Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණික විපර්‍යාස වඳවීමේ තර්ජනයට ලක් වී සිටින ජීවීන්ට බලපාන අයුරු !!

පෘථිවිය මත ජීවත් වන වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින විශේෂයන් ස්වභාවික පරිසරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ විශාල අවදානමකට මුහුණ දී සිටින බව සැලකේ. වරක් A.W. විලියම්ස් ප්‍රකාශ කළේ, “පෘථිවිය සෑම දෙනාටම බෙදාහදා ගැනීමට ප්‍රමාණවත් තරම් විශාලය, නමුත් මනුශ්‍ය වර්ගයාගේ හදවත එය බෙදා ගැනීමට තරම් විශාල නොවේ.” යන ලෙසයි. ජීවී විශේෂ වඳවී යාමට බලපාන හේතු සාධක ගැඹුරින් විමසා බැලුවහොත්, දේශගුණික විපර්‍යාස යන කරුණ ඒ අතරින් ඉහළින්ම දැක්විය හැකිය. සාමාන්‍යයෙන් දේශගුණික විපර්‍යාස යනු ස්වභාවික සංසිද්ධියක් වූවද, මිනිසුන්ගේ ඇතැම් හැසිරීම් ද, දේශගුණික විපර්‍යාස තත්ත්වය උග්‍ර කිරීම සඳහා හේතු වේ. මෙම හේතූන් මඟින් ජීවී විශේෂවල ජීවිතවලට තර්ජනයක් ඇතිවිය හැකි නිසාවෙන්, සෑම වර්ශයකම මැයි 19වන දිනය ලෝක වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ගේ දිනය ලෙස නම් කර සැමරුම් පවත්වයි. මෙහිදී මූලික වශයෙන්ම සිදුවන්නේ මෙම ජීවීන් පිළිබඳව සහ ඔවුන්ගේ පැවැත්ම ඉදිරියටත් ගෙන යාම පිළිබඳව සමාජය දැනුවත් කිරීමයි. 

පසුබිම

2023 වසරේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ගේ දිනයේ තේමාව වන්නේ, ‘වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ පිළිබඳව පනතේ 50වන සැමරුම’යි. ඇමරිකා එක්සත් ජනපදයේ සම්මතව ඇති මෙම පනත, වඳවීමේ අවදානමට මුහුණ දී සිටින විශේෂ ආරක්ෂා කිරීම සඳහා ඇති බලවත්ම නීතිමය මෙවලමයි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ පිළිබඳව පනත, ඉහළ සාර්ථකත්වයක් ගොඩනගාගනිමින්, ජීවී විශේෂ 99%කටම මුළුමනින්ම මිහිතලයෙන් වඳවී යාමෙන් වළක්වමින්, ආරක්ෂාව සලසයි.

2023 වසරේ සැමරෙන්නේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ගේ දිනයේ 18වන සැමරුමයි. මීට අදාල සැමරුම්, ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයේ පැවැත්වෙන අතර, ඊට අමතරව ලොව පුරා අනෙකුත් කලාපවල රටවල් තුළදීද මෙම සැමරුම් මේ වන විට ජනප්‍රිය වෙමින් පවතී. ජාතික වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂයන්ගේ දිනයේදී, ලොවපුරා වඳවීමේ තර්ජනයට ලක්ව සිටින ගණයට අයත්වන ජීවී විශේෂ සං‍රක්ෂණය කිරීම පිළිබඳව පණිවුඩය ලොව පුරා ව්‍යාප්ත කරයි. දේශගුණික විපර්‍යාස, මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතූන් නිස බොහෝ ශාක සහ සත්ත්ව විශේෂ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇත. එවැනි විශේෂවල වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සහ ඔවුන් සුරැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලෝක නායකයින් දිරිමත් කිරීම මෙම දිනයේදී මූලික වශයෙන්ම සිදු වේ.

වඳවීමේ තර්ජනයට ලක් වූ ජීවී විශේෂ පිළිබඳව පනත පිටුපස කතාව

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ පිළිබඳ පනත (The Endangered Species Act – EST – USA) මෙතෙක් කාලයක් තුළ ඇති වූ ලොව පුරා ජීවී විශේෂ වඳවීම වළක්වා, ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඇති වඩාත්ම බලගතුම නෛතික පනතයි. මෙය සම්මතව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ නමුත්,ජාත්‍යන්තර වශයෙන් මෙය ඉතාම වැදගත් සහ බලපෑම් සහගත පනතකි.විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙලදාමේදී මෙය ඉතාම වැදගත්.මෙහිදී ජීවී විශේෂවලින් 99%ක්ම ලැයිස්තුගත කර, ඔවුන්ව මරාදැමීම වලක්වා ඇත. සං‍රක්ෂිත ලිපිය මෙතනින්. මෙම ලැයිස්තුගත කිරීම සිදු කර ඇත්තේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ විව්ධාකාර පර්‍යේෂණ සහ සමීක්ෂණ රැසක් මෙහෙයවීමෙන් අනතරුව, ඒවාගෙන් ලැබෙන දත්ත පදනම් කරගෙනය. මෙම පර්‍යේෂණ ඔස්සේ ඔවුන් විසින් අදාල විශේෂයන්ගේ  ජීවී ඝණත්වය සහ ඔවුන්ගේ වඳවී යාමේ අවදානම හඳුනා ගන්නා ලදී. මෙහිදී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ වාසස්ථාන සපුරා ගැනීමේ හැකියාව, ආහාර ලබා ගැනීමේ හැකියාව, ප්‍රජනන අනුපාතය සහ දේශගුණය ඇතුළු, ඔවුන් තර්ජනයට ලක් වීමට හේතුවන සෘජු සාධක රැසක් භාවිතා කරමින්, වර්ගීකරණය කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂවල තත්ත්වය

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් පොහොසත් රටකි. ජෛව විවිධත්ව උණුසුම් කලාපයට පවා ශ්‍රී ලංකාව අයත් වේ. කෙසේ වෙතත්, වර්ථමානය වන විට ශ්‍රී ලංකාව තුළ ජනගහණ වර්ධනය ඉතා ශීඝ්‍රයෙන් සිදු වේ. ඒත් සමඟ, වේගවත්ව සිදුවන නාගරීකරණයත් සමඟ, ස්වභාවික පරිසර පද්ධතිවලට හානි සිදුවීම නිසා  වනජීවීන්ට වාසස්ථාන අහිමි වීම, පාරිසරික දූෂණය වැනි තත්ත්ව උද්ගත වෙමින්, රට තුළ ජීවත්වන ජීවී විශේෂවලට තර්ජන ඇති කරයි. මේ තර්ජන යටතේ රටේ ශාක සහ සත්ත්ව විශේෂ වඳවීමේ අවදානමකට ලක්ව ඇත. පහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ එවන් මරණය සඳහා ඉහළ අවදානමකට ලක්ව ඇති ජීවී ප්‍රභේද කිහිපයකි. අවාසනාවකට, මෙම බොහෝමයක් සතුන්, වනජීවී-මිනිස් ගැටුම් සඳහාද දායක වේ.

ආසියානු අලියා (Asian Elephant) – Elephas maximus maximus

ස්ලොත් වලසා (Sloth Bear) – Melursus ursinus

දිවියා (Leopard) – Panthera pardus kotiya

අලි මාන්නාවා (Black Necked Stork) – Ephippiorhynchus asiaticus

ගැට කිඹුලා (Saltwater Crocodile) – Crocodylus porosus

දාර කැස්බෑවා (Leatherback Turtle) – Dermochelys coriacea

උණහපුළුවා (red Slender Loris) – Loris tardigradus

නිල් තල්මසා (Blue Whale) – Balaenoptera musculus

රිලවා (Toque Macaque) – Macaca sinica

වඳුරා (Purple-Faced Langur) – Semnopithecus vetulus

මීමින්නා (Meminna) – Moschiola meminna

පෙති අං කටුස්සා (Tennent’s Leaf-Nosed Lizard)- Ceratophora tennentii

අපගේ විශ්ලේෂණයන්ට අනුව ශ්‍රී ලංකාව, පක්ෂීන්ගේ සං‍රක්ෂණ තත්ත්වය පිළිබඳව නවතම තක්සේරු වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති අතර, 2012 වසරේදී ප්‍රකාශයට පත්කළ අවසන් තක්සේරු වාර්තාවට සාපේක්ෂව තර්ජනයට ලක්ව ඇතැයි සැලකෙන පක්ෂී විශේෂ සංඛ්‍යාවේ කණගාටුදායක වර්ධනයක් පෙන්වයි. මෙම තක්සේරු වාර්තාවෙන් ආවේණික සහ සංක්‍රමණ පක්ෂි විශේෂ 244ක් ආවරණය කෙරෙන අතර, ඉන් 19ක් වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ ලෙසත්, 48ක් වඳ වී යාමේ ඉහළ අවදානමක් ඇති ලෙසත්, 14ක් අනතුරට ලක්විය හැකි ලෙසත් ලෙස “තර්ජනයට ලක් වූ” කාණ්ඩ 3කට අයත් වේ. මෙම තත්ත්වය උද්ගත වීමට බරපතල තර්ජනයක් ලෙස දේශගුණික විපර්‍යාස හේතුවෙන් වාසස්ථාන අහිමි වීම ඉස්මතු වේ. දේශගුණික විපර්‍යාස හේතුවෙන් කඳුකර පක්ෂී විශේෂ සඳහා සුදුසු වාසස්ථන පැවතීමේ පරාසය 90% දක්වා සීමා කරයි. පක්ෂීන් පමණක් නොව, භෞමික සහ ජලජ ජීවීන්ද මෙම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කාණ්ඩවලට අයත් වේ. ශ්‍රී ලංකාවේ ජීවී විශේෂ සඳහා දේශගුණික විපර්‍යාස සහ ශ්‍රී ලාංකිකයින්ගේ හැසිරීම් රටා දරුණු අවදානමක් රට තුළ ඇති කරවයි.

වඳවීමේ තර්ජනයට් ලක්ව ඇති ජීවී විශේෂ සඳහා දේශගුණික විපර්‍යාසවල බලපෑම

දේශගුණික විපර්‍යාස වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ජීවී විශේෂවලට අහිතකර ලෙස බලපාමින්, ඒවාට පවතින තර්ජන තවදුරටත් උග්‍ර කර, ඔවුන්ගේ වඳවී යාමේ ක්‍රියාවලිය වේගවත් කරයි. වාසස්ථාන අහිමි වීම සහ මාර්ග, නිවාස වැනි සංවර්ධන කටයුතු සඳහා විශාල වනජීවී වාසස්ථාන කුඩා කොටස්වලට බෙදී වෙන්වීම මෙහිදී ඇතිවන එක් ප්‍රධාන ගැටළුවකි. දේශගුණ විපර්‍යාස උෂ්ණත්වය සහ වර්ෂාපතන රටා වෙනස් කරයි. පරිසර පද්ධති සහ ශාක ඇතුළු ස්වභාවික පරිසරයේ වෙනස්කම් ඇතිකරවයි. බොහෝ ජීවී විශේෂවලට වාසස්ථාන අහිමි වීම සඳහා මේ කරුණු තුඩු දෙයි. ඔවුන්ට ජීවත් වීමට, පෝෂනය (ආහාර) සපයා ගැනීමට, වර්ගයා බෝ කිරීමට සහ සංක්‍රමණය වීමේදී ඊට සුදුසු ප්‍රදේශ සොයා ගැනීම ආදිය මේ සමඟ දුෂ්කර වේ.

පරාස වෙනස් කිරීම සහ බාධා කිරීම්

උෂ්ණත්වය ඉහළ යන විට, අදාල දේශගුණික තත්ත්වයන් කෙරෙහි හැඩ ගැසීමට ජීවී විශේෂවලට තම පරාසයන් වෙනස් කිරීමට අවශ්‍ය විය හැක. ඇතැම් ජීවී විශේෂ මෙය සිදුකිරීම සඳහා හැකියාව පෙන්වූවත්, ඇතැම් වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින ජීවීන්ට ප්‍රමාණයවත් තරමින් අනුවර්තනය වීමට හැකියාවක් නොමැත. එය ඔවුන්ගේ ජීවිතවලට තර්ජන ඇති කරමින්, ගහණ ඝණත්වය අවම කරයි. එමෙන්ම රෝගාබාධ වැනි වෙනත් බාහිර බලපෑම්වලට ගොදුරු වීමේ අවදානමද මෙයින් ඉහළ යයි.

සෘතුඵල විද්‍යාවේ සිදුවන වෙනස්කම්

සෘතුඵල විද්‍යාව යනු, ජීවීන්ගේ සෘතුමය හෝ චක්‍රීය වශයෙන් සිදුවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවන් සෘතුඵල විද්‍යාව ලෙස හඳුන්වයි. සංක්‍රමණය, ශාක මල් සහ ඵල දැරීම, ප්‍රජනනය ආදී බොහෝ ජීවී ක්‍රියා මීට අනුව සිදුවේ. පාරිසරික දේශගුණය මෙවැනි සෘතුමය විද්‍යාත්මක ක්‍රියාවලි සඳහා සෘජුවම බලපායි. එහෙයින් දේශගුණය තුළ සිදුවන විපර්‍යාසවලට මෙම සිදුවීම්වල කාලය කඩාකප්පල් කළ හැක. උදාහරණයක් වශයෙන් යම් ශාක විශේෂයක මල් පිපීම එහි පරාගවාහකයින් මතුවීමට පෙර කාලයකදී සිදුවේ නම් හෝ විලෝපිකයාගේ අභිජනන කාලයෙන් පසු ගොදුරු ජීවී විශේෂ ලබා ගත හැකි නම්, පැවැත්ම සඳහා සිදුකරන මෙම අන්තර්ක්‍රියා සඳහා බාධා එල්ල වේ. වඳවී යන විශේෂ, මෙවැනි අන්තර්ක්‍රියා මත යැපෙන විටදී, එමඟින් ඔවුන්ට තවදුරටත් අහිතකර බලපෑම් ඇති කළ හැක.

වඳවීමේ අවදානම ඉහළ යාම

දේශගුණික විපර්‍යාස මඟින් වාසස්ථාන විනාශය, පාරිසරික දූෂණය සහ අධික ලෙස පාරිසරික සම්පත් (ජීවී විශේෂ ඇතුළුව) සූරාකෑම ලක් කිරීම වැනි තර්ජන සං‍යෝජනයක් වඳවීමේ තර්ජනයට ලක්ව සිටින ජීවීන් සඳහා ඇති කරවයි. මෙම තර්ජන මඟින් අදාල විශේෂයන්ට වඳවී යාමේ තර්ජනවලින් ඉවත් වීමට ඇති ඉඩ ප්‍රස්තාවන් අහුරාලමින්, ඔවුන්හට පෘථිවියෙන් සම්පූර්නයෙන්ම වඳ වී යාමේ අවදානම තවදුරටත් ඉහළ දමයි.

සාගර ආම්ලිකකරණය

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායු මට්ටම ඉහළ යාම සාගර ආම්ලිකකරනයට ඇති මූලිකම හේතුවයි. මෙය සාගරය ආශ්‍රිත පරිසර පද්ධතීන් සඳහා අහිතකර ලෙස බලපාන අතර, කොරල්පර, මුහුදු බෙල්ලන් ඇතුළු අනෙකුත් ජලජ ජීවී විශේෂ සඳහා තර්ජනයක් ඇති කරයි. නිදසුනත් වශයෙන්  , කොරල්පර ජලජ ජීවී විශේෂ රැසකට අවශ්‍ය වාසස්ථාන සපයන අතර, ඒවාගේ විනාශය සහ පරිහානිය සමස්ත පරිසර පද්ධතියටම අහිතකර ලෙස බලපායි.

පරිසර පද්ධතිවල අන්තර්ක්‍රියා සඳහා බලපෑම් ඇති කිරීම.

දේශගුණික විපර්‍යාස පරිසර පද්ධතිවල සමතුලිතතාවය සඳහා බාධා එල්ල කරන අතර, එහි පවතින විශේෂිත අන්තර්ක්‍රියා වෙනස් කරයි. උදාහරණයක් ලෙස, අධික උෂ්ණත්ව තත්ත්වයන්, දේශීය, වඳවීමේ තර්ජනයට ලක්වී සිටින ජීවීන් තර්ජනයට ලක් කරමින්, එම විශේෂ අභිභවා යාමට, ඒවාට හානිකර, ආක්‍රමණශීලී විශේෂවල ව්‍යාප්තියට ඉහළ අනුග්‍රහයක් ලබා දීම දැක්විය හැක.

නිගමනය

දේශගුණික විපර්‍යාසයන් සහ වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ජීවී විශේෂ මත එහි බලපෑම කෙරෙහි ගෝලීය අවදානය යොමු විය යුතුය. මෙහිදී, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, පාරිසරික දූෂණය වැළැක්වීම, දේශගුණික විපර්‍යාස සඳහා හේතුවන කරුණු පාලනය කරමින් අඩු කිරීම, අවදානමට ලක්වී ඇති වාසස්ථාන ආරක්ෂාකිරීම සහ ප්‍රතිස්ථාපනය සහ තිරසාර සම්පත් භාවිතය ප්‍රවර්දනය කිරීම වැනි කරුණු කෙරෙහි ඉහළ අවදානයක් දැක්විය යුතුය. වෙනස්වන පාරිසරික තත්ත්වයන්ට මුහුණු දීම සඳහා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ට සහාය වීමට අනුවර්තන කළමනාකරණ ප්‍රවේශයන්ද, සං‍රක්ෂණ උපාය මාර්ග සඳහා ඇතුළත් විය යුතුය.

ඔබට කිසියම් විමසීමක් ඇති නම් හෝ දේශගුණික විපර්‍යාස හෝ පරිසරයට අදාල සැක සහිත අන්තර්ගතයන් හමු වුවහොත් සහ ඔබ වෙනුවෙන් අප එම තොරතුරු තහවුරු කිරීමට අවශ්‍ය නම්, ඒ අන්තර්ගතයන් අපගේ Whatsapp ක්ෂණික ඇමතුම් අංකය: +917045366366 වෙත යොමු කරන්න.

Original English Article URL: https://climatefactchecks.org/endangered-species-in-danger-due-to-global-climate-change/
Translated by Mihiri Saparamadhu

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter