Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

මනුශ්‍ය වර්ගයාට එරෙහි නවතම තර්ජනය Zombie (සොම්බී) අවදානමක්ද?

Zombie යනු ත්‍රාසජනක සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට, කතා ආදියේ හමුවන ප්‍රබන්ධ චරිතයකි. Zombieවරුන් යනු තම සිරුරේ පාලනය තමාගෙන් ගිලිහී ගිය පිල්ලියක් වැනි අයෙකි. මොවුන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම බාහිර බලපෑමකට යටත්ව ක්‍රියාත්මක වේ. මෙවනි අයෙකුගේ මොලය හෝ මනස සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී පවතී.

සාමාන්‍යයෙන් විද්‍යා ප්‍රබන්ධවල Zombie නිර්මාණය වීම අදාල Zombie වෛරස් හෝ වෙනත් ක්ෂුද්‍රජීවී ආසාදනයක් ඔස්සේ සිදු වේ. මෙවන් ක්ෂුද්‍රජීවියෙකුගෙන් රුධිරය ආසාදනය වීම මඟින් රෝගය පැතිරේ.

ලෝකයේ ඇතැම් කොටස් මෙම Zombie පිළිබඳව සඳහන් විස්තර යම් දිනක සැබෑ වීමට බොහෝ ඉඩකඩ සහිත බව විශ්වාස කරයි. අනාගතයේ මෙව වෛරස් හෝ වෙනත් ආසාදනයක් ලෝකයේ පැතිරීමට ඉඩ ඇතිබව ඔවුන් සලකයි. නමුත් මෙය නුදුරු අනාගතයේ සැබෑ වෙන භයානක සිහිනයක් වේවිද? Zombie සම්බන්ධ අවදානම් සිදුවීම් ලෝකය තුළ වාර්තා වී තිබේද?

අපගේ Climate Fact Checks කණ්ඩායම Zombie වෛරසවල නැවත සක්‍රිය වීම සහ ඊට දේශගුණික විපර්‍යාසවල බලපෑම ලිපියත් සමඟ තවදුරටත් ඒවාගේ තර්ජනාත්මක පැතිකඩ විමර්ශනය කිරීමට අවධානය යොමු කරන ලදී. දේශගුණික විපර්‍යාස ඉහළ යාමත් සමඟ Zombie තර්ජන මිනිසුන්ට ඇති කළ හැකි හානි ඉහළ ගොස් ඇතිදැයි විමසා බලන ලදී.

Zombie– Ant දිලීරය

Zombie-ant හෙවත් Zombie-කුහුඹු දිලීරය නිවර්තන වනාන්තරවල බහුල වශයෙන් දක්නට ලැබෙන කෘමි ව්‍යාධිජනක දිලීරයකි. විද්‍යාත්මක නාමකරණයට අනුව මෙම දිලීරයේ නම Ophiocodyceps unilateralis නම් වේ. 1859දී බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥ ඇල්ෆ්‍රෙඩ් රසල් වොලස් විසින් මෙම දිලීරය සොයාගෙන අධ්‍යනය කරන ලදී. මෙම දිලීර විශේෂය Ascomycota වංශයට අයත් වේ.

මෙම පරපෝශී දිලීර, ආහාර සොයා යන කුහුඹුවන් වෙත ලඟා වී, ඔවුන්ගේ සිරුරේ බාහිරට සම්බන්ධ වී, බාහිර සැකිල්ල හරහා සිරුර අභ්‍යන්තරයට ඇතුල් වේ. මෙසේ ඇතුල්වන දිලීරය අදාල කුහුඹුවාගේ ශරීරය තුළ වැඩෙමින්, ක්‍රමයෙන් ඔවුන්ගේ සිරුරේ පාලනය ලබා ගනී.

මෙවන් දිලීර ආසාදනයක වර්ධනයත් සමඟ, කුහුඹුවා තම වාසස්ථානය හැර යයි. මොවුන් පොළොවෙන් තරමක් උස ශාක ආශ්‍රිත පරිසරයකට පැමින, තමා වටා වැඩි ආර්ද්‍රතාවයක් සහිත ක්ෂුද්‍ර දේශගුනික අවකාශයක් සාදා ගනී. මෙම අවකාශය දිලීරයේ වර්ධනයට අතිශය හිතකර වේ. පසුව, දිලීර වර්ධනයේ උච්ඡතම අවස්ථාව වන විට, ආසාදිත කුහුඹියා, උගේ හකුවලින් ශාක පත්‍රයක නාරටි තදින් සපාගෙන, මිය යන තෙක් සිටියි. මේ සම්පූර්ණ කාලය තුළදීම දිලීරය තමාට අවශ්‍ය පෝෂක සහ අනෙකුත් සාධක කුහුඹියා වෙතින් උරා ගනී.

කුහුඹුවා දරුණු පාරිසරික තත්ත්වයන්, ආහාර හිඟය, පරපෝෂිත්‍යාගෙන් ධාරකයාට සිදුවන හානි යන කරුණු හේතුවෙන් මිය යයි. මෙසේ කුහුඹියා මිය ගොස් දින කිහිපයකට පසු, ඔවුන්ගේ සිරුරුවල ඇති දිලීර කොටස් කුහුඹියාගේ හිසේ පහළ කොටස හරහා පිටතට පැමිණේ.

මෙලෙස පිටතට වැඩෙන කොටස් මඟින් දිලීර බීජාණු ව්‍යාප්ත කරමින්, තවදුරටත් කුහුඹුවන් ආසාදනය කරවයි. මෙම දිලීර ආසාදන ගැන වැඩි විස්තර මෙතනින්.

Cordyceps දිලීර

Ophiocodyceps unilateralisවලට සමාන තවත් Cordyceps දිලීර වර්ග තිබේ. මේවාගෙන් බහුතරයක් අභ්‍යන්තර පරපෝෂිතයින් වේ. මොවුන් කුහුඹුවන්, මකුණන්, සමනලුන් සහ දලඹුවන් ආදී සතුන්ගේ පරපෝෂිතයින් ලෙස ජීවත් වේ.

කෙසේ නමුත් මේඑ අතරින් විශේෂිතම වන්නේ Ophiocodyceps unilateralis වේ. මොවුන්ගේ ධාරකයාගේ මනස සහ මොලය හැසිරවීමේ හැකියාව මීට හේතුවයි. අනෙකුත් Cordyceps දිලීර ධාරක ආත්‍රොපෝඩාවන්ට ආසාදනය වී ඔවුන්ව මරණයට පත් කරවුවද, ධාරක ජීවියා තුළ චර්‍යාත්මක වෙනස්කම් ඇතිකිරීමට ඔවුන්ට නොහැක.

ශ්‍රී ලංකාවේ Zombie මී මැස්සන්

ශ්‍රී ලංකාවෙන් Zombie දිලීර ආසදනයකට ලක්වූ මී මැස්සන් සොයා ගැනීම පිළිබඳව, ඊට අදාල සමාජ මාධ්‍ය පලකිරීම් සහ ඡායාරූප කිහිපයක් මෑතකදී පළ විය. එහිදී මෙය Zombie දිලීරය ලංකාවෙන් ප්‍රථම වරට සොයාගැනුන ලෙස සඳහන් විය.

මෙම තත්ත්වය ඉතා භයානක තත්ත්වයක පෙරනිමිත්තක් බවට සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් අදහස් දක්වා තිබුණි.

Climate Fact Checks කණ්ඩායම විසින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෙම සිදුවීම පිළිබඳව දැනට ශ්‍රී ලංකාවේ පර්‍යේෂණ මෙහෙයවන, ජාතික මූලික අධ්‍යන ආයතනය (NIFS) හි පර්‍යේෂණ මහාචාර්‍යවරයෙකු ලෙස සේවය කරන මහාචාර්‍ය සිරිල් විජයසුන්දර මහතාව සම්බන්ධ කර ගැනුණි.

මී මැස්සන් මත් වර්ධනය වෙමින් ඔවුන්ව මරණය කරා මෙහෙයවන මෙම දිලීරය පිළිබඳව තහවූරු කරගැනීමට තවමත් පර්‍යේෂණ පැවැත්වෙන බව එතුමේ මෙහිදී ප්‍රකාශ කළේ ය. මෙම දිලීර විශේෂයේ අනන්‍යතාවය පිළිබඳ පර්‍යේෂණ දත්ත රහිතව තහවුරු කළ නොහැකි බවත් එතුමා පැවසීය.

අපගේ වැඩිදුර විමසීම්වලට පිළිතුරු ලෙස මහාචාර්යතුමා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය පිළිබඳව අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කරගත යුතු නොවන බවයි. මේවා පරිසරයේ  නිරීක්ෂණය වූයේ මෑතකදී වුවත්, පෘථිවි තලය මත මෙන්ම ශ්‍රී ලංකාවේ ද වසර ගණනාවක් මුළුල්ලේ පැවතී තිබිය හැක. නමුත් මෙහිදී සිදුවී ඇත්තේ මිනිසුන්ගේ නිරීක්ෂණ ශක්තිය වෙනස් වීම සහ අවධානය දක්වන කරුණු වෙනස් වීම නිසා හදිසියේම මෙම බලපෑම පරිසරය තුළදී නිරීක්ෂණය වීමයි. ඒ මිසක මෙය හදිසියේ එක්වර ඇති වූ බලපෑමක් නොවේ. මෙවන් දේ නිරීක්ෂණය සඳහා සහ මෙවත් පාරිසරික වෙනස් වීම් කෙරෙහි මිනිසුන් අවදානය යොමු කිරීම මිනිසුන් තුළ පරිසරය කෙරෙහි ඇති උනන්දුව උදෙසා ඇති සාධනීය තත්ත්වයක් බවද මහචාර්‍ය සිරිල් විජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙලෙස ශ්‍රී ලංකාව තුළදී මෙම දිලීර ආසාදනය මඟින් මියගිය මී මැස්සන් කිහිප දෙනෙකු හමුවූවත්, එහිදී ද තත්ත්වය මී මැසි ජනපදය විනාශ කිරීමට තරම් දරුණු නොවූ බවත්, එය ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්ත වී නොතිබූ බවත් එතුමා සඳහන් කළේ ය.

Cordyceps දිලීරවලින් මිනිස් ජීවිතවලට ඇති බලපෑම

Cordyceps දිලීර ආත්‍රොපෝඩා වංශයේ ජීවීන් සඳහා පමණක් ආසාදනය වන දිලීර විශේෂයක් බව දැනට තහවුරු කරගෙන ඇත. එපමණක් නොව, එකම Cordyceps දිලීර විශේෂයට එක්වර ආත්‍රොපෝඩා වංශයේ වුවද ජීවී විශේෂ 2ක් සඳහා වුවද බලපෑ නොහැක. සාමාන්‍යයෙන් එක් එක් Cordyceps විශේෂ, ඒ ඒ විශේෂයට අදාල ආත්‍රොපෝඩා වංශික විශේෂ එකක් සඳහා පමණක් ආසාදනය වීමට හැඩගැසී ඇත. එනම් මොවුන් ධාරකයින්ට ආවේණික සහ විශේෂිත වේ.

මේ අනුව මිනිසුන් ඇතුළු පෘෂ්ඨවංශිකයින්ට මෙම දිලීර ආසාදනය වීමට කිසිදු අවදානමක් නොපවතී.

කෙසේ නමුත්, මිනිසුන් තම ප්‍රයෝජනය උදෙසා මෙම Cordyceps විශේෂ යොදා ගනී.

මිනිසුන් Cordyceps දිලීර ප්‍රයෝජනයට ගන්නා ආකාරය

මිනිසුන් භෝගවලට සිදුවන පලිබෝධ හානි පාලනය සඳහා Cordyceps දිලීර භාවිත කරයි. ඒවාගේ ඇති පූර්ණ පරපෝශීතාව මඟින් පලිබෝධක ආත්‍රොපෝඩාවන් ආසාදනය කර විනාශ කරයි. එමඟින් පලිබෝධක ගහණය පාලනය වේ.Cordyceps fumosorosea යනු මෙසේ භාවිත කරන පලිබෝධනාශකයකි. මෙම ක්‍රමය පරිසර හිතකාමී පලිබෝධ පාලන විධියක් ලෙස සැලකේ. එමෙන්ම පහසු සහ අඩු වියදම් නිශ්පාදන ක්‍රම නිස මෙය වාණිජමය කෘමි පලිබෝධනාශක ආකාරයක් ලෙස දැක්විය හැක. එමෙන්ම මෙහි ඵලදායීත්වයද සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පවතී.

Ophiocordyceps sinensis යන Cordyceps විශේෂය සාම්ප්‍රදායික චීන ඖෂධයක් ලෙස භාවිත කරන අතර එය Dong Chong Xia Cao ලෙසද හැඳින්වේ. මෙම Cordyceps විශේෂය දළඹුවන් ධාරක කරගෙන පෝෂණය වේ. චීන වෛද්‍ය විද්‍යාවට අනුව, වකුගඩු, අක්මාව, ශ්වසන පද්ධතිය සහ හෘද වාහිනී ආශ්‍රිත රෝගාබාධ ආදී පුළුල් පරාසයක රෝග සඳහා ප්‍රතිකර්ම ලෙස මෙම දිලීර විශේෂය යොදා ගැනේ. එමෙන්ම ශක්තිය වර්ධනය, ආහාර රුචිය වර්ධනය, නිදාගැනීමේ රටාව ක්‍රමවත් කිරීම ආදියටද මෙය සුදුසුය. තවද, මෙය කැස්ස සහ තෙහෙට්ටුව සඳහා ද ප්‍රතිඵලදායක ඖෂධයක් වේ.

Cordycepsවල ගුණාංග නිසා ඇතැම් රටවල Cordyceps දිලීර කොටස් බිම්මල් ලෙස ආහාරයට ගැනීමට යොදා ගනී. විවිධ රෝග සමනය කිරීමට මේවාගේ ඇති හැකියාව නිසා මිනිසුන් මෙම දිලීර ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වයි. ශක්ති ජනනය, වයස්ගත වීම වැළැක්වීම, දෙවන ගණයේ දියවැඩියාව පාලනය, යහපත් හෘද සෞඛ්‍ය පවත්වා ගැනීම ආදී ප්‍රතිලාභ මේවා ආහාරයට ලබා ගැනීමෙන් ලැබේ. Cordyceps යම් ප්‍රමාණයක් මිනිත්තු කිහිපයක් ජලයේ තම්බා, පසුව තවත් මිනිත්තු 15ක් සෙමින් සිස්ල් කර ආහාරයට ගත හැක.

Cordyceps බොහෝ ආහාර අතිරේක ආදියේ සංඝටකයක් ලෙස අඩංගු වේ.

Cordyceps දිලීර මඟින් මිනිසාට ඇති අවාසි

Cordyceps දිලීර ආහාරයට ගැනීමේ වාසි ඇතත්, එමඟින් ඇතිවිය හැකි අතුරු ආබාධ ඇතිවිය හැක. එහෙයින් ඒවා අධික වශයෙන් සිරුරට ලබා ගැනීම සහ අධිග්‍රහණය වැදගත් ය. සාමාන්‍යයෙන් Cordycepsවල ආරක්ෂක මාත්‍රාව දිනකට ග්‍රෑම් 3 සිට ග්‍රෑම් 6 දක්වා වේ. මීට වඩා වැඩි ප්‍රමාණවලින් ලබගැනීම මඟින් පාචනය, මලබද්ධය, ආමාශයේ අපහසුතා ආදී සියුම් තත්ත්ව ඇති වේ.

ස්වයං ප්‍රතිශක්තීකරණ රෝග ඇති අය සඳහා ද Cordyceps පරිභෝජනය නුසුදුසු වේ. Cordyceps මඟින් ප්‍රත්ශක්තීකරණ පද්ධතිය වැඩිපුර සක්‍රිය කරවයි. එහිදී  ස්වයං ප්‍රතිශක්තිය සහිත රෝගවලදී එම රෝග සුවකිරීම පමා කිරීමට Cordyceps දිලීරය හේතු විය හැක.

සැත්කම්වලදී රුධිර වහනය වීමේ අවදානම Cordyceps මඟින් ඉහළ දැමීමට ඉඩ ඇති නිසා ශල්‍යකර්ම සිදුකිරීමට සති 2ක පමණ පෙර සිට රෝගියා Cordyceps පරිභෝජනය නතර කළ යුතුය.

බාහිර පරිසරය සඳහා Cordyceps දිලීරයේ බලපෑම

පාරිසරික බලපෑම් වශයෙන් Cordyceps දිලීරවලින් පවතින විශාලතම බලපෑම වන්නේ කුහුඹුවන්, සමනලුන්, දලඹුවන්, මකුළුවන්, මී මැස්සන් ආදී ආත්‍රොපෝඩාවන්ට ඇති තර්ජනයයි. නමුත් මෙමඟින් අනවශ්‍ය ලෙස මෙම කෘමි සතුන්ට හානිවීමක් සිදු නොවී, පාලනයක් සහිතව සිදුවන නිසා පාරිසරික පද්ධතිවල ගහණ පාලනය කරවයි.

මී මැස්සන්, සමනලුන් වැනි පියෑඹිය හැකි කෘමීන්, සාමාන්‍යයෙන් පරාගනයට වැඩිම දායකත්වයක් ලබා දෙයි. ඒ නිසා, Cordyceps මඟින් මොවුන්ට හානි වීමෙන්, පෘථිවියේ ජීවයේ පැවැත්මටද හානි විය හැකි බවට මිනිසුන් සැක පල කරයි.

නමුත් මෙය සත්‍යක් නොවේ.

Cordyceps වැනි දිලීර වසර 1500කට වැඩි කාලයක් මුලුල්ලේ මිහි පිට පවතී. එසේ නම්, මෙම ජීවීන්ට හානි වීම තුළින් ජීවයේ පැවැත්මට බලපෑම් එල්ල වීම එම වසර මෙතරම් ගණනක් ගත නොවනු ඇත. මේ වන විට අවම වශයෙන් වසංගතයක් තරමටවත් මෙම දිලීරය කෘමීන් අතර ව්‍යාප්ත වී තිබිය යුතුය.

ලෝකයේ අනෙක් සෑම ජීවියෙකු මෙන්ම Cordycepsහටත් ව්‍යාප්තිය සඳහා සීමා පවතී. එම සීමාවලින් මෙපිට මිනිසා සහ පෘථිවිය ආරක්ෂිතව පවතී. යම් හෙයකින්, Cordycepsගේ ජානමය සැකැස්ම වැඩි දියුණු කර එම සීමාවන් බිඳ දැමුවහොත් විශාල විනාශයක් සිදුවනු ඇත. නමුත් යථාර්තය සැලකූ විට, එවන් තත්ත්වයක් ඇති වීම තව බොහෝ දුරස් ය. විද්‍යා ප්‍රබන්ධයකට සුදුසු අන්දමේ තත්ත්වයකි.

දේශගුණික විපර්‍යාස Cordyceps ව්‍යාප්තියට ඇති කරන බලපෑම

සාමාන්‍යයෙන් Cordyceps සිසිල සහිත සහ ආර්ද්‍රතාවය ඉහළ දේශගුණයට ප්‍රිය කරයි. එනිසා, මේ දිලීර බහුලව දක්නට ලැබෙන්නේ වියළි නොවන, සිසිල සහිත ප්‍රදේශවලයි. දේශගුණික විපර්‍යාසවල බලපෑම් සමඟ මෙම දිලීර වල පැවැත්ම සඳහා වඩාත් හිතකර වන වාසස්ථාන අහිමි වේ. ඒවාගේ ව්‍යාප්තිය සම්පූර්ණයෙන් වෙනස් වේ.

චීනය, භූතානය සහ නේපාලය වැනි ආසියාතික රටවල ඖෂ්ඪ්ඃඊය වටිනාකම නිසා විශාල ඉල්ලුමක් පවතින Ophiocordyceps sinensis වාණිජමය ලෙස වගා කෙරේ. කෙසේ නමුත්, දේශගුණික විපර්‍යාසවලට ප්‍රතිචාර ලෙස ටිබෙට් සානුවට ආවේණික දිලීර ප්‍රභේදයක් වන Ophiocordyceps sinensisවල ව්‍යාප්ති පරාසය වෙනස් වීම පිළිබඳව ලිපියට අනුව, Ophiocordyceps sinensisහට නුදුරේදීම වාසස්ථාන අහිමි වනු ඇත. ඒ අනුව, එහි ප්‍රතිඵලයක් වශයෙන් චීන දලඹු දිලීර වගාවන් සහ එම ගහණයන්ද වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇත.

Conclusion

බොහෝ මිනිසුන්ගේ දැනුවත්කම මඳ වුවත්, Zombie දිලීර යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. The Last of Us රූපවාහිණී කතා මාලාව පවා පදනම් වී ඇත්තේ පෙර සිට පැවති මෙම Zombie දිලීර පිළිබඳව සිද්ධාන්තය පදනම් කරගෙන ය. නමුත් මිනිසුන්ගේ ස්වභාව ධර්ම දැනීමට වඩා, රූපවාහිනී දැනුම ඉහළ වීම නිසාවෙන්, ඔවුන් සිතන්නේ කතා මාලාවේ තිබෙන සිද්ධාන්තය ඇස් ඉදිරිපිටම ඔප්පු වෙමින් පවතින නිසා, කතා මාලාවේ අභියෝගවලට මුහුන දීමට ද අපට සිදුවනු ඇති බවයි.

Cordyceps, Zombie දිලීරය වශයෙන් හැඳින්වුවද, එය මිනිස් වර්ගයාට තර්ජනයක් වන හෝ හානිකර වන දිලීර විශේෂයක් නොවේ. එය මිනිසා විසින් තම වාසි තකා පවා යොදා ගැනෙන සම්පතකි.

දේශගුණික විපර්‍යාසවල බලපෑම සමඟ Cordyceps දිලීරවල පැවැත්ම අනතුරට පත්ව ඇත. එය සම්පූර්ණයෙන් විනාශ වීම පාරිසරික සමතුලිතතාවට මෙන්ම මිහිමත වෙසෙන ජීවීන්ටද සැලකිය යුතු පාඩුවක් වනු නොඅනුමානය.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter