Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

ශ්‍රී ලංකාවේ රිලවුන් අපනයනය සම්බන්ධ නීතිමය පසුබිම

රිලවුන් ශ්‍රී ලංකාවේ බොහෝ ගම්මාන ආශ්‍රිතව වෙසෙමින් කෘෂිකාර්මික භෝගවලට හානි කරන සතුන් අතරින් ඉහළින්ම සිටින සත්වයෙකි. මෑත කාලීනව පවා රට තුළ මෙවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින අතර, රිලවුන්ගෙන් සිදුවන මෙම වගාහානි සීමා කරන්නේ කෙසේද යන්න පිළිබඳව රට තුළ අඛණ්ඩව සාකච්ඡා වෙමින් පවතී. මේ අතරතුර ශ්‍රී ලංකා රජය විසින් මෙම අර්බුධයට විසඳුමක් වශයෙන් චීනයට රිලවුන් අපනයනය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම සිදු කර ඇත.

මීට පෙර ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, චීනයේ අභයභූමි සහ සත්වෝද්‍යාන සඳහා චීනය විසින් රිලවුන් ලක්ෂයක ප්‍රමාණයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බවයි. කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, චීන රජය කිසිවිටෙක එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් නොකළ බවයි. මේ අනුව, මෙම ගැටළුව සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සංවාදයක් මතු වී තිබේ. මෙම ලිපියෙන් රිලවුන් අපනයනය කිරීමේ නීතිමය, සදාචාරාත්මක සහ චිත්තවේගීය අංශවල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරේ.

මෙම ලිපිය හරහා,

  • රිලවුන් වැනි ආවේණික සත්ත්ව විශේෂ අපනයනය කිරීමේ නීතිමය අනුමැතිය සහ නෛතික පසුබිම
  • වෙනත් රටකට අපනයනය කරන ලද සතෙකුට ඇතිවන ගැටළුවකදී ශ්‍රී ලාංකිකයින්ට ගත හැකි පියවර මොනවාද?
  • නීති විරෝධී අභියෝගවලන් සතුන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පාර්ශ්ව නීත්‍යානුකූලව මැදිහත් වන ආකාරය
  • ශ්‍රී ලංකාව තුළ රිලවුන් මිලියන 3ක් සිටින බවට පවතින ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සහ රිලා ගහණයන්ගේ ජීව විද්‍යාත්මක පාලන ක්‍රම
  • සතුන් අපනයනය කිරීමේ සදාචාරාත්මක පසුබිම, සංස්කෘතික බලපෑම සහ මානව-රිලා ගැටුම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ස්වභාව විද්‍යාඥයින්ගේ මැදිහත් වීම

පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කෙරේ.

පසුබිම

විද්‍යාත්මකව Macaca sinica ලෙස හැඳින්වෙන රිලවුන්, ශ්‍රී ලංකාවට ආවේණික old world monkey විශේෂයකි. Toque macaque ලෙසද හැඳින්වෙන රිලවුන් වැසි වනාන්තර, වියළි වනාන්තර මෙන්ම, නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පවා වාසස්ථාන කරගෙන වෙසෙයි.

රිලවුන් මධ්‍යම ප්‍රමාණයේ වඳුරු විශේෂයක් වන අතර, සාමාන්‍යයෙන් වැඩිහිටි සත්ත්වයෙක් කිලෝග්‍රෑම් 4ක් 8ක් අතර බරැති වේ. සර්ව භක්ෂක වන මොවුන්, පළතුරු, කොළ, කෘමීන් සහ කුඩා සතුන් අනුභව කරයි.

රිලවුන් දුසිම් කිහිපයක් එක් වී සාදාගන්නා කණ්ඩායම් ලෙස ජීවත් වෙයි. මොවුන් සමාජීය සත්ත්ව විශේෂයකි. මෙම කණ්ඩායම්වල ගැහැණු සත්ත්වයින්, පිරිමි සතුන් කෙරෙහි ආධිපත්‍ය දරන අතර, දැඩි සමාජ තත්ත්ව ධූරාවලියක් ඇත. මොවුන් විව්ධ හඬ රටා, අභිනයන් සහ මුහුණේ ඉරියව් භාවිත කරමින් එකිනෙකා සමඟ සන්නිවේදනය කරයි.

මේ වන විට වාසස්ථාන අහිමි වීම, සංචලනය සීමා වීම වැනි කරුණු මෙන්ම, ආහාර සඳහා දඩයම් කිරීම සහ සුරතල් සතුන් ලෙස යොදා ගැනීම හේතුවෙන් රිලවුන් අවදානමට ලක් විය හැකි ජීවී විශේෂයක් ලෙස සැලකේ. ඊට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව තුළ රිලා ගහණය සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා සං‍රක්ෂණ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

රිලවුන් අපනයනය පිළිබඳව නීතිමය පසුබිම

රිලවුන් අපනයනය කිරීමේ නීතිමය පසුබිම පිළිබඳ තොරතුරු දැනගැනීමට අප විසින් ජ්‍යේෂ්ඨ පරිසරවේදී ආචාර්‍ය ජගත් ගුණවර්ධන මහතාව සම්බන්ධ කරගැනුණි. එතුමා ශ්‍රී ලංකාව පදනම් කරගත් නීතීඥවරයෙක්, පරිසරවේදියෙක් සහ අධ්‍යාපනඥයෙක් වන අතර, වනජීවී සං‍රක්ෂණය සහ පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා ප්‍රසිද්ධ වී ඇත.

අපගේ පළමු පැනය වූයේ රටට ආවේණික සත්ත්වයින් වෙනත් රටකට යැවීමේදී රට තුළ ඒ සඳහා ක්‍රියාත්මක වන නීතිය කුමක්ද යන්නයි. මීට පිළිතුරු දෙමින් ආචාර්‍ය ජගත් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, ආවේණික වන මෙන්ම නොවන ඕනෑම ජීවී ප්‍රභේදයක් ශ්‍රී ලංකා වෘක්ෂලතා සහ සත්ත්ව ආරක්ෂණ ආඥාපනත මඟින් ආරක්ෂා කෙරෙන බවයි.

මෙම ආඥාපනතට අනුව ශ්‍රී ලංකාවේ සත්ත්ව සහ වෘක්ෂලතාවලට ආරක්ෂාව සහ සං‍රක්ෂණය සඳහා අදාල විධිවිධාන සැලසේ. තවද එම සත්ත්ව සහ ශාක ආශ්‍රිත වාණිජ සූරාකෑම් වැළැක්වීමට සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා සැපයීමට ක්‍රියා කරයි. ක්ෂලතා සහ සත්ත්ව ආරක්ෂන ආඥාපනත සඳහා යොමුවීමට මෙතනින්. මෙම ආඥාපනත හරහා ශ්‍රී ලංකාවේ ජීවත් වන සෑම සත්ත්වයෙකුටම සහ පැළෑටියකටම ජීවත් වීමේ අයිතිය, ආරක්ෂාව සහ වාණිජමය වශයෙන් අනිසි ලෙස භාවිතය තහනම් කිරීම සිදු කර ඇති බව අපට වැඩිදුර අධ්‍යනවලදී දැනගැනීමට ලැබුණි.

එසේම, යම් අවස්ථාවකදී අහම්බයෙන් හෝ මෙම අදාල සත්ත්ව විශේෂයක් වෙනත් රටකට යැවීමෙන් පසු, ආරක්ෂාව නොමැති වීම, නිසි පහසුකම්වලින් තොර වීම වැනි ගැටළුවලට මුහුණ දීමට සිදුවූ බව සිතමු. මෙවන් අවස්ථාවකදී සිදුවන දේ සහ ශ්‍රී ලංකා රජයට මීට මැදිහත් විය හැකිද යන්න අපි විමසා බැලුවෙමු.

ආචාර්‍ය ජගත් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ, “අපේ රටේ අධිකරණ බලය වෙනත් රටකදී ක්‍රියාත්මක කිරීමට අපට නොහැකියි. එය එක්සත් ජාතීන්ගේ සම්මුතියේ පළමු වගන්තියේදීම සඳහන් කරුණක්. මෙවැනි කරුණක් සඳහා මැදිහත් වීමට නම්, ද්වී පාර්ශ්වික ගිවිසුමක් හෝ ලොව පුරා සත්ත්ව සහ වෘක්ෂලතා සඳහා ආරක්ෂාව සපයන CITES වැනි බහුපාර්ශ්වික ගිවිසුමක් තිබීම අවශ්‍යයි. නැතිනම් අපට වෙනත් රටක ක්‍රියාවලිය සඳහා මැදිහත් විය නොහැකියි. ඒ අනුව සත්ත්වයින් වෙනත් රටකට අපනයනය කළ පසු, එම රටවලින් සතුන් පිළිබඳ ගන්නා තීරණ සඳහා මැදිහත් වීම සඳහා වෙනත් මාර්ගයක් අප සතු වන්නේ නැහැ.” යන්නයි.

CITES සලකා බැලීමේදී, එයින් අදහස් වන්නේ Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora නොහොත් ‘වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව සහ ශාක විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය’ ලෙස හැඳින්වෙන රටවල්වල රජයන් අතර ජාත්‍යන්තර ගිවිසුමකි. වන සතුන් සහ ශාක විශේෂවල නිදර්ශක ජාත්‍යන්තර වෙළඳපොළේ වෙළඳාම් කිරීම හමුවේ, ජීවී විශේෂයේ පැවැත්මට තර්ජනයක් නොවන බව තහවුරු කිරීම මෙම සම්මුතියේ මූලික අරමුණයි.

මෙම වෙළඳාම්, සජීවී සත්ත්ව සහ ශාක නිදර්ශකවල සිට ආහාර නිෂ්පාදන, දැව සහ ඖෂධ, සම් ආශ්‍රිත නිෂ්පාදන ආදී වනජීවී නිෂ්පාදන විශාල ප්‍රමාණයක් දක්වා විශාල පරාසයක විහිදේ. ඇතැම් ශාක සහ සත්ත්ව විශේෂ සූරාකෑමේ මට්ටම ඉතා ඉහළ තත්ත්වයක පවතින අතර, ඒවායේ වෙළඳාම, වාසස්ථාන අහිමි වීම වැනි අනෙකුත් සාධක සමඟ එක්ව, එම ජීවීන්ගේ ගහණය දැඩි ලෙස ක්ෂය වී යා හැකි අතර, මෙවැනි ඇතැම් විශේෂ වඳවී යාමට පවා ආසන්න තත්ත්වයට පත් වේ. වෙළඳාම් සඳහා යොදා ගන්නා බොහෝ ජීවී විශේෂ වඳවීමේ තර්ජනයට ලක් වී නොමැති ජීවීන් ය. නමුත්, අනාගතය සඳහා සම්පත් සුරැකීම සඳහා මෙම වෙළඳාම් කටයුතුවල තිරසාර බව සහතික කිරීම සඳහා ගිවිසුමක් අත්‍යවශ්‍ය වේ.

කෙසේ නමුත්, රිලවුන් සම්බන්ධව ගත් විට, මොවුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී ලැයිස්තුවේ ඇත. එයින් අදහස් වන්නේ මෙම විශේෂය වනාන්තරවලින් වඳවී යාමේ ඉතා ඉහළ අවදානමක් සහිත ජීවී කාණ්ඩයක් ලෙස සැලකෙන බවයි. මෙම වර්ගීකරණය සිදු කර ඇත්තේ The International Union of Conservation of Nature – සොබාදහම සං‍රක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය හෙවත් IUCN විසිනි. IUCN රතු දත්ත ලැයිස්තු ප්‍රවර්ග සහ නිර්ණායක, ගෝලීය පැවැත්ම සඳහා අවදානම් සහිත ජීවී විශේෂ වර්ගීකරණය කිරීම සඳහා වඩාත් පහසුවෙන් සහ පුළුල් ලෙස අවබෝධ කරගත හැකි වීම අරමුණු කරගෙන ඉදිරිපත් කර ඇත.

CITES

වනසතුන් සහ ශාක විශේෂවල ජාත්‍යන්තර මට්ටමේ වෙළඳාම එම විශේෂයන්ගේ පැවැත්මට තර්ජනයක් නොවන බව සහතික කිරීම අරමුණු කරගනිමින්, Convention on International Trade of Endangered Species (CITES) හෙවත් විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ සම්මුතිය මඟින් ලෝකයේ බහුතරයක් රටවල් සීමා තුළ බැඳ තබා ගනී. මේ සම්මුතිය සඳහා රටවල් 184ක් ඇතුළත්වන අතර, ශ්‍රී ලංකාව මෙන්ම චීනය ද මෙහි පාර්ශ්වකරුවන්‍ ය.

CITES පාර්ශ්වයන් නීත්‍යානුකූලව එකිනෙකට බැඳී සිටියත්, ජාතික මට්ටමේ නීතිවල ස්ථානයක් ලබා ගැනීමට එය සමත් වී නැත. ඒ වෙනුවට, රටවල්වල මේ ආශ්‍රිත නීති ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා මෙන්ම තමන්ගේම දේශීය නීති සම්මත කරගැනීම සඳහා, CITES ජාතික මට්ටමේ රාමුවක් සකස් කර දෙයි. CITES ආශ්‍රිත බැඳීම් සඳහා නීතිමට තත්වය මෙබඳුයි.

ආචාර්‍ය ජගත් තවදුරටත් පැහැදිලි කළේ මෙලෙසයි. “සාමාන්‍යයෙන් අපි සතුන් අපනයනය කරන විට, සතුන් පිළිබඳව පසුව වෙනම සොයා බැලීමට අවශ්‍ය නැහැ. මොකද කිව්වොත් අපි සාමාන්‍යයෙන් සතුන් අපනයනය කරනේ රසායනාගාර පර්යේෂණ සඳහා යොදා ගැනීමට හෝ මිනිස් භාවිතය සඳහා නෙවෙයි. හොඳ අරමුණු සඳහා යොදා ගැනීමට විතරයි.” මෙහිදී අපට පෙනී ගියේ සාමාන්‍යයෙන් සතුන් අපනයනය කිරීම සිදුකරන්නේ සතුන්ගේ සුබ සිද්ධිය පිළිබඳව පවා විමසා බලා බවයි. ආචාර්‍ය ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දැක්වුවේ යම් සත්ත්වයෙක් කූඩු තුළ අභිජනනය කිරීම හෝ සත්වෝද්‍යානයක් සඳහා හුවමාරු කිරීම වැනි, සත්ත්ව වර්ගයාගේ පැවැත්ම අරමුණු කරගෙන අපනයනය කරන බවයි. මෙවැනි අවස්ථාවකදී පවා අප සැලකිල්ලට ලක් කළ යුතු යම් යම් දේ පවතී. ඒවා නම්,

  • අදාල සත්වෝද්‍යානයේ, ලබා දෙන සත්ත්වයාගේ අඛණ්ඩ යහ පවැත්මට අවශ්‍ය පහසුකම් පවතීද?
  • සත්ත්වයින් අල්ලා ගැනීමට සහ නිදහස් කිරීමට භාවිත කරන ක්‍රම
  • සත්ත්වයින් ලබාගන්නාගේ හෝ සත්වෝද්‍යානයේ සතුන් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහ අවශ්‍යතා  තිබේද?

මීට අමතරව, සතුන්ට අවශ්‍යතා සැපයීම සඳහා ඔවුන්ට ඇති හැකියාව ආදිය පිළිබඳව ද විමසා බැලිය යුතුය.

මේ සමඟම, සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති ඔස්සේ රිලවුන් පිළිබඳව තවත් කරුණක් ප්‍රචලිත වී ඇත. එනම්, ශ්‍රී ලංකාව තුළ පරිසරයට දරාගත නොහැකි ප්‍රමාණයකින් රිලවුන් ජීවත් වන බවයි.

ශ්‍රී ලංකාව තුළ රිලවුන් මිලියන 3ක් ජීවත්වන බවට දැක්වෙන පුවත් සත්‍යද?

ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂ 30ක් ජීවත් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. කෙසේ වෙතත්, ලොව පුරා වඳුරන් පිළිබඳව විශේෂඥයින්, විද්‍යාඥයින් සහ ඔවුන්ගේ පර්‍යේෂණවලට අනුව, වඳුරන් සහ රිලවුන් ආදී සතුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බැවින් IUCN දත්ත වාර්තාවලට අනුව ඔවුන්ව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.

IUCN විසින් බැබුන් වඳුරන්ට සමානකමක් දක්වන වඳුරු විශේෂයක් වන ජෙලඩාවන්, ලක්ෂ 2ක පමණ ගහණයක් සහිත ලෙස ලැයිස්තුගත කර ඇත. මෙය මේ වන විට ලෝකයේ වැඩිම ගහණයක් සහිත වඳුරු විශේෂය ලෙස සැලකේ. ඒ අනුව රිලවුන්ගේ ගහණ ප්‍රමාණය මිලියන 3ක් තරම් විශාල අගයක් විය නොහැක.

ඒ අනුව, රිලවුන් උපරිම ලක්ෂ 2ක් ඉන්න බව උපකල්පනය කළහොත්, එයින් ලක්ෂයක් චීනය වෙත යැවූ විට ශ්‍රී ලංකාවේ ඉතිරි වන්නේ මුළු රිලවුන් සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි. ඒ හේතුවෙන්, නිසි සමීක්ෂණයක් සිදු නොකර, මෙම සත්ත්වයින් අපනයනය කළ හැකිද යන්න පිළිබඳව අප විසින් ආචාර්‍ය ජගත් මහතාගෙන් විමසන ලදී.

“ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට යම් වනගතව ජීවත් වන සත්ත්වයෙක් අපනයනය කිරීමට අවශ්‍ය නම්, ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව තුළ එම අදාල ජීවී විශේෂයේ තත්ත්වය, ඔවුන් සාමාන්‍ය ලෙස හෝ බරපතලවම වඳවීමේ තර්ජනයට ලක්ව තිබේද හෝ තර්ජනයට ලක්වී හෝ වෙනත් කුමන තත්ත්වයකට මුහුණ පා සිටියිද යන්න පිළිබඳ දැනගත යුතුයි. දෙවනුව, අදාල සත්ත්ව විශේෂ සඳහා රට තුල උප විශේෂ හෝ දේශීය උපවිශේෂ ගහණ ඇත්දැයි සොයා බැලිය යුතුයි. මොකද මේ උපවිශේෂ වඳවී යාමේ වැඩි විභවයක් පැවතිය හැකි නිසා.” එතුමා ප්‍රකාශ කළේය.

“ඒ වගේම, නිශ්චිත ජීවීන් සංඛ්‍යාවක් ඉවත් කිරීමෙන් පරිසරයට හානි ඇතිවිය හැකියි. ඒ නිසා ඉවත් කරන සතුන් සංඛ්‍යාව පිළිබඳ හොදින් විමසා බැලිය යුතුයි. සුළු සතුන් සංඛ්‍යාවක් ඉවත් කිරීම වුණත් සිදු කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙන්. මේ සියල්ලටම පස්සෙ, මෙම සතුන්ගේ අභිජනනය සිදුකරන ස්ථාන ප්‍රවේශමෙන් රැකබලා ගැනීමත් වැදගත්. මූලික වශයෙන් මෙවැනි ක්‍රියාවලියක් මෙහෙයවීමේදී අදාල සත්ත්වයා ගැන සහ ඔවුන්ගේ වාසස්ථාන ගැන අපි දැනගත යුතු කරුණු වන්නේ මේවා.” ආචාර්‍ය ජගත් ගුණවර්ධන මහතා පැවසීය.

තවද, පසුගිය දශක කිහිපයක කාලය තුළ දී ශ්‍රී ලංකාවේ වන ගහණය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මේ සමඟ රිලවුන්, වඳුරන් වැනි සතුන්ගේ ආහාර සහ වාසස්ථාන අහිමි වීම ඔවුන්ගේ ගහණයෙන් මිනිසුන්ට සිදුවන බලපෑම වැඩි වීමට හේතුවන ප්‍රධානම සාධකය ලෙස පෙනී යයි. අනෙක් අතට, මෙවන් වනාන්තර විනාශ දේශගුණික විපර්‍යාස සඳහා තුඩු දෙයි. රට තුළ වනාන්තර ගහණය ඉහළ නැංවීම වඳුරන් සහ රිලවුන් වැනි සත්ත්වයින් සඳහා නව වාසස්ථාන සහ ආහාර මූලාශ්‍ර සපයමින් රිලා මිනිස් ගැටුම් නතර කරවනු ඇත.

රිලා ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් සිදු වේ නම්, එය පාලනය කිරීමට පවතින ක්‍රමෝපායන් පිළිබඳවද අපි විමසා බැලුවෙමු.

රිලා ගහණ වර්ධනය පාලනය සඳහා විකල්ප

  • ප්‍රතිසන්ධිරෝධනය (ගැබ්ගැනීම් වැළැක්වීම): මෙම ක්‍රමයට රිලවුන් බෝවීම පාලනය කිරීම සඳහා හෝමෝන හෝ එන්නත් ලබා දීම ඇතුළත් වේ. අනවශ්‍ය ලෙස ගැබ් ගැනීම් වැළැක්වීම සහ බෝවීම වැළැක්වීමට මෙම ක්‍රමය ඵලදායී ක්‍රමයක් විය හැක.
  • වන්ධ්‍යාකරණය: මෙහිදී රිලවුන්ගේ ප්‍රජනක අවයව ස්ථිරවම ඉවත් කෙරෙන ශල්‍යකර්මයක් සිදු කරයි. එයද ගහණ වර්ධනය සඳහා ඉතා ඵලදායී ක්‍රමයකි.
  • නැවත ස්ථානගත කිරීම: වඳුරන් අඩු ගහණ සහිත ස්ථානවලට ගෙන ගොස් එම ප්‍රදේශවල ස්ථාපිත කිරීම මෙහිදී සිදු කරයි. මෙයින් ප්‍රදේශයකට අදාල ගහණ ඝණත්වය පාලනය කිරීම කළ හැක. මෙය ඵලදායී නමුත්, මුදල් සහ කාලය අධිකව වැය විය හැක.
  • වාසස්ථාන වෙනස් කිරීම: රිලවුන්ගේ මුල් වාසස්ථාන වෙනස් කිරීම සඳහා මෙහිදී අදාල ප්‍රදේශයෙන් ආහාර ප්‍රභව ඉවත් කිරීම වැනි දේ සිදු කර රිලවුන්ව අදාල පරිසරය තුළ වාසය කිරීම අධෛර්‍යමත් කර, ඔවුන්ගේ වාසස්ථාන ඔවුන් විසින් ම වෙනස් කර ගැනීම සඳහා පොළඹවයි.

රිලවුන, වඳුරන් වැනි සතුන් සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කරමින්, ඔවුන්ගේ ගහණ පාලනය කිරීම සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රම මානුෂීය සහ සදාචාරාත්මක ලෙස ක්‍රියාත්මක කිරීම වැදගත් ය. ඒ අනුව තෝරාගන්නා ශිල්පීය ක්‍රමය අදාල ජීවී විශේෂය සහ පරිසරය සඳහා සුදුසු බව සහ ඵලදායී බව සහතික කිරීම සඳහා විශේෂඥ උපදෙස් මෙන්ම පළාත් පාලන ආයතන සමඟ ද මෙම තත්ත්ව පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් ය.

රිලවුන් අපනයනය කිරීම පිළිබඳව ඇති සැලසුම් වහාම වළක්වන ලෙස ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන රජයෙන් ඉල්ලීම් සිදු කර ඇත. රිලා අපනයනය මඟින් රිලා මිනිස් අර්බුධයට කෙටි කාලීන විසඳුමක් ලබා දීමට ඉඩ පවතින නමුත්, එතුළින් අපේක්ෂිත අරමුණ ඉටු නොවන බව බොහෝ දෙනා රජයට පෙන්වා දෙයි. රජය මේ අවස්ථාවේදී කළ යුත්තේ, වඩාත් තිරසාර සහ ඵලදායී විසඳුමක් පිළිබඳව සොයා බැලීමයි.

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවේ දෙවියන්ව චීනයට විකිනීමට උත්සාහ කරන බව පරිසර සහ සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය පවසා සිටියි. පුරාණ ඉන්දියාවේ හින්දු භක්තිකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ හින්දු සහ දෙමළ ජනයා ගේ සාහිත්‍යයේ එන හනුමන්තා නම් වානර රජු නිසාවෙන්, ඔවුන් විසින් වඳුරන් දෙවිවරුන් ලෙස සැලකීය. ඒ නිසාම ඔවුන් වඳුරන්, රිලවුන් ආදී සතුන්ට හිංසා කිරීම නවතා, ඔවුන්ව සං‍රක්ෂණය කිරීම සඳහා පෙළඹී සිටියි. කෙසේ නමුත්, ශ්‍රී ලංකා රජය මෙම සංස්කෘතික සබැඳියාව පවා අවතක්සේරුවට ලක් කරමින් සිටින බැවින්, මේ ගැටළුව සඳහා මැදිහත් වන ලෙස පරිසර සහ සොබාදහම් මධ්‍යස්ථානය විසින් ඉන්දීර රජයට ඉල්ලීමක්, මේ වන විට ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය වෙත යොමු කර තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලය මේ සඳහා කළ විමසුම් වලදී පිළිතුරු ලබා දී ඇත්තේ, මෙම රිලවුන් සම්බන්ධ තීරණයක් සඳහා තම රජය මැදිහත් වී නොමැති බවයි. චීනය CITESහි පාර්ශ්වකරුවෙකි. එහි වනජීවී ආරක්ෂණ පනත 1988 වසරේදී සම්මත කර ඇත. චීන රජය සෑම විටම වනජීවී ආරක්ෂණය සඳහා ඉහළ වැදගත්කමක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම නිසි පරිදි, ක්‍රියාකාරීව ඉටු කරන බවට එහිදී තහවුරු කර ඇත. කෙසේ නමුත්, පරිසරවේදීන් තවමත් මෙම ආන්දෝලනාත්මක කතාබහ සහ තීරණ  නිසාවෙන් කණස්සල්ලට පත්ව සිටින අතර, ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව නිසි පිළිතුරක් ශ්‍රී ලංකා රජය විසින් ලබා දිය යුතු බව ඔවුන් පවසයි.

මෙම තත්ත්වය සඳහා ගැලපෙන මහත්මා ගාන්ධි මහතාගේ ප්‍රසිද්ධ කියමනක් ඇත. එනම්,, “ජාතියක ශ්‍රේෂ්ඨත්වය සහ එහි සදාචාර ප්‍රගතිය නිර්ණය කළ හැක්කේ ඔවුන් එහි සත්ත්වයින්ට සලකන ආකාරයට අනුවයි.” යන්නයි. එබැවින්, සමස්ත පරිසර පද්ධතියටම අහිතකර බලපෑම් ඇති කළ හැකි හෝ රිලා මිනිස් ගැටුම නරක අතට හැරීමට ඉඩ ඇති තත්ත්වයක් ඇතිවීමට  පෙර ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධ විමර්ෂණයක යෙදෙමින්, ඒ පිළිබඳව ලබා ගන්නා තීරණ මොනවාදැයි මහජනතාව සහ පරිසරවේදීන්ව දැනුවත් කිරීම ඉතා වැදගත් ය. මේ පිළිබඳ සියළු දෙනා විමසිල්ලෙන් බලා සිටියි.

ඔබට කිසියම් විමසීමක් ඇති නම් හෝ දේශගුණික විපර්‍යාස හෝ පරිසරයට අදාල සැක සහිත අන්තර්ගතයන් හමු වුවහොත් සහ ඔබ වෙනුවෙන් අප එම තොරතුරු තහවුරු කිරීමට අවශ්‍ය නම්, ඒ අන්තර්ගතයන් අපගේ Whatsapp ක්ෂණික ඇමතුම් අංකය: +917045366366 වෙත යොමු කරන්න.

Original Article: Legal Aspects & Detailed Analysis Regarding the Option of Exporting Toque MonkeysTranslated to Sinhala by Mihri Saparamadhu

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter