නේ, මෙම වායු දූෂන තත්වය ඊසානදිග මෝසම් සුළං රටා ආරම්භ වීමත් සමඟ ඍතුමය වශයෙන් සිදුවෙමින් පවතින බවයි.

මෙම තත්වයට ප්‍රධාන වශයෙන් හේතු තුනක් බලපාන බව ආචාර්‍ය රලපනාව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

“ඉදිරි මාස කිහිපය තුළ (නොවැම්බර් – දෙසැම්බර් සිට ලබන වසරේ පෙබරවාරි-මාර්තු දක්වා) සුලඟේ වියළි ස්වභාවය හේතුවෙන් දූවිලි අංශු සුළඟේ දිගටම පවතියි. ඉන්දියානු ගොවීන් අස්වැන්න නෙලීමෙන් පසු මෙම මාසවලදී කෘෂිකාර්මික ඉඩම් පුලුස්සා දමනවා (stubble burning). තවත් හේතුවක් වන්නේ ඉරාන කාන්‍තාරවලින් බංගලාදේශය හරහා එන සුළං තරංගයි.”

නමුත් විශේෂත්වය වන්නේ මෙවර එම තත්වය අනෙකුත් වසරවලට වඩා තීව්‍ර වීම බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

“දැනට, බෙංගාල බොක්කේ සුලිකුණාටු සිදුවීමක් පවතිනවා. සුළං තරංග මේ හේතුවෙන්න් අසාමාන්‍ය හැසිරීමක් පෙන්වන අතර ඒ හේතුවෙන් දූවිලි අංශු ශ්‍රී ලංකාවට වැඩිවශයෙන් ආකර්ෂණය වෙනවා.”

ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල පවතිනමේ වත්මන් දුමාරයට ඉන්දියානු උපමහද්වීපය හරහා පැමිණෙන අංශුවර්ග කිහිපයක්  ඇතුලත් බවත් ඔහු පැවසුවේ ය.

“එකක් ඉන්දියානු ගල් අඟුරු බලාගාර හා සම්බන්ධ අංශු, අනෙක කාර්මික අපද්‍රව්‍ය ,එමෙන්ම කාන්තාර ආදිය හරහා පැමිණෙන දුවිලි අංශු මෙන්ම, ඉන්දියානු එදිනෙදා ජන ජීවිතයේදී වායුගෝලයට මුදාහැරෙන අංශු “, ඔහු විස්තර කළා.

තවද මෙම අංශු ශරීරයට ඇතුලත් වීම මඟින්, ශ්වසන පද්ධතිය ආශ්‍රිත සහ වෙනත් විශේෂිත සෞඛ්‍ය ගැටලු ඇති වී, මහජන සෞඛ්‍ය තත්වය කෙරෙහි බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇති බවට ආචාර්‍ය රලපනාව මහතා අනතුරු ඇඟවූයේ ය.

කෙසේ වෙතත්, ඔහු අවධාරනය කලේ මෙම ප්‍රබල වායු දූෂණමය තත්ත්වය වැඩි කාලයක් නොපවතිනු ඇති බවත්, එය දින කිහිපයක් ඇතුලත බෙංගාල බොක්කේ පීඩන අවපාතයේ අවසානය සමඟ හෝ සුළි කුණාටුව අවසන් වීමත් සමඟ නිරාකරණය වනු ඇති බවත් ය.

සරත් ප්‍රේමසිරි මහතා – ජාතික ගොඩනැගිලි පර්‍යේශන ආයතනය (NBRO)

ශ්‍රී ලංකා ජාතික ගොඩනැගිලි පර්යේශන ආයතනයේ වායු තත්ව ඒකකයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥයෙකු වන සරත් ප්‍රේමසිරි මහතාව අපි සම්බන්ධ කර ගත්තෙමු.

ඔහු පැවසුවේ මේ දිනවල වාතයේ ස්වභාවය පිළිබඳව පවතින දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වාතයේ තත්වය, මට්ටම් 150 සිට 200 අතර පරාසයක පවතින බවයි. මෙම තත්වය සෞඛ්‍යයට අහිතකර බවත් එතුමා පැවසීය. සුළැං සහිත කාළගුණික තත්වය යටතේ, ඉන්දියානු අර්ධද්වීපයේ සිට එන අහිතකර අංශු ද මේ සඳහා හේතුවන බව තවදුරටත් අදහස් දක්වමින් එතුමා පැවසීය.

“මෙම දූවිලි අංශු පිළිබඳ ගැටලුව වසර ගණනාවක් තිස්සේ මෝසම් සමය වනවිට උද්ගත වෙනවා. නමුත් බෙංගාල බොක්කේ පීඩන අවපාත තත්වය සමඟ මෙම විශේෂිත මොහොතේ එම ගැටලුව තවදුරටත් තීව්‍ර වෙමින් පවතිනවා.”

“පෙර වසරවලදී පවා, ශ්‍රී ලාංකීකයින් සඳහා සෞඛ්‍ය සම්පන්න හා එතරම් හිතකර නොවන ඉහල AQI අගයන් අපට දැකීමට ලැබුනා. කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුවේ බලපෑමත් සමඳ එම අගය මේ දිනවල පෙර වසරවලට වඩා ඉතා ඉහළ අගයක පවතිනවා.” සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මහජනතාවට මෙම වායු දූෂක අංශුවලින් ආරක්ෂා වීම සඳහා කටයුතු කරන ලෙසත්, ඒ සඳහා නිවසින් පිටතට යන අවස්ථාවලදී දී මුහුනු ආවරණ පලඳින ලෙසටත් ය.

පසුගිය කාලවලදී ද දක්නට ලැබුණ ප්‍රවනතාවයක්…

ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මකභාවය පිරිහීම පිළිබඳව අතීත වාර්තා ද අප විසින් අධ්‍යනය කෙරුණි. පසුගිය මාසවලදී මෙම පිරිහීම් ක්‍රමයෙන් වැඩිවෙමින් පැවති බව අපි දුටුවෙමු. එසේම 2019, 2020 වසරවලද සිටම දක්නට ලැබෙන පරිදි, සෑම වසරකම නොවැම්බර් – ජනවාරි අතර කාල සීමාවේදී මෙම තත්ත්වය ඉහළ යාමේ ප්‍රවනතාවක් පැවතුණි.

2020 වසරේදී, ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ පරිදි වායු දූෂණයේ වැඩිවීමක් පැවත ඇත. වාර්තාගත පරිදි, ඉන්දියාවෙ අර්ධද්වීප කලාපයෙන් හමා එන අහිතකර පරාමිතීන් ඉහළ අගයන්ගේ පවතින, දූෂිත වායු අංශු මීට ඉහළ බලපෑමක් සිදු කරයි.

ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්

“ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක උද්ගතවී ඇති වාතයේ ගුණාත්මකභාවයේ අඩුවීම් තත්වය නිසා,  ළමුන්, වැඩිහිටියන් සහ ශවසන රෝගවලින් සහ ආසාත්මිකතාවලින් පෙලෙන අය පිටතට යාම හැකිතාක් සීමා කිරීමට කටයුතු කල යුතුයි. එසේ යාමට සිදුවන්නේ නම්, මුහුණු ආවරණ පැලඳිය යුතුයි.” – වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් ශ්‍රී ලංකිකයින්ගෙන් ඉල්ලා සිටින ලදී.

ජාතික පෙනහලු විද්‍යායතනයෙන්ද ප්‍රකාශ වුණේ වර්තමාන තත්වය පිළිබඳව ඔවුන්ද  අවධානයෙන් පසුවෙන බවත්, මුහුණු ආවරණ පැලඳීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ල සිටින බවත්‍ ය.

ඇත්තටම ලංකාවේ වායු ගුණාත්මකභාවයේ (AQI) පිරිහීම කෙතරම් දරුණු තත්වයක්ද පවතින්නේ?

AQI අගය ඉහල යන විට වායු දූෂණයේ මට්ටමද වැඩිවේ. වායු දූෂණයේ මට්ටම වැඩි වීමත් සමඟ සෞඛ්‍ය අවදානම වැඩි වේ. 50 හෝ ඊට අඩු AQI අගය වාතයේ ඉතා හොඳ ගුණාත්මකභාවයක් පෙන්නුම් කරන අතර, 300ට වඩා වැඩි AQI අගය වාතයේ ආන්තරාදායක සහ අවදානම් සහගත් තත්වයක් පෙන්නුම් කරයි.

කෙසේ වෙතත්, AQI අගය 150 – 200 අතර සිට ඊට ඉහල අගයන් කරා යන විටද, සෞඛ්‍යට අහිතකර ලෙසට සැලකේ. ඊට හේතුව වන්නේ, සමාන්‍ය ජනතාව අතරින් සමහරක් මීට සංවේදී වීමට ඉඩකඩ පැවතීමයි. එනම් කුඩා දරුවන්, වැඩිහිටියන්, බෝනොවන රෝග පවතින පුද්ගලයින් ආදීන් වේ. 200 -300 අතර AQI අගයක් ඉතාමත් අහිතකර ලෙස සලකන්නේ, එහිදී ‘සෑම කෙනෙකුටම වඩා බරපතල සෞඛ්‍ය බලපෑම් අත්විඳීමට ඉඩ ඇත.’  යන පදනම මතය.

කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, මහනුවර, කෑගල්ල, මුලතිවු සහ පොලොන්නරුව ඇතුළු , ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන නගර බොහෝමයක. දෙසැම්බර් 07 වැනිදා AQI අගය 150 ට ඉහල සෞඛ්‍යට හානිකර තත්වයන් වාර්තා කර තිබුණා.

එසේම පහත ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ පසුගිය මාසය පුරා කොළඹ වායු තත්ව දර්ශකය AQI විචලනය වූ ආකාරයයි. රතු පැහැයෙන් AQI අගය 150ට වඩා වැඩියෙන් වාර්තා වූ දින පෙන්නුම් කරයි.

බොහෝ ජාත්‍යන්තර වායු තත්ව දර්ශක ද, ශ්‍රී ලංකාවේ AQI අගයේ අහිතකර මට්ටමට වැඩිවීම වාර්තා කර ඇත. ඒ අනුව සංවේදී කණ්ඩායම් විසින් මෙහි බලපෑම අවම කර ගැනීමට, දූෂිත අංශුවලට නිරාවරනය වීම අවම කර ගැනීමට පියවර ගත යුතුය.

ආචාර්‍ය රවිද්‍ර කාරියවසම් මහතා – පාරිසරික සහ ස්වභාව අධ්‍යන මධ්‍යස්ථානය (CENS)

ආචාර්‍ය රවිද්‍ර කාරියවසම් මහතා පවසන්නේ, “කාර්මික නගරවල අධික විෂ සහිත වායූන් සුළං රටාවේ වෙනස්වීම් සමඟ ශ්‍රී ලංකාව දෙසට හමා ඒමට පටන් ගෙන තිබෙනවා. එසේම, සුළඟේ දිශාව වෙනස් වීමක් සමඟ, කොළඹ දූෂිත වාතය ඉන්දියාව දෙසට හමා යෑමටද අවස්ථාව තිබෙනවා. ප්‍රශ්නය සුළඟ නෙවෙයි, ඉහල ලාභ ලබා ගැනීම සඳහා සමාජයට හානියක් කරමින් පරිසරය අඛන්ඩව විනාශ කරමින් සිදි කෙරෙන කර්මාන්තයන් . ඉන්දියාවේ වගේම ලංකාවේද මේ තත්වය පොදු තත්වයක්.” ලෙසයි.

“දූෂිත අංශු මෙන්ම විවිධ විශාල දූවිලි අංශු වාතයත් සමඟ එක්වී ඒ සමඟ ගමන් කරනවා. ශ්‍රී ලංකාවේ මෙම ප්‍රමාණය ගණනය කෙරෙන්නේවත් නැහැ. මේ අනුව දකුණු ආසියාතික කලාපයේ මෙවැනි තත්වයකදී ගත යුතු පියවර පිලිබඳව පාරිසරික හා දේශපාලනික කතිකාවතක් අපි ආරම්භ කල යුතුයි.” රවිද්‍ර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

අනෙක් රටවලින් නිකුත් වෙන අහිතකර වායූන් අපේ රටට බලාපාන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය, මන්නාරම් බොක්ක හා පෝක් සමුද්‍ර සන්ධියෙන් වටවී තිබේ. ඉන්දියාව හා මාලදිවයින ද අවටින් පිහිටා ඇත. ඉන්දියාව අප කවුරුත් දන්නා පරිදි දැනට වේගවත් සංවර්ධන ක්‍රියාවලියකට බඳුන් වෙමින් පවතින් රටකි. කාර්මික ධාරිතාවය ඉහළ යාමත් සමඟ, ඉන්දියාව අනෙකුත් රටවල් සමඟ සසඳන විට, වැඩි වශයෙන් හරිතාගාර වායූන් නිකුත් කරයි. අනෙක් අතට, ‘ඉන්දියාව ලෝකයේ ඉහලම වායු දූෂණය සහිත රටවල් අතරින් පස්වන ස්ථානයේ ශ්‍රේණිගත කර ඇත.’ .

මෙම දූෂිත වාතය මෝසම් වර්ෂා, වසර අවසාන නත්තල් කුණාටු සහ සුළං සමඟ ශ්‍රී ලංකාවට සහ ඒ අවටට ගලා එයි. මෙහිදී විශේෂ කරුණක් වන්නේ, නොවැම්බර් සිට පෙබරවාරි දක්වා මාස කිහිපය තුළ, ශ්‍රී ලංකාව, වසර කිහිපයක් මුලුල්ලේ මෙම තත්වය කලින් කලට අත් විඳීමයි.

ධූමිකාව (smog) සහ අංශුමය ද්‍රව්‍ය යනු මොනවාද?

ධූමිකාව හෙවත් smog යන වචනය ඇති වී තිබෙන්නේ smoke – දුම සහ fog – මීදුම යන වචනවල එකතුවෙනි. එනම් ධූමිකාව යනු දූෂිත වාතය නිසා හටගන්නා දුමෙන් සහ මීදුමෙන් ඇතිවන තත්වයකි. මේ වන විට අපට දැකගත හැකිවන ධූමිකාව, ප්‍රකාශරසායනික ධූමිකාවකි. ප්‍රකාශ රසායනික ධූමිකාව හටගන්නේ, සූර්‍යාලෝකය, නයිට්‍රජන් ඔක්සයිඩ සහ වායුගෝලයේ පවතින අවම වශයෙන් එක් වාශ්පශීලී වන කාබනික සං‍යෝගයක්වත් (VOC) සමඟ ක්‍රියා කිරීමෙනි.

නයිට්‍රජන් ඔක්සයිඩ නිකුත් වන්නේ මෝටර් රථ පිටාර, ගල් අඟුරු බලාගාර සහ කර්මාන්තශාලාවල සිදුවන විමෝචනයන්ගෙනි. VOC නිකුත් වන්නේ, පෙට්‍රල්, තීන්ත සහ බොහෝ පිරිසිදු කිරීමී දියරවලින් . සූර්යාලෝකය මෙම රසායනික ද්‍රව්‍යවලට පහර දෙන විට, එයින් වායු අංශු, වායුගෝලයේ පහළ මට්ටමේ පවතින ඕසෝන් හෝ ධූමිකාව ඇතිවේ.

ශ්‍රී ලංකාව සලකා බැලීමේදී, රටේ ප්‍රධාන ප්‍රදේශවල අංශුමය ද්‍රව්‍ය ඉහල මට්ටමක් වාර්තා වී ඇත. එය PM 2.5 (විෂ්කම්භය මයික්‍රොමීටර් 2.5ට අඩු) අගයක් දරයි. PM යනුවෙන් අදහස් කෙරෙන්නේ, දූවිලි, දුඹුලු, කසල හෝ දුම් වැනි සාමාන්‍යෙන් පියවි ඇසින් නිරීක්ෂනය කල හැකි ඝන අංශු සහ ද්‍රව බිඳිති වේ. මෙම අගය ඉහල යන විට, ධූමිකාව හෝ ගුණාත්මක භාවය අවම වාතය මඟින් වාතයේ පාරදෘ‍ෂ්‍ය භාවය අඩු කරමින්, වායුගෝලයේ දුමක් ලෙසින් දිස් වේ.

වසර අවසානයේ දී ඉන්දියාව ඇතුළු අනෙකුත් ආසියාතික රටවල්වල ධූමිකාවේ තත්ත්වය

මෑතකදී, අල්ජසීරා පුවත් සේවය වාර්තා කලේ, ශීත ඍතුවේදී ඝන දුමාර තට්ටුවක් නවදිල්ලිය ආක්‍රමණය කරන අතර, එහි මිලියන 20ක පමණ ජනතාව අතර ශ්වසන රෝගවල සැලකිය යුතු ඉහල යාමකට මෙය හේතුවන බවයි.

ජාතික ගොඩනැගිලි පර්‍යේශන සංවිධානය (NBRO) විසින් සිදු කරන ලද පර්‍යේෂන අධ්‍යනයක සඳහන් වූයේ, NBRO හි වායු තත්ත්ව අධීක්ෂන මධ්‍යස්ථාන මඟින් ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල ලබාගත් දත්තවලට අනුව, “කාළගුණික තත්ත්වවල වෙනස් වීම් හමුවේ වෙනත් රටවලින් මෙරටට සංක්‍රමණය වන වායු දූෂකයන් නිසා, ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව මට්ටම,  පිරිහී යමින් පවතී.” යන ලෙසයි.

රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්වය දැඩි ලෙස අවදානමට ලක්කරමින්, ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම දූෂිත වායු තත්ව වැඩි වශයෙන් පැතිරී යයි. ඉන්දියාවේ දිල්ලිය, කල්කටා, පාකිස්ථානයේ ලාහෝර්, කරච්චි, වියට්නාමයේ හැනෝයි සහ බංගලාදේශයේ ඩකා වැනි ප්‍රධාන නගර සියුම් වායු දූෂක අංශු සම්බන්ධයෙන් ඉහලම මට්ටම (PM 2.5) වාර්තා කර ඇත. මෙහි අඩංගු මෘදු අංශු ද්‍රව්‍ය, දූෂිත ප්‍රදේශවලින් ඉහලට ගමන් කර, සුළඟ සමඟ දිගු දුරක් ගමන් කර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රදේශ කරා ලඟා වේ. මෙහිදී වායු දූෂක අංශු මට්ටමේ ඉහල යාම තාවකාලික වේ. සුළං රටාව වැනි කාළගුණික විපර්‍යාස තත්ව හමුවේ ඒවා එක් ස්ථානයක රදා පවතින කාලය තීරණය වේ.

මෙම තත්ත්වයේ බරපතලකම ඉන්දියාව තුළ මෑතකාලීනව සිදුවූ මරණවලින් තහවුරු වේ. ඉන්දියාවේ වායු දූෂණයේ තත්වය බරපතල වෙමින් පවතින අතර, මෙම දැඩි ආන්තරාදායක තත්වයන් පාලනය සඳහා රටේ ඇතැම් ප්‍රදේශ අගුලු ලෑමට කටයුතු කර ඇත. මෙයින් වැඩිම අවදානමට ලක්වී ඇති පිරිස ලෙස කුඩා දරුවන්, ගර්භනී කාන්තාවන් සහ වැඩිහිටියන් ලෙස වර්ගීකරණය කල හැක.

ලෝක වායු දූෂණ ශ්‍රේණිගත් කිරීම්වල දී ලංකාවේ තත්වය

IQAir  හි වාතයේ ගුණාත්මකබව හා වායු දූෂණය අනුව නගර ශ්‍රේණිගතකිරීම්වලට අනුව, 2022 දෙසැම්බර් 09 වන විට ලෝකයේ වඩාත්ම දූෂිත නගර අතරි පලමු ස්ථානය පකිස්ථානයේ ලාහෝර් පත් වූ අතර, එහිදී දෙවන තැනට පත් වූයේ ඉන්දියාවේ දිල්ලි නගරයයි. ශ්‍රී ලංකාවේ කිසිදු නගරයක් ගෝලීය වශයෙන් දූෂිතම නගර 100 අතරට ඇතුලත් වූයේ නැත. නමුත්, ගෝලීය වශයෙන් ලොව දූෂිතම රටවල් යටතේ එම ලැයිස්තුවේ 58වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ගෝලීය වායු තත්ව වාර්තාවට අනුව, PM 2.5 අගයක් දැරීම සමඟ 2019 වසරේදී අග්නිදිග ආසියාතික රටවල් 13 අතර ශ්‍රී ලංකාව 06 වෙනි ස්ථානයට ශ්‍රේණිගත කර ඇත.

ශ්‍රී ලංකාවේ දේශගුණික හා වායුගෝලීය තත්ත්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති බාධා

ලෝකයේ අරමුදල්, හමුදා බලය, දැනුම සහ ස්වභාවික සම්පත් බෙදීයාම පාලනය කරන්නේ ලොව දියුනු ජාතීන් විසිනි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සතුව පවතින්නේ ඔවුන්ට සාපේක්ෂව සීමා සහිත මූල්‍ය ධාරිතාවක් පමණි. සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික ප්‍රගමන ධාරිතාවද සාපේක්ෂව අවම ය. මෙම තත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතයත් සමඟ වර්තමාන තත්වය කෙරෙහි දැඩි සේ බලපායි.

වායු දූෂණය අවම කිරීම සඳහා COP27හි කාර්ය භාරය

COP27 සමුළුවේ දී අවධාරණය වූ කරුණක් වුයේ ශතවර්ශයේ මධ්‍ය භාගයට පෙර සංවර්ධිත රටවල් ශුන්‍ය කාබන් විමෝචනයක් ලබා ගැනීම මඟින් ඔවුන්ගේ යුතුකම දුප්පත් හා අවදානමට ලක්විය හැකි රටවල් වෙනුවෙන් ඉටු කල යුතු බවයි.

COP27 දී, දේශගුණික සහ පිරිසිදු වායු පිළිබඳ සන්ධානයේ (Clean Air Coalition (CCAC)) රටවල් 40කට වැඩි ප්‍රමාණයක අමාත්‍යවරුන් සහ නායකයන්, අන්තර් රාජ්‍ය සංවිධාන, ව්‍යාපාර, විද්‍යාත්මක ආයතන සහ සිවිල් සමාජ සංවිධානවල බොහෝ හවුල්කරුවන් සමඟ එක්ව දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා නව සහයෝගිතාවයක් ගොඩනගා ගැනීමට උත්සාහ දරන ලදී .

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter