Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණික විපර්‍යාස ලොව පුරා ශ්‍රම වෙළඳපොළට බාධා ඇති කරයිද?

බැලූ බැල්මට, ලොව පුරා ශ්‍රම වෙළඳපොළට දේශගුණික විපර්‍යාස ඔස්සේ සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිදැයි කෙනෙකුට ගැටලුවක් ඇති වේ. නමුත් අවාසනාවන්ත ලෙස, වාර්තාගත දත්ත පෙන්වා දෙන්නේ දේශගුණික විපර්‍යාසවල බලපෑම වැඩි වශයෙන් දැනෙන්නේ ආහාර සහ කෘෂිකර්මාන්තය , සේවා සහ නිෂ්පාදන ආදී අංශවලට බවයි.

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන හෝ උග්‍රවන, පරිසරය ආශ්‍රිත විවිධ උවදුරු වැඩිවන වාරගණන සහ තීව්‍රතාවය දැනටමත් ශ්‍රම ඵලදායීතාවය අඩු කර ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමීක්ෂණයකට අනුව, 2000 සහ 2015 වර්ෂ අතර එවැනි උපද්‍රව හේතුවෙන් ගෝලීය මට්ටමෙන් වාර්ෂිකව වැඩකරන වසර මිලියන 23ක් අහිමි වූ බව පෙන්වා දෙයි. G20 සාමාජික රටවල් අතර චීනය, බ්‍රසීලය සහ ඉන්දියාව මෙහි ඉහළම බලපෑමට ලක්වූ රටවල් විය.ඒ පිළිබද වැඩි විස්තර මෙතනින්.

ශ්‍රම වෙළඳපොළ අත දේශගුණික විපර්‍යාසවල බලපෑම් සංකීර්ණ සහ බහුවිධ වේ. කෙසේ වෙතත්, කෘෂිකාර්මික, ධීවර, වන වගාව සග සංචාරක කර්මාන්තය වැනි ස්වභාවික සම්පත් මත ‍සෘජුවම රඳා පවතින කර්මාන්ත  කෙරෙහි මෙහි බලපෑම වැඩි වශයෙන් එල්ල විය.

කෙසේ වෙතත්, මෙම සෘජු බලපෑම්වලට අමතරව, දේශගුණික විපර්‍යාස වක්‍රාකාරවද ශ්‍රම වෙළඳපොළ තත්ත්වය කෙරෙහි බලපායි. උදාහරණයක් වශයෙන්, දේශගුණික විපර්‍යාස පාරිභෝගික හැසිරීම් සහ රුචිකත්ව මෙන්ම රජයේ නීති රෙගුලාසිවල වෙනස්කම් සඳහා හේතුවන අතර, මෙය ඇතැම් භාණ්ඩ, සේවා  සඳහා ඇති ඉල්ලුමට මෙන්ම ඇතැම් රැකියා අවස්ථා සඳහා පවා බලපායි.

කාර්මික ලෝකය සහ දේශගුණික විපර්‍යාස පිළිබඳව සලකන විට, එහි අවම වශයෙන් ප්‍රධාන අංශ තුනක් ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කළ හැක.

එනම්,

 1) පරිසර පද්ධති මඟින් සැපයෙන සේවාවන් මත සෘජුව සහ වක්‍රව රඳා පවතින රැකියා

·        රැකියා සහ හොඳ සේවා තත්ත්ව පාරිසරික උවදුරුවල අවම බව හෝ නොමැතිකම මත රඳා පවතී.

·        පාරිසරික හායනය සම්බන්ද අවදානම් තත්ත්ව සහ උවදුරු, අවදානමට ලක් වීමට ඉඩ ඇති සේවකයින්ට වැඩි වශයෙන් බලපායි. ඒ පිළිබද වැඩි විස්තර මෙතනින්  

2)පරිසර පද්ධති මඟින් සැපයෙන සේවාවන් මත සෘජුව සහ වක්‍රව රඳා පවතින රැකියා

වන වගාව, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාර වැනි පරිසර පද්ධති මත යැපෙන කර්මාන්ත  ආශ්‍රිත රැකියා අවස්ථා සඳහා දේශගුණික විපර්යාස සෘජුවම බලපෑම් එල්ල කරයි. උදාහරණ වශයෙන් උෂ්ණත්වය ඉහල යාම, වර්ෂාපතන රටාවල වෙනස්කම් ඇතුළු අනෙකුත් ආන්තික කාලගුණික සිදුවීම් බවභෝග, වනාන්තර සහ ධීවර කර්මාන්තවලට යම් යම් බලපෑම් එල්ල කරමින්, මෙම කර්මාන්ත  මත යැපෙන කම්කරුවන්ට අඩු අස්වැන්නක් සහ අඩු ආදායම් තත්ත්ව ඇති කරවයි. දේශගුණික විපර්‍යාස නිසා ස්වභාවික ආකර්ෂණය සහිත ස්ථානවලට හානි පැමිණවමින් සහ සංචාරක රටාවන් කඩාකප්පල් කෙරෙමින් සංචාරක කර්මාණ්තය සඳහා ද මින් බලපෑම් ඇති කරවයි.

එමෙන්ම දේශගුණික විපර්‍යාස පරිසර පද්ධති ආශ්‍රිත සේවා මත වක්‍රව රඳා පවතින රැකියා සඳහා ද බලපෑම් එල්ල කරයි. උදාහරණයක් ලෙස, පරිසර පද්ධතිවල සිදුවන වෙනස්වීම් මත ජල සම්පත්වල උපයෝජ්‍යතාවය සහ ගුණාත්මක භාවය රඳාපවතින අතර, බලශක්ති නිෂ්පාදනය සහ වෙනත් නිෂ්පාදන ආදී කර්මාන්ත  කෙරෙහි ද බලපෑම් ඇති කරයි. දේශගුණික විපර්‍යාස හේතුවෙන් පරිසර පද්ධතිවල ඇතිවන වෙනස් වීම් මහජන සෞඛ්‍ය මෙන්ම සෞඛ්‍ය සේවා අංශවලටද බලපෑම් ඇති කරමින් රෝග පැතිරීමට හේතු වේ. මීට අමතරව විවිධ කර්මාන්ත  ක්ෂේත්‍රවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව සඳහා ද පරිසර පද්ධතිවල වෙනස්වීම් බලපායි. එමඟින් ඉදිකිරීම් සහ පතල් කැනීම් වැනි ක්ෂේත්‍රවලට අභියෝග එල්ල වේ.

3) රැකියා සහ හොඳ සේවා තත්ත්ව පාරිසරික උවදුරුවල අවම බව හෝ නොමැතිකම මත රඳා පවතී.

දේශගුණික විපර්‍යාස ඔස්සේ නව පාරිසරික උවදුරු ඇතිවීමෙන් හෝ පවතින උපද්‍රව තත්ත්ව උග්‍ර කිරීමෙන් සේවාවල ගුණාත්මකභාවයට බාධා එල්ල විය හැක. හොඳ සේවා තත්ත්වයන් සහතික කිරීම සඳහා සේවා යෝජකයින්ට ආරක්ෂිත උපකරණ සැපයීම, ආරක්ෂක යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම සහ ආන්තික කාලගුණික සිදුවීම්වලට වඩාත් හොඳින් ඔරොත්තු දීමට හැකිවන පරිදි සේවා ස්ථානවල වෙනස්කම් ඇති කිරීම වැනි පියවර ගත හැකිය. මීට අමතරව, කාලයත් සමඟ, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා  මෙවැනි උපද්‍රව වඩාත් පුළුල් වීම සහ දරුණු වීම වැළැක්වීම සඳහා දේශගුණික විපර්‍යාස අවම කිරීමට පියවර ගත යුතුය. දේශගුණික විපර්‍යාස පාරිසරික උෂ්ණත්වය සහ වර්ෂාපතන රටා සඳහා බලපාමින්, ප්‍රදේශවල ඵලදායීතාවය අඩු කිරීම සහ සේවා ස්ථානවල උණුසුම ඉහළ දමමින්, එම ස්ථානවල සේවා ඉටුකිරීමට අපහසු තරම් උණුසුම් පරිසරයක් ඇති කිරීම සිදු කරයි. එය දේශගුණික තත්ත්ව මඟින් ඇතිකරන සංක්‍රමණයන් සඳහා තුඩු දෙයි. ඒ පිළිබද වැඩි විස්තර මෙතනින් 

පාරිසරික හායනය සම්බන්ධ අවදානම් තත්ත්ව සහ උවදුරු, අවදානමට ලක් වීමට ඉඩ ඇති සේවකයින්ට වැඩි වශයෙන් බලපායි.

ස්ථාවර දේශගුණයක් සහ ජලය ඇතුළු අනෙකුත් සම්පත්වල ප්‍රමාණවත් සැපයුමක් මත යැපෙන කෘෂිකාර්මික වැනි අංශවල කම්කරුවන්, නියඟය, බෝගවගාවල අසාර්ථකත්වය, වර්ෂාපතන රටාවල ඇති වෙනස්වීම් ආදී තත්ත්ව සඳහා පහසුවෙන් ගොදුරු වේ. ඒ හා සමානවම, ධීවර සහ වන වගා කර්මාන්තවල හිමිකරුවන්ද දේශගුණ විපර්‍යාස හේතුවෙන් හටගන්න මෙවැනි ආන්තික කාළගුණික විපර්‍යාස මඟින් අභියෝගයට ලක්වේ.

අනාගතයේදී රැකියා අවස්ථා අහිමිවීමට ඇති ඉඩකඩ

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමීක්ෂණයට අනුව, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස තාප ආතතිය ඉහළ යාම නිසා 2030 වර්ෂය වන විට ගෝලීය ඵලදායීතාව සඳහා රැකියා මිලියන 80ක් පමණ අහිමි වීමට ඉඩ ඇති බව සඳහන් වේ.

ශතවර්ෂය අවසන් වන විට, ගෝලීය උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 1.5ක ඉහළ යාම මත පදනම් වූ ප්‍රක්ෂේපනය පෙන්නුම් කරන්නේ 2030 වසර වන විට මිලියන 80ක පූර්ණ කාලීන රැකියා අහිමි වීමට සමාන්තරව, වැඩ කරන පැය ගණනින් 2.2%ක්ද, අධික උෂ්ණත්වය නිසා අහිමි වනු ඇති බවයි. මෙයින් ගෝලීය ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් ට්‍රිලියන 2.4ක පමණ අගයක් ගනී.

ගෝලීය වශයෙන් දේශගුණික විපර්‍යාසවල වැඩිම බලපෑම සිදුවනු ඇති බවට අපේක්ෂා කරන්නේ කෘෂිකර්ම අංශය තුළයි. ලොව පුරා මිලියන 940ක පමණ ජන ප්‍රමාණයක් කෘෂිකර්මාණ්තයේ නියලෙති. 2030වන විට දේශගුණික විපර්‍යාසවල බලපෑම නිසා ඇතිවන තාප ආතතිය හේතුවෙන් එම අංශය තුළ වැඩ කරන පැය ගණනින් 60%ක් පමණ ගෝලීයව අහිමි වීමට ඉඩ ඇතිබව පුරෝකතනය කර ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයටද මේ ඔස්සේ විශාල බලපෑමක් සිදුවීමට ඉඩ ඇති අතර, 2030 වන විට ඔවුන්ගේ ගෝලීය වැඩ කරන පැය ගණනින් 19%ක් පමණ අහිමි වනු ඇත. පාරිසරික භාණ්ඩ සහ සේවා, අපද්‍රව්‍ය එක් රැස් කිරීම, අලුත්වැඩියා කටයුතු, ප්‍රවාහන, සංචාරක, ක්‍රීඩා වැනි ඇතැම් කාර්මික කටයුතු අංශ ද මීට අමතරව අවදානමට ලක්වී ඇති අනෙකුත් අංශ වේ.

මේ අනුව දේශගුණික විපර්‍යාසවල කර්මාණ්ත කෙරෙහි පවතින බලපෑම අසමාන ලෙස ලොව පුරා බෙදී යනු ඇත. මෙහිදී වැඩ කරන පැය වැඩි ප්‍රමානයක් අහිමි වන කලාප වනු ඇත්තේ දකුණු ආසියාව සහ බටහිර අප්‍රිකාව වනු ඇති බවට අපේක්ෂා කෙරේ. 2030 වසරේදී වැඩ කරන පැය ගණනින් 5%ක් අහිමි වනු ඇති බවට මත පලවන අතර, පිළිවෙලින් රැකියා මිලියන 43ක් සහ මිලියන 9ක් අහිමි වනු ඇත. ඒ පිළිබද වැඩි විස්තර මෙතනින්  

දේශගුණික විපර්‍යාසවල බලපෑම හේතුවෙන් රැකියා අහිමිවීම් සඳහා නුවර්තනය වීමට ලොව පුරා සැලසුම් කෙරෙන ව්‍යාපෘති

බොහෝ ගෝලීය ව්‍යාපෘති සහ මුලපිරීම්වලදී අවදානය යොමු කර ඇත්දේශගුණික විපර්‍යාසවල බලපෑමට රැකියා වෙළඳපොළ අනුවර්තනය සහ රැකියා අවස්තා අහිමිවීම් කළමනාකරණය කිරීමයි.

සාධාරණ සංක්‍රාන්තිය යනු අඩු කාබන් ආර්ථිකයකට සංක්‍රමණය වීමේදී කම්කරුවන් ඇතුළු අනෙකුත් ප්‍රජාව අත් හැර නොදමා ඉදිරියට යාම ඉලක්ක කෙරෙන සංකල්පයකි. ජාත්‍යන්තර වෘත්තීය සම්මේලනය (ITUC) සාධාරණ සංක්‍රාන්ති මධ්‍යස්ථානයට නායකත්වය ලබා දෙන අතර, එය සංක්‍රාන්ති පියවරයන් සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති, සේවා යෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් යන කොටස් වෙත අවශ්‍ය සහාය සහ උපදෙස් ලබා දෙයි. සාධාරණ සංක්‍රාන්තියක් යන්නෙන් අදහස් කරන්නේ හැකිතාක් සාධාරණ සහ අදාළ සෑම ජන කොටසක්ම ඇතුළු වන පරිදි ආර්ථිකය හරිතකරණය කිරීම, යහපත් රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ මෙම සියල්ල කිසිඳු ජන ප්‍රජාවක් අත් නොහැරෙන පරිදි සියළු දෙනාම වෙත ඇතිකිරීමයි. ඒ පිළිබද වැඩි විස්තර මෙතනින්  

එසේම, ලෝක බැංකු විසින් දේශගුණික විපර්‍යාසවල බලපෑම සඳහා වැඩි වශයෙන් ඔරොත්තු දීම පිළිබඳව වැඩසටහනක් ලොව පුරා නගරවල ක්‍රියාත්මක කර ඇත. විශේෂයෙන් මෙහිදී ඉලක්ක කර ගැනෙන්නේ හරිත ක්ෂේත්‍රය වැනි දේශගුණික අනුවර්තන උපාය මාර්ග සං‍වර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කරමින්, නව රැකියා අවස්ථා උත්පාදනය කරන නගර සඳහා දායකත්වය ලබා දීමයි.

තවද, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින්, පාරිසරික වශයෙන් තිරසාර ආර්ථික වර්ධනයක් සහ යහපත් රැකියා අවස්ථා ප්‍රවර්ධනය සඳහා හරිත රැකියා මුලපිරීම සිදු කර ඇත. හරිත රැකියා ප්‍රවර්දනය කරන ප්‍රතිපත්ති සහ වැඩසටහන් සංවර්ධනය කිරීම මෙන්ම හරිත ක්ෂේත්‍රවල සේවකයින් සඳහා පුහුණු සහ කුසලතා සංවර්ධනය කිරීම සඳහා මෙම මුලපිරීම රටවලට සහයක් ලබා දෙයි. මීට අමතරව, එක්සත් ජාතීන්ගේ  සංවර්ධන වැඩසටහන (UNDP) විසින් සාගර ආර්ථිකයේ තිරසාර රැකියා අවස්ථා නිර්මානය කිරීම කෙරෙහි අවදානය යොමු කරන නීල ආර්ථික මුලපිරීම දියත් කර ඇත. තිරසාර ධීවර කර්මාණ්තය, සාමුද්‍රීය පුනර්ජනනීය බලශක්තිය සහ වෙරළබඩ සංචාරක කර්මාණ්තය ඇතුළු සමුද්‍රාශ්‍රිත අංශවල සංවර්ධනයට සහාය වීම මෙම වැඩසටහනේ අරමුණයි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) Climate Smart Agriculture (CSA) වැඩසටහනක් ප්‍රවර්දනය කරමින් සිටින අතර, එමඟින් හරිතාගාර වායු විමෝචනය අඩු කරන අතරම කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ නැංවීම සහ දේශගුණික විපර්‍යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කරයි. එමෙන්ම FAO මඟින්, ගොවීන්ට අවශ්‍ය පුහුණුව සහ සහාය ලබා දෙමින් CSA පිළිවෙත් අනුගමනය කිරීමට වැදගත්වන ප්‍රතිපත්ති ප්‍රවර්දනය කරයි. ඒ පිළිබද වැඩි විස්තර මෙතනින් 

දේශගුණික විපර්‍යාස හේතුවෙන් ලෝකයේ රැකියා අහිමිවීම් සඳහා වඩාත්ම බලපෑමට ලක්වූ කලාපය

රැකියා සඳහා දේශගුණික විපර්‍යාසවල ඇති බලපෑම, විවිධ රටවල් සහ කලාපවල භූගෝලීය හා ආර්ථික ව්‍යුහය, දේශගුණික බලපෑම්වලට ලක් වීමේ ඇති අවදානම අනුව වෙනස් වේ. ඒ අනුව, ඇතැම් කලාප සහ රටවල් වෙනත් රටවල්වලට සාපේක්ෂව මේ සම්බන්ධයෙන් වැඩි අවදානමකට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) වාර්ථාවලට අනුව, දේශගුණික විපර්‍යාසවලට වැඩි වශයෙන් නිරාවරණය වීම නිසා, වැඩිවශයෙන් රැකියා අවදානම් පවතින රටවල්, දේශගුණික සංවේදී කෘෂිකර්මාන්තය, සංචාරක වැනි ක්ෂේත්‍ර සඳහා ඉහළ විශ්වාසයක් තබන අතර, ආර්ථික විවිධාංගීකරණය සහ මානව සංවර්ධනය අඩු මට්ටමක පවතී.

කුඩා දූපත් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් (Small Island Developing States – SIDS): මෙම රටවල්, මුහුදු මට්ටම ඉහළ යාම, කුණාටු වැඩිවීම, සාගර ආම්ලිකකරණය වැනි දේශගුණික බලපෑම්වලට වැඩි වශයෙන් ගොදුරු වේ. එමෙන්ම මෙම රටවල්වල ආර්ථිකය බොහෝ දුරට රඳ පවතින්නේ අධික වශයෙන් දේශගුණික සංවේදී වන සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය ආදී අංශ මතයි. මීට අමතරව අප්‍රිකාවේ උප-සහරා ප්‍රදේශය ආශ්‍රිත බොහෝ රටවල් නියං තත්ත්ව, ගංවතුර සහ කාන්තාරකරණය වැනි දේශගුණික උපද්‍රවවලට බෙහෙවින් නිරාවරණය වේ. එහිදී එම රටවල කෘෂිකර්මාන්තය ඇතුළු ජීවනෝපායන්ට සැලකිය යුතු බලපෑමක් එල්ල වේ.

එමෙන්ම, අපගේ දකුණු ආසියානු කලාපය ගංවතුර, සුළි කුණාටු සහ උෂ්ණ තරංග වැනි ආන්තික කාලගුණ තත්ත්ව සඳහා වැඩි වශයෙන් ගොදුරු වන අතර, මෙහිදීද කෘෂිකර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වේ. එමෙන්ම යටිතල පහසුකම් සහ ජීවනෝපායන් කෙරෙහිද සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. ඒ පිළිබද වැඩි විස්තර මෙතනින්  

දේශගුණික විපර්‍යාස හේතුවෙන් සිදුවන රැකියා පාඩු අවම කිරීම සඳහා පුද්ගලයින්, ව්‍යාපාර, රජය සහ සිවිල් සමාජ සංවිධානවල සාමූහික ප්‍රයත්නය සහ සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ. රැකියා සඳහා දේශගුණික විපර්‍යාසවල බලපෑම් සහ ක්‍රියාකිරීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම් සඳහා පුරවැසියන් වශයෙන් ක්‍රියා කළ හැක. දේශගුණික විපර්‍යාසවල බලපෑම රැකියා අවස්ථා සහ ආර්ථිකය සඳහා ක්‍රියාකරන ආකාරය පිළිබඳව අන්‍යන් දැනුවත් කිරීම් මෙන්ම ප්‍රජා මට්ටමෙන් ඒ සඳහා ක්‍රියාකිරීමට පෙනී සිටීම මීට අයත් වේ. ැමෙන්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට අදාල ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග වෙනුවෙන් පෙනී සිටීම මඟින් ද, දේශගුණික ක්‍රියාමාර්ගවලට තම සහාය දැක්වීමේ ඉඩකඩ පවතී.

ඔබට කිසියම් විමසීමක් ඇති නම් හෝ දේශගුණික විපර්‍යාස හෝ පරිසරයට අදාල සැක සහිත අන්තර්ගතයන් හමු වුවහොත් සහ ඔබ වෙනුවෙන් අප එම තොරතුරු තහවුරු කිරීමට අවශ්‍ය නම්, ඒ අන්තර්ගතයන් අපගේ Whatsapp ක්ෂණික ඇමතුම් අංකය: +917045366366 වෙත යොමු කරන්න.

Original English Article: Has climate change impacted the labor market around the globe?
Translated by Mihiri Saparamadhu

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter